අනෙකාගේ දැක්ම (gaze)


දෙවන ලෝක යුද්ධය පසුබිම් කොටගෙන නිපදවා ඇති Allied නම් චිත්‍රපටයේ කතා තේමාව ගොනුවී ඇත්තේ මොරොක්කෝවේ සිටින ජර්මානු තානාපතිවරයා ඝාතනය කිරීමට උත්සහ ගන්නා මැක්ස් යන කැනඩා රහස් ඔත්තු සේවා නිළධාරියෙක් සහ ප්‍රංශ යුද සේවය අතහැර මොරොක්කෝවට පැමිණ, එහි සිටින ජර්මානුවන්ගේ විශ්වාසය දිනාගත් මැරියන් නමැති තරුණියක් වටාය. ඝාතන මෙහෙයුමට අනුව ඔවුන් ප්‍රසිද්ධියේ හැසිරිය යුත්තේ විවාහක යුවලක් වශයෙන්ය. 

කැසබ්ලන්කා නගරයේ තිබෙන මැරියන්ගේ නිවසට පැමිණෙන පළමු දින රාත්‍රීයේ මැක්ස් විසිත්ත කාමරයේ ඇති විශාල සෝෆාවේ නිදාගන්නට සැරසෙන විට මැරියන් පවසන්නේ ඔහු නිදාගත යුත්තේ නිවසේ විවෘත වහලයේ බවයි. ඒ කැසබ්ලන්කාවේ සැමියන් බිරිඳ සමඟ ආලිංගනයෙන් පසු නිදාගැනීමට යා යුත්තේ වහලයේ ලෙස සම්ප්‍රදායක් පැවති නිසාය.

මැක්ස් විවෘත වහලයේ සිගරැට්ටුවක් පානය කරමින් විවේකීයව සිටින විට මැරියන් රාත්‍රී ඇඳුමකින් සැරසී ලන්තෑරැමක් ද රැගෙන වහලයට පැමිණෙයි. ඇය මැක්ස්ට සමීප වී පවසන්නේ සැමියා පැමිණි ප්‍රථම රාත්‍රියේදීම තමන් වහලයට පැමිණ ඔහු සමඟ ප්‍රේමනීය හැසිරීමක නොයෙදුනහොත් එය අසල්වාසීන්ගේ කුතුහලය ඇවිස්සීමට හේතුවිය හැකිබවය.

අසල්වාසීන් යනුවෙන් ඇය හැඳින්වුයේ යාබඳ මහල් නිවාස වල සිටින නිරන්තර ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන ඉහළ ජර්මානු නිළධාරීන්ගේ බිරින්ඳෑවරුන්ටය. මැරියන් ඇයගේ සැමියාගේ පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කොට ඇත.

" මම අහල පහළ අයට ඔයා ගැන හැමදේම කිව්වා."

" එයාලා ගොඩක් උනන්දුවෙන් ඉන්නේ අපි ගැන. "

" දැන් එයාලා හිතන්නේ ඔයා වහලෙට ඇවිත් ඉන්නේ, අපි දෙන්නා අඹු සැමියන් වශයෙන් හැසිරිලා අවසන් වෙලා කියලා. "

" ඒත් මට ඔයා නැතුව පාළු හින්දා ආපහු වහලට එනවා ඔයාට මගේ ආදරය ප්‍රකාශ කරන්න. මොකද ඔයා නැතුව මම මාස ගාණක් තනියම නිදාගෙන තියෙන්නේ. "

" ඒක හින්දා අපි දෙන්නා දැන් කතා කරන්න ඕන, ඒ වගේම හිනා වෙන්නත් ඕන. "

එම උපදෙස් මාලාව අවසන් වනවාත් සමඟ මැරියන් අසල නිවාස සියල්ලන්ටම ඇසෙන සේ මහ හඬින් හිස්ටෙරික සිනහවක් නඟයි.

අවට නිවෙස්වල ජනෙල් තිර පසුපසට වී බලා සිටින අසල්වාසී කාන්තාවන්ට පෙනෙන පරිදි, යුද්ධය අවසන් වූ පසුව මැක්ස්ගේ අනාගත බලාපොරොත්තු ගැන විධිමත් සංවාදයක් අතිශය රොමැන්තික ස්වරූපයකින් කරයි. ඒ අතරතුර විටින් විට එම කාන්තාවන්ට පෙනෙන සේ ඇයව සිප ගැනීමට ද මැක්ස්ට නියෝග කරයි.

