ආගම් විවේචනයට හා අපහාසයට බටහිර ඇති නිදහස.


වසර දෙකකට පෙර එංගලන්තයේ රෝහලක සේවය කල හෙදියක් සේවයෙන් පහ කලේ ඇය තමා යටතේ සිටි රෝගියෙකු සමඟ ඇයගේ ආගමික විශ්වාසයන් පිළිබඳ සාකච්ඡා කිරීම හා රෝගියාට බයිබලයක් ලබාදීම යන චෝදනාව යටතේ ය. ඇය සේවයෙන් පහ කලත් ඇයට එරෙහිව කිසිදු සායනික දෝෂයක් ඉදිරිපත් වී නොතිබිණි. නමුත් ඇය මිනිසුන් අතර සමානාත්මතාව හා විවිධත්වයට ගෞරව කිරීමට අපොහොසත් වූ බවට චෝදනාවේ තවදුරටත් සඳහන් වී තිබිණි. කෙසේ නමුත් වසර දෙකකට පසු තම ප්‍රධානීන්ගේ සමීප අධීක්ෂණය යටතේ නැවතත් හෙද සේවයේ යෙදීමට ඇය⁣ට අවසර ලැබී ඇත.

බටහිර සමාජයේ දිර්ඝ කාලයක් ආධිපත්‍යය දැරූවේ යුදෙව් ක්‍රිස්තියානිය මත පදනම් වූ භක්තිවාදයයි. නමුත් නූතනත්වයේ ගලායාමත් සමඟ බටහිර සමාජයෙන් භක්තිවාදය ඉවත් වී ඒ වෙනුවට හේතුවාදය හා විද්‍යාව ආදේශ විය. නීට්ෂේ විසින් "දෙවියන් මිය ගොස් ඇත" යනුවෙන් පැවසුවේ මෙම තත්වය නිසාය. දෙවියන් මිය යාමෙන් පසුව ක්‍රිස්තියානි සදාචාරයන්ට මිනිස් ජීවිත වලට කලහැකි බලපෑම අවම විය. ඒත් සමඟම ක්‍රිස්තුස් වහන්සේට හා අනෙකුත් ශාන්තුවරයන්ට (අද කොකාකෝලා විකිණීමට යොදාගත්තත් සැන්ට ක්ලෝස් ද ශාන්තුවරයෙකි) එම සමාජයේ තිබූ සුවිශේෂිත්වය අහෝසි වී ඔවුන් ද සාමාන්‍ය මට්ටමේ මිනිස් චරිත හෝ මිත්‍යා සංකල්ප බවට පත්වී අැත. මෙය ක්‍රමයෙන් විකාශනය වී අද වනවිට බටහිර සමාජයේ ආගම් විවේචනය හා ආගමික නායකයන් සම්බන්ධව අපහාසාත්මක හා උපහාසාත්මක දෑ පැවසීම අතිශය සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.

දෙවියන් මියයාමට පෙර බටහිර සමාජයේ ආගමික ඉගැන්වීම් වලට හා පූජක පැළැන්තියට තිබුණ ආධිපත්‍යය දෙවියන්ගේ මියයාමෙන් පසු විද්‍යාවට හා විද්‍යාත්මකව සියල්ල පැහැදිලි කරදෙන විද්‍යාඥයන්ට හිමිවිය. යම්කිසි සංකල්පයකට පිළිගැනීමටක් ලැබෙන්නේ එය විද්‍යාත්මකව පැහැදිලි කිරීමට හැකියාවක් අැතිනම් පමණය. එසේ නොවන සංසිද්ධි නිර්දය ලෙස විවේචනයට බඳුන් වේ. ඉහත හෙදිය සම්බන්ධ සිදුවීමේ දී රෝගියාගේ සහනය සඳහා යාඥාවකින් ලැබෙන උපකාරය, පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම වලින් පැහැදිලි කිරීමට අැති නොහැකියාව නිසා ඇය⁣ට රුකියාව අහිමි වීම දක්වා එම ක්‍රියාව දුරදිග ගොස් ඇත. අදාළ ප්‍රවෘත්තියට අනුව එය බලහත්කාරකමක් ලෙස හඳුන්වා තිබුණේ ද නැත. බොහෝදුරට ඇය යෝජනාවක් වශයෙන් රෝගියාට තමාගේ විශ්වාසය ඉදිරිපත් කරන්නට ඇත. කෙසේ නමුත් හෙදියගේ ක්‍රියාව විද්‍යාව විසින් මිත්‍යාවක් ලෙස හඳුනා ගන්නා අතර නීතිය විසින් හඳුනා ගන්නේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙසටය.

