ආසිරි වනිගරත්න ගණ දෙවියන් ආගන්තුක කිරීම



දන්නා කාලයේ සිට ගණ දෙවියන් ප්‍රසිද්ධව සිටියේ නුවණට අධිපති දෙවියන් ලෙසය. නමුත් දැන් ආසිරි වනිගරත්න විසින් ෆේන්ෂූයි බලයෙන් දේව මණඩලේ තනතුරැවල සංශෝධනයක් සිදුකොට ඇත. දැන් ගණ දෙවියන්ගේ විෂය පථයට අධ්‍යාපනයට අමතරව මුල්‍ය අංශයත් ඇතුලත් කර ඇත.(කොන්දේසි සහිතයි.) දෙවියන් අදහන්නන් මෙතෙක් කල් හුරැවී සිටියේ දෙවියන් වෙනුවෙන් පුදපූජා පවත්වා දෙවියන්ගේ ඇල්ම බැල්ම හා පිහිටාරක්ෂාව ලබා ගැනීමටය. නමුත් ආසිරි වනිගරත්න අපට දැන් සෙමිනාර් පවත්වා දෙවියන් යහළු කරගන්නා හැටි කියාදෙයි. තවදුරටත් කිවහොත් ආසිරි වනිගරත්න විසින් ගණ දෙවියන් ඔබේ ආදරණීය සීයා, තාත්ති, බාප්පි තරමට ඔබට සමීප කරවා ඇත. එමනිසා ගණ දෙවියන්ගේ බර්ත් ඩේ එකට ඔබට බර්ත් ඩේ කාර්ඩ් එකක් යවා බර්තේ පාටියට ස්වීට් වර්ග, සන්කුවික් පමණක් නොව මෙන්ටෝස් ටොපිද ලබාදිය හැකිය. ඒ අනුව මේ වනවිට සම්ප්‍රදායික ගණ දෙවියා වෙනුවට ආගන්තුක වූ ගණ දෙවියෙක් (alienated god) ආසිරි වනිගරත්න විසින් හඳුන්වා දෙමින් සිටියි.

ආසිරි වනිගරත්න පැහැදිලිවම දක්ෂයෙකි. ඒ ඔහු තමන් ආමන්ත්‍රණය කරන පිරිස ගැන නිවැරදි තක්සේරුවකට පැමිණ ඇති නිසාය. විඩීයෝවේ දැක්වෙන මේ ප්‍රකාශය සලකන්න.

" දැන් ඔබ ගණ දෙවියන්ට ඔබේ මුදල් ප්‍රශ්නය කියන්න. දැන් යාළුවෙක් වගේ කතා කරන්න ඕනේ. ගණ දෙවියනි, මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට අර වැඩේ කරගන්න ඕනේ, අර දේ ගන්න ඕනේ. මට ඒකට සල්ලි නෑ. ඔබවහන්සේට පේනවා නේද? වඩා හොඳයි පර්ස් එක අරගෙන පෙන්නන්න පුළුවන්නම්. "

මෙහි වඩාත් ආකර්ෂණීයම දේ ආසිරි වනිගරත්න තමන් ආමන්ත්‍රණය කරන පිරිස කෙරෙහි තබා ඇති අධික විශ්වාසයය. දෙවියන්ට බොරැ කරන්න බෑ, දෙවියන්ට සියල්ල පෙනෙනවා කියා, සල්ලි නැතිබව පෙන්වීමට දේව රෑපයට පර්ස් එක හෝ හෑන්ඩ් බෑග් එක විවෘත කර පෙන්වන්න කියයි. ඔහුට තමා අාමන්ත්‍රණය කරන පිරිසේ අතාර්කික බව ගැන ඉතා ඉහල විශ්වාසයක් ඇත. ඒය කොතරම් ඉහලද යත් දෙරණ වැනි රෑපවාහිනී නාලිකාවකට පැමිණ එය පැවසීමද ඔහුට ගැටළුවක් නොවේ.

දෙවියන්ගෙන් සල්ලි ඉල්ලා ගන්නා හැටි පමණක් නොවේ. ඊළගට ඒ සල්ලිවලින් කරන දේ ගැනද උපදෙස් ලබාදෙයි. දෙවියන් දුන් සල්ලිවලින් කොටසක් අසරණ ළමයෙකුට උදව් කිරීමට වියදම් කර ඒ පින නැවත දෙවියන්ට ලබාදෙන මෙන් ඉල්ලා සිටියි. තමන් කරන දේ දන්නා ආසිරි වනිගරත්න මෙවැනි සදාචාරාත්මක ඉල්ලීමක් කරන්නේ දෙවියන් ගැන හෝ තමාගේ ගණුදෙනුකරැවන් ගැන සිතා නොව තමන්ගේ හෘද සාක්ෂිය ගැන සිතාය. දෙවියන් විසින් ලබාදුන් සල්ලි වලින් පරිභෝජනය කරන නිසා බැතිමතෙකුට වුවද පරිභෝජනයෙන් යම්කිසි වරදකාරී හැඟීමක් ඇතිවන්නේනම් එයත් අහෝසි වී යයි.

මෙවැනි ප්‍රවේශයක් පිරමීඩ ජාවාරමේද දක්නට ලැබේ. එනම් තක්කඩි වෙළදාමට සදාචාරාත්මක මානයක් එකතු කරගැනීමය. පිරමීඩ ජාවාරමේ මුලදී ආර්ථික වාසි ගැන සදහන් කරත් පසුව මුදල් ලැබීමත් සමඟ සියලු ප්‍රශ්න අවසන් වූ පසු පවුලේ සමගිය ඇතිවන සැටි, වන්දනා ගමන් ගොස් දානමය පුණ්‍යකර්ම කරගන්නා සැටි, විශ්‍රාමික ජීවිතය කාටත් කරදරයක් නොවී ප්‍රීතියෙන් ගතකරන හැටි ආදී පරාසයකට විහිදී යයි.

ආසිරි වනිගරත්න ගණ දෙවියන් ආගන්තුක කිරීම ආසිරි වනිගරත්න ගණ දෙවියන් ආගන්තුක කිරීම Reviewed by Fox Talks on 9:28 PM Rating: 5

No comments :

Powered by Blogger.