ලැකානීයානු මනෝවිශ්ලේෂණයේ දී gaze යන සංකල්පයෙන් අදහස් කරන්නේ අපේ ඇසට පෙනෙන වස්තු හෝ අපේ බැල්මට හසුවෙන වස්තු හෝ යම් විදිහකින් තමන් දෙස නැවත බලාගෙන සිටින්නාක් මෙන් දැනෙන ගුප්ත හැඟීමට ය. මෙය සරළ උදාහරණයකින් පැහැදිලි කලහොත්, මහල් ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිටගෙන සිටින තරුණියක් මුලින්ම තමා ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේ විවෘත ජනෙල්, වීදුරු, බාගෙට වැසුන දොරවල් හා එහි විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන මිනිසුන් දෙස අවධානය යොමු වේ. නමුත් ටික වේලාවක් සිටින විට වීදුරු ඇතුලේ සිට, අඩවල් වූ දොරවල්, ⁣ජනේල පසුපස සිටින මිනිසුන් තමා දෙස බලා සිටිනවා යන ගුප්ත හැඟීමක් ඇයට ඇති වේ. එම හැඟීමත් සමඟ තමාගේ හැසිරීම සම්බන්ධව ඇති පාලනය තමාගෙන් ගිලිහී ගොස් යම් කිසි අවස්ථාවක සිට ගොඩනැගිල්ලේ සිට තමන් දෙස බලාසිටිනවා යැයි සිතන මිනිසුන්ගේ දැක්මට ප්‍රතිචාර දක්වන හැසිරීමක් බවට පත්වේ. ඉන්පසුව ඇය කොණ්ඩය සකසන්නේ, සිටගෙන සිටින ඉරියව් වෙනස් කරන්නේ ඉදිරි පස සිට තමන් දෙස බලාසිටිනවා යැයි සිතන අනෙකුගේ දැක්මට අනුකූල වන ලෙසය.

It is obvious that the couple in front of the window are fantasizing that someone is observing them through the window! They need that gaze in order to be in love: Their love for that gaze.

ඉහත උදාහරණයට අනුව ජනේලයක් ඉදිරිපස සිටින පෙම් යුවලගේ ෆැන්ටසිය වන්නේ ජනේලය පිටුපස සිටින යමෙක් තමන් දෙස ඕනෑකමින් බලා සිටිනවා යන්න ය. ඔවුන් දෙදෙනාට ප්‍රේමයෙන් වෙලීමට එම දැක්ම අවශ්‍යය. නමුත් ඔවුන්ගේ ෆැන්ටසිය⁣ට සැබෑවටම යමෙක් ජනේලය පසුපස සිට ඔවුන් දෙස බලා සිටීමට අවශ්‍ය නොවන අතර එම ගුප්ත හැඟීම ඇතිවීම පමණක් ප්‍රමාණවත් ය. ඉහත Allied චිත්‍රපටයේ මැක්ස් සහ මැරියන් අතර ජවනිකාවෙන් ප්‍රක්ෂේපණය වන්නේ ජනේලය ඉදිරිපස සිටින පෙම් යුවල අනෙකාගේ දැක්මට අවනත වන ක්‍රියාවලියේ සවිඥානික ස්වරූපයය. එනම් මැරියන්ට අනෙකාගේ දැක්ම ගැන ඇත්තේ ගුප්ත හැඟීමක් නොව සැබෑවටම ඇය දෙස යොමුවූ දෑස් අවට ඇතිබව දනියි. Allied ජවනිකාවෙන් ඉදිරිපත් ⁣වන්නේ අනෙකාගේ දැක්ම ගැන ඇති ෆැන්ටසිය ඉවත් වී ඇති අවස්ථාවක එකම සිදුවීම සිදුවන ආකාරයයි.
අනෙකාගේ දැක්ම (gaze) අනෙකාගේ දැක්ම (gaze) Reviewed by Fox Talks on 2:27 AM Rating: 5

No comments :

Powered by Blogger.