මෙවැනි තත්වයන් නිසා බටහිර දී සුළුතරයක් වූ ආගමිකයන් තම ආගම ඇදහීම බොහෝදුරට පෞද්ගලික වැඩපිළිවෙළක් බවට පත්කර ගෙන ඇතිබව පෙනෙන්නට ඇත. එමෙන්ම ඔවුන්ට ක්‍රිස්තියානියට ප්‍රසිද්ධියේ කෙරෙන අපහාස උපහාස ඉක්මවා යාම කල නොහැකි දෙයක් බවට පත්වී ඇත. මෙය බටහිර සමාජයේ ආගම් විවේචනයට හා ආගමික නායකයන්ට අපහාස කිරීම සම්බන්ධව ඇති ලිහිල් ස්භාවයක් ලෙස හඳුනා ගැනීම නිවැරදි නොවේ. සිදුවී ඇත්තේ සුළුතර ආගමිකයන්ට ඒවාට එරෙහි වීමට හැකියාවක් නොමැති වීමය. එය ක්‍රිස්තියානියට බටහිර සමාජයේ තිබු අාධිපත්‍යය අහිමි වී විද්‍යාවේ ආධිපත්‍යයට නතුවීමෙන් පසුව ඇති වු තත්වයක් ලෙස සැලකිය හැකිය.

ලංකාවේ බොහෝ දේ සම්බන්ධව බටහිර දැනුමේ හා විද්‍යාවේ ආධිපත්‍යයක් පැවතුනත් සිංහල බෞද්ධ සදාචාරයේ බලපෑම සාමාජීය කරුණු සම්බන්ධව තවමත් ප්‍රබලව පවතී. එමනිසා බුදු දහම, බුදුරජාණන් වහන්සේ හෝ භික්ෂූන් වහන්සේ වැනි බෞද්ධයන් අතිශය සංවේදී වන සංකල්පයන්ට කෙරෙන විවේචන හා අපහාස ලිහිල්ව බාර ගැනීමට සිංහල බෞද්ධ සමාජය තවමත් සුදානම් නැත. නීට්ෂේගේ අර්ථයෙන් ගතහොත් සිංහල බෞද්ධ සමාජයේ තවමත් දෙවියන් සම්පූර්ණයෙන් මියගොස් නැත. (එසේ කිරීමට නොනවතින උත්සහයක් කාලයක් තිස්සේ පැවතුනත්)

මේ තත්වය මත බුදුන්ගේ රස්තියාදුව ලියු කතුවරයාටත්, ඒ කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නන්ටත් රස්තියාදුව යන වචනයට තිබෙන සාමාන්‍ය අර්ථයෙන් ඔබ්බට ගොස් තවදුරටත් අර්ථ දක්වන්නට සහ කෘතියේ අන්තර්ගතය බුදු දහමට එරෙහි නොවන බව පෙන්වීමට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුව ඇත. පසුගිය දිනවල මෙම ආන්දෝලනාත්මක නම හා සමාන නම් ඇතුලත් පොත් කිහිපයක් දැක්වෙන සංසන්දනයක් පවා ඉදිරිපත් කර තිබුණේ රස්තියාදුව යන වචනය නිසා සමාජයේ හටගත් කැළඹීම සංසිඳුවීමට ය. බුදු දහමින් පෝෂණය වූ සිංහල බෞද්ධ සදාචාර පද්ධතියට සමාජයේ ඇති ප්‍රමුඛතාවය අහිමි වූ දිනක ඔවුන් මේ ආකාරයේ පැහැදිලි කිරීම් සිදු කිරීමට කාලය මිඩංගු නොකරනු ඇත.
ආගම් විවේචනයට හා අපහාසයට බටහිර ඇති නිදහස. ආගම් විවේචනයට හා අපහාසයට බටහිර ඇති නිදහස. Reviewed by Fox Talks on 9:38 AM Rating: 5

1 comment :

  1. jesu thumagen ganna batahira ratawala ganna un ganna aathal you tube beluwama balaganna puluwan, un Awa sinhawen vindagannawa misak, Awa karana un gini thiyala maranna enne ne

    ReplyDelete

Powered by Blogger.