සන්නස්ගලගේ රස්තියාදුව - කෙටි කතාව


කව්රුහරි කියලා තිබ්බා මහින්දට මුස්ලිම් ඡන්ද නැතිවුණේ බොදුබල සේනාව හින්දා කියලා. උන් දන්න රෙද්ද, බොදුබල සේනාව තිබ්බත් නැතත් මහින්දට මුස්ලිම් ඡන්ද වැඩි හරියක් ලැබෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. හැබැයි අලියා වැටුන වැව සයිබු නානාගේ ඡන්දේනන් මහින්දට වැටුනා කියලා මට ඉර හඳ වගේ විශ්වාසයි. අර කව්දෝ එක්කෙනාම කියලා තිබ්බා බොදුබල සේනාව හින්දා නැගෙනහිර පළාතේ ජීවිතේට ඡන්ද පොළකට නොගියපු ගෑණු පවා ඡන්දේ දාන්න ගෙවල් වලින් එළියට බැස්සා කියලා. බුර්කා ඇඳගෙන ගිහින් ඡන්දේ දාන්න දෙනවද නැද්ද කියලා මම හරියටම දන්නේ නෑ. ඒත් එහෙම තමයි යම්කිසි දෙයක් ගැන හයිප් එකක් හැදුනාම මිනිස්සු හැසිරෙන්නේ. කාලයක් තිස්සේ තිබ්බ පරණ පුරුදු මිනිස්සු කඩලා දානවා, හරියට සිංහල අවුරුදු කාලෙට එන හයිප් එකට ගෙදර මකුළු දැල් කඩනවා වගේ. මේ අවුරුදු 2500ටම මේ දූපතේ මිනිසුන් වැදගත් වැඩකට කියලා කරන්නේ ගෙදර මකුළු දැල් කඩන එක විතරයි ද කොහෙද.

මම කොහොමත් ඔය පොත කියවන්න නෙමෙයි හිටියේ. රුපියල් පන්සීයක් දීලා නන් කොහොමත් ගන්නේ නෑ. ඇයි දෙයියනේ! ඉංග්ලිෂ් නම්බර් කෑල්ලක ගාන නේ. ඒ කෑල්ලක් ගත්තනන් මට පොතක ලියලා තියෙන දේවල් වලට වැඩිය ජාති හිතන්න පුළුවන්. එහෙම නැත්තන් සී ⁣ෆුඩ් රයිස් එකක් කන ගමන් ජින්ජි බියර් එකක් බොන්න පුළුවන්. ඊ.ජී.බී නැතුව කෑම එපා! ධනවාදය මිනිස් අවශ්‍යතාවයන් බලහත්කාරයෙන් නිර්මාණය කරන අපූරුව. මට කොහොමත් උගේ නම පෙන්නන්න බෑ. ඒක දකිද්දීත් යකා නගිනවා. එකම අකුර දෙපාරක් ලියද්දී හෙන සාහිත්‍යකාරයෙක් කියලා අනික් එවුන් හිතනවා කියලා ඌ හිතනවා ඇති. පව්! උගේ පොතක් හින්දම ඒක නිකන් දුන්නත් කියවන්නේ නෑ කියලා මම මටම පොරොන්දු වුණා. ඒත් ටික දවසක් යද්දී ෆේස්බුක් එකේ හැම එකාම වාගේ ඒ පොත ගැන කතා කරන්න ගත්තා. සිංහල බෞද්ධයන්ට මල පැන්නා, උගත් දාර්ශනිකයෝ පොතට විචාර ලියන්න ගත්තා. "

මචං පොත එළිදක්වන උත්සවේට එන්න බැරිවුණා, ඒත් අනිවාර්යෙන්ම පොත ගන්න⁣වා. ගන්න පුළුවන් තැනක් කියලා එවපන්."

සමහරු එහෙම කියලා තිබුණා.

ඒ අස්සේ කව්දෝ නොසන්ඩාලයෙක් පොත PDF කරලා ඉන්ටනෙට් එකට දාලා තිබුණා. සිරිපාද කාලෙට දොදොල් කඩයක් දාගන්න හිතාගෙන හිටියා වාගේ සාහිත්‍ය මාසේට බී.එම්.අයි.සී.එච් එකේ කුටියක් දාගෙන පොත විකුණ ගන්න හිතාගෙන ඉන්න ඇත්තේ. පව් දෙයියනේ!! කවදාවත් අනුන්ගේ පොත් හොරට ගහලා පුරුද්දක් නැති හින්දද කොහෙද සන්නස්ගල සර්ටත් ඒකට හොඳටම කේන්ති ගිහින් තිබුණා. තමන් නොකරන වැරදි අනුන් කරද්දී මිනිස්සුන්ට තරහ යන එක සාධාරණයි. මට රන්ජන් රාමනායකත් මතක් වුණා. PDF එකෙන් පස්සේ පොතට තිබ්බ හයිප් එක තවත් වැඩිවුණා. බොදුබල සේනාවේ හයිප් එකට අර කවදාවත් ඡන්දේ නොදාපු නැගෙනහිර මුස්ලිම් ගෑණු ඡන්ද පොළට ඇඳුනා වගේ කවදාවත් පොත කියවන්නේ නෑ කියලා පොරොන්දු වෙලා හිටපු මමත් ෆේස්බුක් හයිප් එක හින්දා PDF එකට ඇඳුනා.

