සමන්තභද්‍ර හිමියන්ගේ රැස් වළල්ල


කිසියම් ප්‍රකාශයකින්/වාක්‍යයකින් ප්‍රකාශිත දෙය සම්පුර්ණයෙන්ම අවබෝධ කර ගැනීමට ඒ වාක්‍යයේ අඩංගු වචනවල අර්ථයන් පමණක් දැනගැනීම ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා භාෂා දැනුමට අමතරව එම ප්‍රකාශය ඉදිරිපත් කෙරෙන සන්දර්භය ගැන අවබෝධයක් ද අවශ්‍ය වෙයි. කෙටි උදාහරණයක් සලකා බලමු.

" කටුනායක එයාර්පෝට් එකට කොටි රිංගලා. "

මෙම වාක්‍යයේ කොටි යන වචනයට ප්‍රධාන වශයෙන් අර්ථ දැක්වීම් දෙකක් ඇත. එකක් කකුල් හතරකින් යුත්, බිළාල කුලයේ දැවැන්ත මාංශ භක්ෂක, රෞද්‍ර සත්වයන්ය. අනෙක උතුරේ සිට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන්ය. මේ වාක්‍යයේ අර්ථය ගැනීමෙ දී අපට කොටියා යන වචනයේ අර්ථය අදාල සන්දර්භයට අනුව තෝරාගැනීමේ හැකියාවක් තිබිය යුතුය.

"ලංකාවේ කැලෑවල කොටි ඇත්තෙත් නැතුව කොටි කොහොමද එයාර්පෝට් එකට රිංගන්නේ? "

යමෙකුට මෙවැනි ප්‍රශ්නයකුත් ඇසිය හැකිය. නමුත් ප්‍රශ්නය අසන ක්ෂණයෙන්ම අනෙකුන්ට මෙහි ඇති විකාරරූපී බව අවබෝධ වෙයි. ඔහුට එම ප්‍රකාශයේ ඇති වචනවල අර්ථයන් නිවැරදිව ග්‍රහණය කරගැනීමට හැකි වුවත් එම වාක්‍ය ගොඩනැගෙන සන්දර්භය ග්‍රහණය කරගැනීමට නොහැකි වෙයි. එම නොහැකියාව නිසා මුල් වාක්‍යය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රශ්න කිරීම අර්ථ විරහිත තත්වයට පත්වේ. ලැකානීයානු ඉගැන්වීම් වලට අනුව මේ තත්වය master signifiers (S1) ග්‍රහණය කරගැනීමට ඇති නොහැකියාව ලෙසද හැදින්විය හැක. එමනිසා ප්‍රශ්නය අසන්නාගේ හැසිරීම සයිකෝසික (psychotic) ස්වරෑපයක් බවට පත්වේ. එම වාක්‍යයේ ඇති signifiers (S2) අතර යහපත් සම්බන්ධයක් පැවතුනත් වාක්‍යයේ නිවැරදි අර්ථය මතුවීමට නම් සියලු S2, S1 සමඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගතයුතුය. සයිකෝසිකයාට එම සම්බන්ධය ගොඩනඟා ගැනීමට නොහැක. එනම්, සයිකෝසිකයාට එම වාක්‍යයේ අැති සියලු S2 නිවැරදිව සම්බන්ධ කොට වාක්‍යයක් තනාගත හැකිවුවත් එයට අර්ථයක් සැපයීමෙදී අසමත් වෙයි. ඔහු වාක්‍යය ගොඩනැගෙන සන්දර්භය ග්‍රහණය කර නොගෙන තමාට ආවේනික අර්ථයක් ලබා දේ. ඉහත වාක්‍යයේ ත්‍රස්තවාදී සාමාජිකයන් වෙනුවට බිළාල කුලයේ සත්වයෙක් ආදේශ කරගත්තේ එම නිසාය.

" දෙහිවල සත්තුවත්තෙන් කොටියෙක් පැනලා "

මේ ප්‍රකාශය ගොඩනැගෙන සන්දර්භය ග්‍රහණය කර නොගතහොත් සයිකෝසිකයෙක් ඇසීමට ඉඩඇති ප්‍රශ්නය ගැන අවබෝධයක් ඉහත උදාහරණය අනුව සිතාගත හැකිය. යම් ප්‍රකාශයක් ගොඩනැගෙන සන්දර්භය නිවැරදිව ග්‍රහණය කරගැනීමට නොහැකි වූ විට ඒ ප්‍රකාශය පදනම්ව පසුව ගොඩනැගෙන ප්‍රකාශ විකාරරූපී ස්වරෑපයක් ගනී. ප්‍රකාශය ගොඩනැඟෙන සන්දර්භය නිවැරදිව ග්‍රහණය කරගත් කෙනෙකුට එම සන්දර්භය ග්‍රහණය කරගැනීමට අසමත් කෙනෙකුගේ හැසිරීම සයිකෝසික ලෙස දර්ශනය වේ. නිර්-ආගමිකයන් බුදු දහම සම්බන්ධව කරන ප්‍රකාශත් ඇතැම්විට පෙනෙන්නේ ඒ ආකාරය⁣ටය.

