නිරාගමිකත්වය, ගෝල්ෆේස් අරගලය හා බෞද්ධ විරෝධය


 නිරාගමිකයන් යැයි තමන්ව හදුන්වා ගන්නා පිරිස, එම තත්වය ආරෝපණය කරගන්නේ ආගමෙන් හා ඇතැම්විට ඒ හා බැඳුණු සංස්කෘතියෙන් ද ඛණ්ඩනය වීමෙනි. එයින් තමන්ගේ අභ්‍යන්තර මානසික නිදහස අහිමි කලා යැයි සිතන ආගම් විසින් පැනවූ සීමාවන් ඉවත් කිරීමෙන් අත්කරගත් නිදහස් සිතීම ඔස්සේ ඉදිරියට ගමන් කරයි. ආගම ඉවත්කල පසු ඇතිවන මානසික රික්තය කලාව, දර්ශනය, දේශපාලනය, සංගීතය, ක්‍රීඩාව, ලිංගිකත්වය, තාක්ෂණය, විද්‍යාව, මත්ද්‍රව්‍ය, වෙනත් ආධ්‍යාත්මික ප්‍රවේශයක් හෝ කුමක් හෝ දෙයකින් පුරවා ගත හැකිය. එනම් ආගම වෙනුවෙන් වැයකල මානසික ශක්තිය තමා ප්‍රිය කරන වෙනත් විෂයකට ආයෝජනය කිරීමට නිරාගමිකයාට හැකියාවක් ලැබේ. එසේත් නැතිනම් ආගම් කෙරෙහි යම්කිසි සාධනීය විවේචන ගෙන ආ හැකිය. ආගමිකයන්ට ආගම විසින් ජීවිතයට පුරුෂාර්ථ සපයන ආකාරයට නිරාගමිකයන්⁣ට ඉන්පසුව සිදුවන්නේ ආගමික නොවන දෙයින් ජීවිතයට අර්ථයක් සපයා ගැනීමටය. ඒ සියලු දෙයින් අවසානයේ සිදුවිය යුත්තේ ඉවත්වීමෙන් පසු ආගම තවදුරටත් තමන්ගේ අභ්‍යන්තර මානසික නිදහස අහිමි කරවන දෙයක් බවට පත්කර නොගැනීමය.


විවිධ හේතූන් මත ලංකාවේ ආගමෙන් නිදහස් වන පිරිසෙන් කොටසක් ඉහත ආකාරයේ වෙනත් සිතීමකට යොමුවුවත් තවත් පිරිසකට ආගමෙන් ඉවත් වූ පසු ඇතිවන මානසික රික්තය පුරවා ගැනීමට සුදුසු යමක් සොයා ගැනීමට අසමත් වෙයි. එමනිසා ඔවුන් තමන් මුලින් ප්‍රතික්ෂේප කල ආගම දෙසටම යොමු වනවා දැකිය හැක. නමුත් තමාගේ ජීවිතයට වෙනත් ක්‍රමයකින් අර්ථයක් සපයා ගැනීමට ඇති නොහැකියාව නිසා ඇතිවන හිස්භාවයත් සමඟ මෙවර ඔවුන් ආගම දෙසට යොමුවන්නේ දැඩි ප්‍රතිරෝධයක් සමඟින්ය. එමනිසා නිරන්තරයෙන්ම ආගමික ඉගැන්වීම් හා ඒ හා බැඳුනු සංස්කෘතිය සමඟ ඝට්ටනය වන පිරිසක් බිහිවී ඇත. එයින් ආගමෙන් විතැන් වීමෙන් ලබාගැනීමට බලාපොරොත්තු වූ මානසික නිදහස භුක්ති විඳිනවා වෙනුවට ආගම් විරෝධයක් නඩත්තු කරගනිමින් එයට සමගාමීව තමන්ට ආගමිකයන්ට වඩා විශිෂ්ඨ සදාචාරයක් ඇති බව පෙන්වීමට ද අමතර වෙහෙසක් ගනිමින් ජීවත් වීමට සිදුවී ඇත. මෙයින් ඇතැමුන් හැසිරෙනවා පෙනෙන්නේ ආගම නම් මිත්‍යාවෙන් මිනිසුන් මුදාගෙන ඔවුන්ට නිදහස් චින්තයක් උරුම කරදීමට පැමිණි ගැලවුම්කාරයන් ලෙසය. ඔවුන් ජීවිතයම අනෙකුන්ගේ ගැලවීම වෙනුවෙන් කැප කර ඇත. නිරාගමිකත්වය තවත් ආගමක් බවට පත්වී ඇති බව ඇතැමුන් කියන්නේ මෙවැනි ලක්ෂණ නිසා වියහැකිය. නිරාගමිකයන් ඒකරාශි වී සිටින ෆේස්බුක් පිටු, සමූහ, ⁣හා ඔවුන්ගේ ප්‍රෝෆයිල නිරීක්ෂණය කර මෙම තත්වය වටහා ගන්න.