පොතේ පිටු තිහක් විතර කියවගෙන ගියා. එක හුස්මට නන් නෙමෙයි. අතර මඟදි හොදට හුස්ම ගත්තා. හුස්ම ගත්තා විතරක් නෙමෙයි එළියට ගිහින් ප්ලේන්ටියක් එක්ක සිගරට් එකකුත් ගහලා ආවා. එහෙම එක හුස්මට කියෙව්වේ ඒ ලෙවල් කරන කාලේ "සුළඟ වගේ ඇවිදින්" පොත විතරයි. " ආදරණීය වස්සානය " කියෙව්වේ නැත්තේ සන්නස්ගල සර්ව පෙන්නන්න බැරි හින්දා. සර් හිතලා තියෙන්නේ ගොළු හදවතේ දම්මි-සුගත් වගේ ආදරණීය වස්සානේ කසුන්-චාපා අයිකොනික් වෙයි කියලා. සිදුහත්-යශෝදරා ගැන චිත්‍රපටි හදන රටකට කසුන්-චාපා තාමත් ගැඹුරු වැඩියි.

හරියටම පිටු තිහක් කියවලත් පොතෙන් කියන්න උත්සහ කරන ගැඹුරු සමාජ යථාර්ථය මට තේරුම් ගන්න මට බැරිවුණා. මම ඊට පස්සේ අතරින් පතර පිටු පහක් හයක් කියෙව්වා. හරියට ඉස්සර වැල පත්තරයක් හම්බවුනාම තැනින් තැන තියෙන පින්තූර ටික බලනවා වගේ. ඒත් මට එහෙම බලලත් පොතෙන් කිසිම බැරෑරුම් දාර්ශනික අදහසක් හොයා ගන්න බැරිවුණා. මම හිතන්නේ ඒ මම පල් මෝඩයෙක් හින්දා වෙන්න ඇති. පස්සේ මට මතක් වුණා පරණවිතාන කියලා තිබ්බ අන්තරාලීන සෙල්ලිපි වගේ ජාතියක් මේ පොතෙත් පේළි අතර තියෙනව ද කියලා. තේරුම් ගන්න බැරිවුනත් අඩුගානේ කියවන්නවත් පුළුවන් වෙන්න ඕන මට. කීබොර්ඩ් වීරයෙක්ට ඒක බැරිවෙන්න හේතුවක් නෑ. ඒ උත්සහයත් අසාර්ථකයි. මට ඇඬෙන්න පටන් ගත්තා. මම තනියම ගොඩක් වෙලා ඇඬුවා. කදුළු ඉවර වෙනකම් ඇඬුවා.

අන්තිම කඳුලත් ඇහෙන් වැටුනට පස්සේ මම තීරණය කරා රෑට නින්ද යනකන් කාටහරි කියලා පොතේ ඉතුරු පිටු ටික කියවගන්නවා කියලා. ඒකට ගැලපෙනම කෙනා තමා අපේ පාර කෙළවරේ ගෙදර ඉන්න වසවර්ති මාරයගේ දූවලා තුන් දෙනාගෙන් බාලම එකී. ඒකිගේ නම හංසමාලී. මම වගේ අපතයෙක්ට නින්ද යනකම් කතන්දර කියන්න හංසමාලී කැමති වෙයි ද? පොතේ නම කිව්වහම පොත කියවන්න තියෙන ආසාවට සමහරවිට ඒකි කැමති වෙයි. අපි අවුරුදු දෙදහස් පන්සීයක්ම කරේ නින්ද යනකම් ගෑණුන්ට කියලා කතන්දර කියව ගත්ත එක තමයි. ගෑණුත් ඒකට කැමතියි. අපි කතන්දර කියව ගත්තා අනික් එවුන් සංසර්ගයේ යෙදුනා. දැන් ජාතිය විනාසයි කියලා කෑ ගහලා වැඩක් නෑ. අද කියවන්නේ අවුරුදු 2500ක් තිස්සේ වෙච්ච පම්පෝරිය. මීට අවුරුදු සීයකට කලින් කියන්න ඇත්තේ අවුරුදු 2400ක් තිස්සේ පම්පෝරිය. අවුරුදු දාහකට කලින් කියන්න ඇත්තේ අවුරුදු 1500ක් තිස්සේ පම්පෝරිය. මේ අවුරුදු 2500ටම එකෙක් කියලා නෑ කඩදාසි පොතක් පෙරලද්දි එන ආත්මීය සුවඳ PDF පෙරලද්දි එන්නේ නෑ කියලා. සන්නස්ගල සර් බුද්ධිමය දේපළ පනත පෙන්නලා කිව්වෙත් ඕකම තමයි.

නිමි.
සන්නස්ගලගේ රස්තියාදුව - කෙටි කතාව සන්නස්ගලගේ රස්තියාදුව - කෙටි කතාව Reviewed by Fox Talks on 9:46 AM Rating: 5

1 comment :

Powered by Blogger.