පොළොසියානු මනෝ විශ්ලේෂණය (Polosian Psychoanalysis)


පොළොසියානු මනෝ විශ්ලේෂණය යනු කොස් ගෙඩියකට විඥානයක් ඇති බව සලකා කොස් ගෙඩියේ එක් එක් වර්ධක අවධින් විග්‍රහ කිරීමට යොදාගන්න න්‍යායන් සමුහයකි. මෙම න්‍යායන් ගොඩ නැගීමේදී ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණයේ ( Freudian Psychoanalysis) අාභාෂය සෘජුවම ලැබී ඇත.

කොස් ගෙඩියේ වර්ධක අවධීන් ප්‍රධාන වශයෙන් කොටස් 3ක් ලෙස හදුනා ගැනේ.

01. පොළොස් අවධිය. (Polos stage)
02. කොස් අවධිය. (Jacas stage)
03. පශ්චාත් කොස් අවධිය. (Post-jacas stage)

පොළොස් අවධිය (Polos stage) හෙවත් පුර්වජ කොස් අවධිය (Primordial jacas stage) යනු කොස් ගෙඩියේ මල් හට ගැනීමේ සිට මාංශ ප්‍රතිස්ථාපිත ආහාරයක් ලෙසට යොදාගන්නා අවස්ථාව තෙක් අවධියයි. මේ අවධියේදී කොස් ගෙඩියේ විඥානය ක්‍රියා කරෙන්නේ තමා එළවළුවක් ලෙස සලකාය. බොහෝවිට වෙළදසලේදී අනෙකුත් එළවළු වර්ග සමග එකට සිටීමට අවස්ථාව ලැබෙන නිසා තමා එළවළුවක්ය යන අදහස තවත් තහවුරු වේ.

කොස් අවධිය (Jacas stage) යනු කොස් ගෙඩියේ වර්ධක අවස්ථාවන්ගෙන් ඉතාමත් වැදගත්ම අවධියයි. මේ අවධිය වනවිට කොස් ගෙඩිය මාංශ ප්‍රතිස්ථාපිත ආහාරයක් ලෙස භාවිතයට ගැනීම සම්පුර්ණයෙන් අත්හැර දමයි. මෙම කාලයේදී එය පශ්චාත් කොස් අවධියේ මුලික ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගන්නා නමුත් (මෙය වැල අවධිය හා වරකා අවධිය ලෙස පසුව කොටස් දෙකකට බෙදේ) තමා එළවළුවක්ය යන අදහස තවමත් දැඩිව බලපවත්වයි. මෙම එළවළු විඥානයේන් සම්පුර්ණයෙන්ම මිදෙන්නේ පශ්චාත් කොස් අවධියට එළඹිමෙන් පසුවය. එය සිදුවන්නේ මෙසේයි. කොස් අවධියේ අවසාන කාලයේදී කොස් ගෙඩිය පළතුරක මුලික ලක්ෂණ පෙන්වීමට පටන්ගනී. එනම් මදුළුවල වර්ණය, රසය, ගන්ධයේ සුළු වෙනස්කම් ඇතිවීමට පටන්ගනී. මෙහිදී කොස් ගෙඩිය තමා පළතුරක්ය යන අදහස මුල් වරට හදුනාගනී. එහෙත් තවමත් ආධිපත්‍ය දරන්නේ තමන් එළවළුවක්ය යන විඥානයයි. මෙම අවස්ථාව පොළොසියානු මනෝ විශ්ලේෂණයේදී හදුනා ගන්නේ අතුරුපස් සංකීර්ණය (Dessert complex) ලෙසය. පශ්චාත් කොස් අවධියට යාමේදී මෙම අතුරුපස් සංකීර්ණය අවරෝධනය (Repression) කලයුතුය. එය අවරෝධනය කිරීමේ තීව්රතාවය මත ඊළගට ඇතුල්වන අවධියේ ප්‍රභේදය තීරණය (වැල හෝ වරකා) වේ.