ආගම් සම්බන්ධ විවේචන ෆේස්බුක් භාවිතය මුල් කාලයේ සිටම දක්නට ලැබුණත් ඔවුන්ගේ ආවේගශීලි අදහස් බහුලව දැකගත හැකිවූයේ වෙසක්, පොසොන් වැනි ප්‍රධාන පොහොය දින, දළදා පෙරහැර, විශාල බුද්ධ පූජා, ලවුඩ්ස්පීකර් බණ, පෝය⁣ට බාර් වැසීම හා ඇතැම් දුශ්ශිල භික්ෂූන්ගේ ශාසන විරෝධී ක්‍රියාකාරකම් වැනි අවස්ථාව වලදී පමණි. නමුත් නිරාගමික ප්‍රෝෆයිල, ෆේස්බුක් පිටු හා සමූහ දෙස බැලීමේදී පෙනෙන්නේ මේ වනවිට දකින සෑම බෞද්ධ දෙයකටම පරල වන නිරාගමික ප්‍රජාවක් බිහිවී ඇති බවයි. බුද්ධ පූජා, පෙරහැර වැනි අංග වලට අමතරව ඔවුන්ට කිසිදු අදාළත්වයක් නොමැති බෞද්ධ සිද්ධස්ථාන අභ්‍යන්තරයේ පවත්නා ඇතැම් නීතිරීති, වත්පිළිවෙත් පමණක් නොව ධර්ම ග්‍රන්ථ වල සඳහන් පාඨ වලට ද උසුළු විසුළු කරමින් තමන්ගේ නිදහස් චින්තනයේ වපසරිය පෙන්වා දෙයි. නිරාගමිකයන්ට අමතරව බෞද්ධයන් ලෙස හඳුන්වා ගන්නා අය අතර ද මෙවැනි විවේචනවල වැඩි වීමක් දක්නට ලැබීම අවධානය යොමු කලයුතු කරුණකි.


පසුගිය කාලයේ ඇතිවූ ගෝල්ෆේස් අරගලයට නිරාගමිකයන් කියා හඳුන්වාගන්නා පිරිසෙන් අති බහුතරයකගේ සහය හිමිව තිබෙනවා දක්නට ලැබුණි. අරගලයේ අරමුණු වූයේ පැවති දේශපාලන නායකත්වය වෙනස් කර යහපත් සමාජයක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් වුවත් ඔවුන්ට ආගම් කෙරෙහි ඇති ප්‍රතිරෝධය එම වැඩපිළිවෙළ තුලදී යටපත් කිරීමට නොහැකි විය. ආගම හා සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීම ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත් වූ ජනතාවගේ ඉල්ලීමක් නොවුවත් පසුගිය අරගල සමයේ පෙර නොවූවිරූ ලෙස සංස්කෘතියට, ආගමික ඉගැන්වීම් වලට හා භික්ෂූන් වහන්සේලාට එරෙහි අපහාස උපහාස වල වැඩිවීමක් දක්නට ලැබුණි. 


