දුක්ඛ හා සෆරින්




දුක පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක අදහසක් හා බුදු දහමේ සඳහන් දුක ගැන සංසන්දනයක් කරන සාකච්ඡාවක් දකින්න ලැබුණා. ජිජෙක්ගේ වීඩියෝවක දැක්වෙන අදහසකට අනුව මිනිසුන් සතුටට කැමැත්තක් නොදක්වනබව කියවෙයි. මිනිසුන් සැබැවින්ම ආශා කරන්නේ දුක් විඳීමට බව ද ඉන් අදහස්වන බව දක්වා තිබුණා. ඇතැම් ලෞකික තත්වයන්ට අනුව එම අදහස සංගත වන අවස්ථා ඇත. ඔහුගේම උදාහරණයකට අනුව ක්වොන්ටම් හෝ විකිරණ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වු විද්‍යාඥයන් ජිවිත අවදානම ගැන ද සැලකිල්ලක් නොදක්වා එම සොයාගැනීම් වලට කැපවෙයි. තවදුරටත් පැවසුවහොත් අත්ථකිලමතානුයෝගය පුහුණු කරන යෝගියෙක් හෝ ස්වපීඩක ලිංගික ආශාවන් ඇති අයෙක් ශරීරයට දුක් දෙන්නේ දුකට ඇති ආශාවක් නිසා යැයි කිව හැකිය.

නමුත් බුදු දහමේ දැක්වෙන දුක්ඛ සත්‍යය ඊට වඩා ගැඹුරෙන් සාකච්ඡා වන දෙයකි. එය මේ ජීවිතයේ අත්දකින දුකට එහා ගිය සාංසාරික දුකකි. උච්ඡේද දෘෂ්ටිය දරන අයෙකුගේ දුක පිළිබඳ අර්ථ දැක්වීම් සමඟ එය සංසන්දනය කිරීම නිෂ්ඵල දෙයකි. විදර්ශනාවෙන් රෑප නිරෝධයට සිත පත් කරගත් අයෙක් ඊට පෙර රෑපයේ පැවැත්ම ගැන සිතීමෙදී ඇතිවන දුක ජිජෙක්ගේ දුක ගැන අදහස් සමඟ සසඳන්නේ කෙසේද?

එහෙත්, ජිජෙක්ගේ වීඩියෝවෙදී, ඔහු ඉන්පසුව දක්වන අදහස් සාමාන්‍ය ලෞකික ජීවිතයේ අත්දැකීම් සමඟ සැසඳිය හැක. මනෝවිශ්ලේෂණාත්මක අදහසක් ලෙස ඔහු පවසන්නේ, අප ආශා කරනවා යැයි සිතන දේවල් සැබැවින්ම අපට ලබාගැනීමට අවශ්‍ය නැති බවය. මෙයට උදාහරණයක් ගනිමු. මාස කිහිපයකට පෙර තුලාව ෆේස්බුක් සමුහයේ මම මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. පරිප්පු හා කුකුල් මස් දෙකම ආහාරයට ගන්නා අය පමණක් පිළිතුරැ දෙන ලෙස ඉල්ලා මා ඇසුවේ යම්කිසි ආයතනයක් මුළු ජීවිත කාලය පුරාවටම ඔබට පරිප්පු හෝ කුකුල් මස් නොමිලේ සැපයීමට පොරොන්දු වෙයි, ඔබ ලබාගන්නේ කුමක්ද? කියාය. අති බහුතරය පවසා තිබුණේ තමන් පරිප්පු සැපයුමට කැමති බවය. ග

ආශාව(desire) පිළිබඳ ලැකානීයානු අර්ථ දැක්වීම් වලට අනුව ඔබගේ ආශාවට කලහැකි නරකම දේ ආශාව සංතෘප්ත කරගැනීමට උත්සහ ගැනීමය. ආශාව සැබැවින්ම ආශාව වශයෙන්ම පැවතිය යුතුය. ඒ අනුව, කිවහැක්කේ බහුතරය පරිප්පු සැපයුමට කැමැත්ත පල කරේ, ඔවුන් සැබැවින්ම ආශා කරන්නේ කුකුල් මස් වලට නිසා බවය. ඔවුන්ට කුකුල් මස් වලට ඇති ආශාව නොමරා පවත්වා ගැනීමට අවශ්‍ය වෙයි. ඒ සඳහා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය නිමාවක් නැති කුකුල් මස් සැපයුම ප්‍රතික්ෂේප කිරීමය. නැවතත්, ජිජෙක්ගේ අදහසට අනුව, අප ආශා කරන්නේ කුකුල් මස් වලට වුවත් අපට එය ලබාගැනීමට අවශ්‍ය නැති බවය.

එකඟවීම නොවීම ඔබට බාරය. 😊


දුක්ඛ හා සෆරින් දුක්ඛ හා සෆරින් Reviewed by Fox Talks on 9:00 AM Rating: 5

No comments :

Powered by Blogger.