යම්කිසි ප්‍රකාශයක් ගොඩනැගෙන සන්දර්භය හෝ පසුබිම ගැන අවබෝධයක් තිබිමේ වැදගත්කම පසුගිය කාලයේ සමන්තභද්‍ර හිමියන්ගේ ක්‍රියාකලාපය නිසා උද්ගතවිය. මේ සම්බන්ධයෙන් විවිධ උදාහරණ ගතහැකි වුවත් ඇතැම් නිර්-ආගමිකයන් (සමන්තභද්‍ර හිමියන්ගේ අනුගාමිකයන්ගේ අදහස් සලකා බැලීමටවත් තරම් නොවේ) මතුකරන අදහසක් සලකා බලමු. ඉරාජ්ගේ විඩීයෝවේ රැස් වළල්ලක් සහිතව පෙනී සිටි සිදුවීම නිසා බහුතර බෞද්ධයන්ගෙන් එයට අප්‍රසාදයක් පලවිය. එම අප්‍රසාදය පල කරන බෞද්ධයන්ගෙන් ඇතැම් නිර්-ආගමිකයන් අසන ප්‍රශ්නවල සාරාංශයක් ලෙස ගතහොත් දැක්විය හැක්කේ,

"කලින් රහතන් වහන්සේලා හිටියා කියා විශ්වාස කරනවානන් සමන්තභද්‍ර හිමියන් රහත්වෙලා යැයි කිව නොහැක්කේ ඇයි? "

බුදු දහම ගැන ප්‍රමාණවත් අවබෝධයක් ඇති අයෙකුට රහතන් වහන්සේ කෙනෙක් යනු කවරෙක්ද කියා මෙන්ම ඒ රහත් ඵලය දක්වා යන මාර්ගය ගැනද දැනුමක් ඇත. ථෙරවාදී බුදු දහම යන සන්දර්භය තුල රහතන් වහන්සේ යන වචනයේ අර්ථය ග්‍රහණය කරගන්නා ආකාරය වෙනත් සන්දර්භයකට වඩා වෙනස්වේ. ථෙරවාදී සම්ප්‍රදායෙන් අපගමනය වී වෙනත් සම්ප්‍රදායක් අනුගමනය කොට තමන් රහතන් වහන්සේ නමක් යැයි පවසන තත්වයක් තුල ථෙරවාදී සම්ප්‍රදායේ දැක්වෙන රහතන් වහන්සේත් මේ රහතන් වහන්සේත් සමඟ කරන සංසන්දනයන් අර්ථශුන්‍ය වෙයි.

නිර්-ආගමික පසුබිමක සිට ආගම් විවේචනය කරන්නන් රහතන් වහන්සේ යන සංකල්පය බහුතර බෞද්ධයෝ ග්‍රහණය කරගන්නා සන්දර්භයෙන් තොරව ග්‍රහණය කරගෙන සයිකෝසික අයුරින් තමාට ආවේනික අර්ථයක් ලබාදෙයි. (ආගම් විවේචනය කරන්නන් පරිපුර්ණ සයිකෝසිකයන් යැයි මෙයින් අදහස් නොවේ. මෙවැනි අවස්ථා වලදී ඔවුන්ගේ හැසිරීම සයිකෝසිකය) එමනිසාම සමන්තභද්‍ර හිමියන් ඔවුන්ට අප්සට් නැති භික්ෂුවක් බවට පත්වී අනෙක් බෞද්ධයන්ගේ ආතල් කඩන්නෙක් බවට උසස් කරගැනීමට හැකියාවක් ලැබී ඇත. තවද ඔවුන්ට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කරන භික්ෂූන් මෙන්ම ඥානසාර හිමියන්ගේ ක්‍රියාකලාපය ද සමන්තභද්‍ර හිමියන් හා සම්බන්ධ කරගෙන බුදු දහම විශ්ලේෂණය කිරීමට ද හැකිවේ. මෙම විශ්ලේෂකයන් සමඟ සංවාදයේ යෙදීම, එයාර්පෝට් එකට කොටි රිංගා ඇත කියන විට ලංකාවේ කැලෑවල කොටි ඉන්නවාදැයි වර්ගයේ ප්‍රශ්න අසන්නන් සමඟ සංවාද කිරීමට වඩා ඵලදායි වේ යැයි සිතිය හැකිද?




සමන්තභද්‍ර හිමියන්ගේ රැස් වළල්ල සමන්තභද්‍ර හිමියන්ගේ රැස් වළල්ල Reviewed by Fox Talks on 10:17 AM Rating: 5

No comments :

Powered by Blogger.