ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඇසුරෙන් මනසේ ෆ්‍රොයිඩීයානු බෙදීම


ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ " සයිකෝ " චිත්‍රපටය සම්බන්ධ ස්ලැවෝජ් ජිජෙක්ගේ විචාරයක මිනිස් මනසේ ෆ්‍රොයිඩීයානු බෙදීම පිළිබද කරන විග්‍රහයක් ඇතුලත් ය. චිත්‍රපටයේ ප්‍රධාන සිදුවීම් මාලාවකට පසුබිම වූ නෝමන් බේට්ස්ගේ නිවසේ ස්ථර තුනක් - යටිමහල, බිම්මහල හා පළමු මහල - අනුසාරයෙන් ඔහු මේ විග්‍රහය සිදුකරයි. ජිජෙක් බිම්මහල සමාන කරන්නේ ඊගෝ (ego) මානසික ස්භාවයටය. එම මහලේදී නෝමන් සාමාන්‍ය, සමාජය පිළිගත් හැසිරීමක් පෙන්නුම් කරයි. පළමු මහල සුපර් ඊගෝ (super ego), එනම් නෝමන්ගේ මව තුලින් නික්මෙන විධාන හා මවගේ ආධිපත්‍යයට ඔහු අවනත වන ප්‍රදේශයයි. යටිමහල එනම් නිවසේ අඳුරු කාමරය තුලින් ඉඩ් (Id) සංස්කාරය නිරූපණය කරයි. බාහිර සමාජයට නොපෙනෙන රහස් සැඟවී ඇත්තේ එහියි.

මේ ආකාරයේ මනස සම්බන්ධ ෆ්‍රොයිඩීයානු බෙදීමක් " ගේම් ඔෆ් ත්‍රෝන්ස් " හරහා ද සළකුණු කලහැකිය. ඒ සඳහා වෙස්ටරොස් මහද්වීපයේ භූගෝලීය සැකැස්ම යොදාගත හැකිය. වෙස්ටරොස් මහද්වීපය, ද සෙවන් කිංඩම්ස් අැතුළු ශිෂ්ඨාචාරගත ජනයා වාසය කරන ප්‍රදේශය (සුපර් ඊගෝ), මහා බැම්ම (ඊගෝ) සහ බැම්මෙන් එපිට වයිල්ඩ්ලිං ජනාවාස (ඉඩ්) පවතින ප්‍රදේශය ලෙස වෙන්කර ගතහැක.

ඉඩ් - මහා බැම්මෙන් එහා කෙලවරක් නොපෙනෙන හිම තට්ටුව මත ජීවත්වන වයිල්ඩ්ලිං ජනයාට සංවිධානාත්මක දේශපාලන සැකැස්මක් නැත. ශිෂ්ඨාචාරයෙන් වෙන්වූ ඔවුන් හැසිරවීමට ප්‍රබල නීති පද්ධතියක් ද නැත. බැම්මෙන් මෙහා පිරිස් ඔවුන්ව හඳුනාගන්නේ මිලේච්ඡයන්, මිනී මරුවන්, ස්ත්‍රී දූෂකයන්, සොරුන් ආදී වශයෙනි. ක්‍රැස්ටර් නම් වයිල්ඩ්ලිං සාමාජිකයා තුලින් ඔවුන්ගේ ජීවන රටාව තවදුරටත් හඳුනාගත හැකිය. ක්‍රැස්ටර් වනාන්තරය මැද නිවසක තම භාර්යාවන් හා දියණියන් සමඟ ජීවත් වෙයි. සිය දියණියන් වැඩිවියට පත්වූ පසු ක්‍රැස්ටර් ඔවුන් සමඟ විවාහ වී නැවත ඔවුන්ගෙන් ද දරුවන් බිහි කරමින් ව්‍යාභිචාරී දිවියක් ගත කරයි. බිහිවන පිරිමි දරුවන් සියල්ල වයිට් වෝකර්ස් අමුනුෂ්‍ය ප්‍රජාවට බිලි පූජාවක් ලෙස වනයේ අතහැර දමා එයි. මනසේ ඉඩ් කොටස ද සභ්‍යත්වය හා නීතිය නොසලකන ප්‍රාථමික හැඟීම් සමුදායකින් පිරී පවතී.