ලාංකික සමාජයේ කලින් කලට නිරාගමික ප්‍රවණතාවයන් තිබෙන්නට හැකියාවක් ඇති මුත් එය සංවිධානාත්මකව පැවතෙනවා දක්නට නොලැබුණි. තනි තනි පුද්ගලයන්ගේ හා කුඩා කණ්ඩායම් වල අදහස් ලෙස පැවතුන ආගම් විරෝධය බ්ලොග්, ෆේස්බුක් වැනි මාධ්‍ය වල ආගමනයත් සමඟ වර්චුවල් අවකාශ⁣ය තුල සංවිධානාත්මකව ක්‍රියාත්මක වන්නට විය. ගෝල්ෆේස් භූමිය තුල ගොඩනැඟුනු බෞද්ධ විරෝධී පරිසරය වර්චුවල් අවකාශයේ තිබුණු සංවිධානාත්මක බව භෞතික සමාජයට ගෙන ඒමට ලැබුණු අවස්ථාවකි. එකම මතවාදයක් දරන පිරිසක් භෞතිකව ඒකරාශි වීමෙන් පසුව තම අදහස් නිදහසේ එළිදැක්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය විය. මීට පෙර සාමාන්‍ය සමාජයේ භික්ෂූන් වහන්සේලාට විවේචන, අපහාස කිරීමට තිබුණු සීමාවන් අරගල භුමියෙදී ඉවත්වීම නිසා බාධාවකින් තොරව එම කාර්යන්ගේ නිරත වීමට හැකියාවක් ලැබුණි. එමනිසා ගෝල්ෆේස් භූමියේ මතුවෙමින් පැවතුණු බෞද්ධ විරෝධී ප්‍රවණතාවයන් සම්බන්ධ විවේචන ද මතු වන්නට විය. ප්‍රදර්ශනාත්මකව භික්ෂූන් වහන්සේලා කීප නමක් හා බෞද්ධාගමික වතාවත් කිහිපයක් අරගල භූමියේ දක්නට ලැබුනත් එහි ආධිපත්‍යය දැරුවේ බෞද්ධ විරෝධී මතවාදයන්ය. අරගලයේ ඉදිරියෙන්ම සිටි එක් භික්ෂූන් වහන්සේ නමක් ද ගෝල්ෆේස් භූමියේ බෞද්ධ විරෝධය ගැන පසුව සඳහන් කොට තිබුණි.


දුශ්ශීල භික්ෂූන්ගේ හා ගිහියන්ගේ ශාසන විරෝධී ක්‍රියාකාරකම් සෑම කල්හිම දක්නට ලැබෙන දුර්වලතාය. සියලු පාපයන්ගෙන් තොරවූ පරමාදර්ශී බෞද්ධ සමාජයක් බෞද්ධයන් පවා අපේක්ෂා නොකර දෙයකි. කලින් කලට ධර්ම සංගායනා හා ශාසන ශෝධනයන් සිදු කිරීමට සිදුවන්නේ විවිධ හේතූන් නිසා ශාසන පරිහානිය සිදුවන බැවින්ය. මෙකලත් ශාසන ශෝධනයක් සිදුකල යුතු මට්ටමට ඇතැම් භික්ෂූන්ගේ හැසිරීම් විපරීත වී ඇතිබව පෙනේ. ඇතැම් විහාරස්ථාන තුල සිදුවන භික්ෂු විනයට පටහැනි හැසිරීම් බාහිර සමාජයට ද ඉදහිට නිරාවරණය වෙයි. නමුත් අරගලයෙන් පසු කාලයේ මෙම දුර්වලතා පෙර නොවූවිරූ ලෙස උලුප්පා දක්වමින් පහර දෙනවා දක්නට ලැබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මීට පෙර දුශ්ශීල භික්ෂූන්ට හා තමන් අකමැති දේශපාලනයක නිරත වූ භික්ෂූන්ට එරෙහිව පමණක් තිබූ සෘණාත්මක ආකල්ප සමස්ත සංඝ සමාජය කෙරෙහිම පතුරුවා හරිනවා දක්නට ලැබුණි. මෙය මා හට පෞද්ගලිකව අත්දැකීමට ද ලැබුණු දෙයකි. පෙර පන්සල්, ආරාම වලට දානය දීම සම්බන්ධව ගැටළුවක් නොතිබූ මාගේ බෞද්ධ මිතුරෙක් ගණ ගෙඩියන්ට දානය දෙනවාට වඩා වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට දෙන දාන වැදගත් බව සිතන ස්ථාවරයකට පසුගිය මාස කිහිපය තුල මාරු වී සිටියි. මේ සමාන උදාහරණ සාමාන්‍ය බෞද්ධයන් ලෙස සිට අරගලයට දායකත්වය දැක්වූ ඇතැමුන්ගේ පශ්චාත්-අරගල හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් තේරුම් ගත හැක.


