පීඩිඑෆ් බෞද්ධයන්


අලි ඇතුන් පෙරහැරේ ගෙන යාම බුදු දහමේ ඉගැන්වීමක් නොව ඒ ආභාෂයෙන් ගොඩ නැඟුන සංස්කෘතියේ අංගයකි. කිසිදු දහමට සංස්කෘතික රික්තයක් තුල පැවතිය නොහැකි අතර එය ඇතිවන්නේ සහ පවතින්නේ යම්කිසි සංස්කෘතියක් ඇසුරු කරගෙන ය. මිහිඳු හිමියන් බුදු දහම ලංකාවට රුගෙන ආ පසු එම දහම මෙරට මුල්බැස ගත්තේ එය රදා පැවතීමට සුදුසු සංස්කෘතියක් එකල තිබුණ නිසාය. පසුව බුදු දහම නිසා එතෙක් පැවති සංස්කෘතිය ද වෙනස් විය. එය චක්‍රීය සම්බන්ධයකි. ⁣සංස්කෘතියේ අංග සියල්ල බුදු දහමේ ප්‍රතිපදාවන් හා සමපාත විය යුතුයැයි සිතීම අනුවණ කමකි. නමුත් ප්‍රතිපදාවන්ට වඩා වෙනස් වුවත්, එම සංස්කෘතික අංග හරහා ප්‍රතිපදාවන් පුරන, නිවන උදෙසා වෙහෙසෙන පිරිසට තම කටයුතු කරගැනීම සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය වෙයි.
නැවතත් මෙහි ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි. එක් පිරිසක් සංස්කෘතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර අනෙක් පිරිස ඔවුන් ආරක්ෂා කරන සංස්කෘතිය තුල සිට ප්‍රතිපදාවන් රකිමින්, නිවන් මාර්ගයේ ගමන් කරයි. ආරණ්‍යගතව භාවනායෝගීව සිටින භික්ෂූන් වහන්සේ නමකට තම ප්‍රතිපදාවන් පුරාගෙන එම කටයුතු වල නියැලීමට හැකි වන්නේ එතරම් ප්‍රතිපදාවන්ට මුල් තැන නොදෙන ආරණ්‍යය අවට මිනිසුන්ගේ දානය, පිරිකර ආදී අනුග්‍රහයන් නිසාය. මිනිසුන් භික්ෂූන් වහන්සේලාට දන් දීමට පෙළඹෙන්නේ එය සංස්කෘතියේ ඇති අංගයක් නිසාය. ප්‍රතිපදාවන් පුරන භික්ෂූන්ගේ පරමාදර්ශය නැවත මිනිසුන්ට සංස්කෘතිය දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය හේතුන් සපයයි.
ඇතැම් ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේගේ චර්යාවේ යම් දුර්වලතා පැවතුනත් නිවැරදිව ප්‍රතිපදාවන් පුරන භික්ෂූන් වහන්සේලා වැඩ සිටින බැවින් බෞද්ධයන්ට තවමත් ජීවමාන පරමාදර්ශයන් ලබාගත හැකිය. එම පරමාදර්ශයන් මත සිටිමින් මිනිසුන් ගමේ විහාරස්ථානය හා එහි වැඩ සිටින භික්ෂූන් වහන්සේ හා සම්බන්ධ වෙයි. මෙම සම්බන්ධය නිසා සංස්කෘතියේ ඉදිරි පැවැත්ම තහවුරු වේ. මේ සියලු සම්බන්ධයන් එකට ගැට ගැසී ඇත. එක් කොටසක බිඳ වැටීම නිසා සම්බන්ධතා සියල්ල බිඳ වැටිය හැක.
මෙම සමස්ථ සම්බන්ධය ගැන අවබෝධයක් නොමැති අයට ජීවිත කාලය පුරාවටම නැවත නැවත ඇසිය හැකි ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී ඇත. පෙරහැර පැවැත්වීමට බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ කොහෙද? අලි ඇතුන් පෙරහැරේ රැගෙන යාම බුදු දහමට එකඟ ද? ඔවුන්ගේ මෙම ප්‍රශ්න ඇසීම වාර්ශිකව පෙරහැර පවත්වනවා මෙන්ම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. දළදා පෙරහැර වැනි දැවැන්ත සංස්කෘතික අංගයක් මඟින් අැතිවන සංස්කෘතික උද්දීපනය නිසා මිනිසුන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කලයුතුය යන හැඟීම ඇතිවේ. එම හැඟීම සංස්කෘතියේ මෙන්ම බුදු දහමේ ඉදිරි පැවැත්මටත් උපකාරි වේ.
අද බටහිර මිනිසුන්ට සාමකාමීව බුදු දහම ඇදහීමක් ගැන කතාබහ කලහැකි වුවත් ඔවුන්ට එසේ බුදු දහමක් ගැන කතා කිරීමට පවා හැකි වී තිබෙන්නේ මේ දක්වා ලංකාව ප්‍රමුඛව පෙරදිග බෞද්ධ සංස්කෘතීන් තුල මිනිසුන් තම ජීවිත පරදුවට තබා, ඇතැම් විට යුද වැදී ඒවා ආරක්ෂා කල නිසාය. ත්‍රිපිටකය ග්‍රන්ථරූඩ කිරීම බුදු දහමේ ඉදිරි පැවැත්මට උපකාරී වූ බව අවිවාදිතය. එහෙත් එයට සමගාමීව ත්‍රිපිටකයේ සදහන් ප්‍රතිපදාවන් අනුගමනය කරන පිරිසක් හා එම පිරිසට අනුග්‍රහය දක්වන සංස්කෘතියක් තිබීම ද අත්‍යාවශ්‍ය ය. වර්තමානයේ බුදු දහමේ ආරක්ෂාව ගැන කතා කරන ඇතැමුන් ත්‍රිපිටකය අන්තර්ජාලයට පවා එක්වී තිබෙන නිසා එහි ආරක්ෂාව ගැන පෙර සේ වද නොවිය යුතුයැයි පවසයි. පීඩිඑෆ් වලට ඇතුලත් වූ පමණින් දහමක් ආරක්ෂා වන්නේ නැත. ත්‍රිපිටකය පරිගණක වල තැන්පත් කල පමණින් බුදු දහම හා ශාසනය ආරක්ෂා වේ යැයි සිතීම අනුවණ කමකි.
පීඩිඑෆ් බෞද්ධයන් පීඩිඑෆ් බෞද්ධයන් Reviewed by Fox Talks on 10:00 AM Rating: 5

2 comments :

  1. හොඳ ලිපියක්. පෙරහර ගැන, අලි ඇත්තු ගැන කතා කරන පඬියන්ට හොඳ කනේ පාරක්. ඔබට ජය.

    ReplyDelete

Powered by Blogger.