සුපර් ඊගෝ - සමාජයක් ගොඩනැඟී ඇත්තේ යම්කිසි සදාචාර පද්ධතියක් මතය. එය නීතිය, සංස්කෘතිය ආදියෙන් සමන්විතය. මහා බැම්මෙන් මෙහා ජීවත් වන ජනයා පාලනය වන්නේ එවැනි සදාචාර පද්ධතියක් තුලින්ය. සෙවන් කිංඩම්ස්හි අගනගරය වන කිංග්ස් ලෑන්ඩින් ප්‍රබල නීති පද්ධතියකින්, සියවස් ගණනක් පැරණි සම්ප්‍රදායන්ගෙන් හා ආගමික සංස්ථාවකින් පාලනය වන ශිෂ්ඨාචාරගත ප්‍රදේශයකි. සෙවන් කිංඩම්ස්හි ආගමික ආධිපත්‍යය දැරූ හයි සෙප්ටන් ආගමික නිකාය වටා විශාල සාමාජීය බලයක් ගොඩනැඟී තිබේ. සර්සි තම ඥාති සහෝදරයෙක් වන ලැන්සෙල් සමඟ ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හෙලිවීම නිසා ඇය සෙවන් කිංඩම්ස්හි මහ රැජින වුවද හයි සෙප්ටන් නිකාය පැනවූ දඬුවමකට අවනත වී නගරයේ විදී දිගේ අපහාස විඳිමින් නිරුවතින් ගමන් කිරීමට සිදුවිය. ඉඩ්ගේ ඇතැම් ආවේගයන් සාමාජීය වශයෙන් තහනම් දෑ බැවින් සුපර් ඊගෝ එම ආවේගයන් දරුණු ලෙස මැඩ පවත්වනු ලබයි.

ඊගෝ - ප්‍රාථමික වයිල්ඩ්ලිං ජනාවාසත් ශිෂ්ඨාචාරගත ⁣සෙවන් කිංඩම්ස් පාලන ප්‍රදේශයත් අතර බෙදීම සළකුණු කරන්නේ සැතපුම් 300 පමණ දිග මහා බැම්මෙනි. කාසල් බ්ලැක් මූලස්ථානය කරගත් නයිට් වොච් සහෝදරත්වය විසින් මහ බැම්ම ආරක්ෂා කරනු ලබයි. නයිට් වොච් සහෝදරත්වයට වැඩි වශයෙන් සම්බන්ධ වන්නේ දඬුවමින් බේරීමට මඟක් සොයමින් සිටි අපරාධකරුවන්, මිනී මරුවන්, ස්ත්‍රී දූෂකයන් සොරුන් සහ නොයෙකුත් දූෂණ වලට චෝදනා ලැබූ වංශවතුන් ය. ඒ පිරිසට සෙවන් කිංඩම් සභ්‍යත්වය දෙනු ලබන දඬුවමින් ද බේරී, තවදුරටත් අපරාධ හා බැඳුනු (වයිල්ඩ්ලිං ජීවන රටාව) ජීවිතයකට ද යොමු නොවී ඔවුන්ටම ආවේනික යම්කිසි ආචාර ධර්ම පද්ධතියක් මත මහ බැම්මේ ආරක්ෂාවට කැපවීම මඟින් නව ජීවන රටාවකට යොමුවීමට හැකිය. ද ගිෆ්ට් යනුවෙන් හැඳින්වෙන ජනාවාසය වින්ටෆෙල් ආධිපත්‍යයට යටත් නොවූ නයිට් වොච් සහෝදරත්වය විසින් පාලනය කරනු ලබන උතුරේ පිහිටි එවැනි ප්‍රදේශයකි. ඊගෝ මානසික ස්භාවය උත්සහ කරන්නේ ද ප්‍රායෝගික නොවන ඉඩ්ගේ ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉටු නොකර, බාහිර සමාජ සම්ප්‍රදායන් ද කඩ නොකර යම් ආකාරයක මැදහත්, සමාජය පිළිගනු ලබන ආකාරයකට ඉඩ්ගේ ආවේගයන් කළමනාකරණය කිරීමට ය.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඇසුරෙන් මනසේ ෆ්‍රොයිඩීයානු බෙදීම ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඇසුරෙන් මනසේ ෆ්‍රොයිඩීයානු බෙදීම Reviewed by Fox Talks on 1:28 AM Rating: 5

No comments :

Powered by Blogger.