මේ වනවිට සමාජජාලා තුල එම තත්වය ඔඩු දුවා ඇති ආකාරයෙන් පෙනී යන්නේ අරගල සමයේ භික්ෂූන් වහන්සේලාට ප්‍රසිද්ධියේ අපහාස කිරීමට සැකසුන ප්‍රවණතාවය දිගටම පවත්වාගෙන යාම සිදුවන බවය. පසුගිය දිනක ශරීරයේ අවයව කොටස් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කල භික්ෂූන් වහන්සේ නමකට නිරාගමික පිටු තුල අපහාස කර තිබූ ආකාරයෙන් මෙය වටහා ගත හැක. ගෝල්ෆේස් අරගලය වෙනුවෙන් පෙනී සිටි නිරාගමිකයන්ට සිදුවී ඇත්තේ අරගල විසින් ලබාදුන් උද්යෝගය දිගටම පවත්වා ගැනීමට හැකි විකල්ප වැඩපිළිවෙළක් ගොඩනඟා ගැනීමට අපොහොසත් වීම හා මර්දනය ප්‍රබල වීම නිසා අරගලයෙන් පසුව දිගටම කරගෙන යාමට ඉතිරි වූ එකම දෙය වන ආගමික විරෝධය හා  භික්ෂූන්ට විරුද්ධ වීම තුලින් අනන්‍යතාවය නඩත්තු කරගැනීම හා එයින් තමන්ගේ අභ්‍යන්තර හිස්භාවය වසා ගැනීමට සිදුවීමය.


අවසානයේ නිරීක්ෂණයක් ලෙස පැවසිය හැක්කේ, අරගල ක්‍රියාවලිය පැවති කාලයේ හා ඉන්පසුව බෞද්ධ විරෝධී අදහස්  වල ඉහළ යාමක් හා පෙර නොවූවිරූ ලෙස සංඝ සමාජයට එරෙහි විරෝධයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී ඇති බවය. මේ කරුණු සම්බන්ධව නිරාගමිකයන් සමඟ ගැටීම වැනි නිරර්ථක දෙයකට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොමැති වුවත්, තමන් බෞද්ධයන් යනුවෙන් හඳුන්වා ගන්නා පිරිස් ද අවිචාරවත් ලෙස භික්ෂු සමාජය විවේචනය කිරීමට යොමුවීම ගැන මාගේ උනන්දුවක් ඇත. දේශපාලන අපේක්ෂාභංගත්වය විසින් ඇතිකල ආතතිය බුදු දහම, බෞද්ධාගමික වත් පිළිවෙත් හා භික්ෂු සමාජය මතින් ප්‍රසිද්ධියේ මුදාහැරීමෙන් තමන්ගේ බෞද්ධකමට සිදු කරගන්නා යහපතක් නොමැතිබව පැවසිය යුතුය.




නිරාගමිකත්වය, ගෝල්ෆේස් අරගලය හා බෞද්ධ විරෝධය නිරාගමිකත්වය, ගෝල්ෆේස් අරගලය හා බෞද්ධ විරෝධය Reviewed by Fox Talks on 11:50 AM Rating: 5

No comments :

Powered by Blogger.