පශ්චාත් කොස් අවධිය ( Post-jacas stage) යනු කොස් ගෙඩියට පරිපුර්ණ පළතුරු විඥානය පැමිණෙන අවධියයි. මෙහිදී තමාගේ බාහිර හා අභ්‍යන්තර වෙනස්කම් මගින් තමන් පළතුරක්ය යන අදහස කොස් ගෙඩිය තුල දැඩිව බලපවත්වයි. අතුරුපස් සංකීර්ණය සාර්ථකව අවරෝධනය කරන කොස් ගෙඩිය ඉන්පසු වරකා අවධියට ඇතුළුවේ. එම සංකීර්ණය අවරෝධනය කරන නමුත් තවමත් තමන් එළවළුවක්ය කියා අවිඥානික හැගීමක් තිබෙන කොස් ගෙඩි වැල අවධියට ඇතුල් වේ. මෙය කොස් ගෙඩියේ ඉදිරි පෞර්ෂ වර්ධනයට දැඩි බලපෑමක් ඇති කරයි. වැල අවධියට ඇතුල් වූ කොස් ගෙඩිය පළතුරක් වුවත් පළතුරක් ලෙස එතරම් දැඩි පිළිගැනීමක් නොලැබෙන නිසා පසුකාලීනව විෂාදය (Depression) වැනි තත්වයන්ට ගොදුරු වේ. ඊට සමගාමීව වරකා අවධියට ඇතුල්වු කොස් ගෙඩියට ලැබෙන වැඩි සැලකිල්ල නිසා Super Ego වර්ධනය අධික වේ. මේ නිසා කොස් ගසට හෙණ ගැසීමට වුවත් ඉඩ තිබේ.

පොළොසියානු මනෝ විශ්ලේෂණය ප්‍රධාන වශයෙන් නිර්මාණය කෙරුනේ කොස් ගෙඩියේ වර්ධක අවධීන් ගැන විශ්ලේෂණය කිරීමට උවත් පසුකාලීනව මෙම න්‍යායන් පොල් ගෙඩි විශ්ලේෂණය සදහාද යොදා ගැනුණි. අපි දැන් එවැනි අවස්ථාවක් සලකා බලමු. පොල් ගෙඩියේ කුරුම්බා අවධියේදී එහි මුළුමනින්ම වාගේ බල පවත්තන්නේ තමා පළතුරක්ය යන අදහසයි. පොල් අවධියට පැමිණීමත් සමග එහි ඇති පළතුරු ලක්ෂණ ඉවත්ව යාම සිදුවේ. එනම් කුරුම්බා වතුරේ මිහිරිභාවය නැතිවීම, මදය ඝන වීම ආදී ලක්ෂණ දැක්විය හැකිය. නමුත් ගැටළුව පැන නගින්නේ මෙහිදීය. තවදුරත් තමාට පළතුරු විඥානයේ බැසගෙන සිටීමට බැරි වුවත් තමාගේ ඊළඟ අවධියේදී තමා කෙසේ හදුන්වනු ලබන්නේද යන ගැටළුව මතුවේ. තවදුරත් පළතුරක් ලෙස සැලකීමටත් නොහැක. එත් එළවළුවක්ය යන විඥානයට ඇතුළු වීමටත් නොහැක. මේ අවධියේදී පොල් ගෙඩිය තමන්ගේ අනන්‍යතාවය දැඩිව ප්‍රශ්න කිරීමට ලක්කරයි. මෙම අවස්ථාවේදී අනන්‍යතා කාංසාව (Identity anxiety) නම් මානසික තත්වය පොල් ගෙඩිය තුල අවිඥානිකව හටගනී. මෙම සංකුලතාවය ප්‍රබලව ක්‍රියාත්මක වන පොල් ගෙඩි පසුකාලීනව පොට්ට පොල් බවට පත්වීමේ අවදානමක් ඇත.

පොළොසියානු මනෝ විශ්ලේෂණය (Polosian Psychoanalysis) පොළොසියානු මනෝ විශ්ලේෂණය (Polosian Psychoanalysis) Reviewed by Fox Talks on 1:17 AM Rating: 5

No comments :

Powered by Blogger.