ලංකාවේ "ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි" කොමඩි


වේදිකාවක ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවිව ඉදිරිපත් කරන විහිළු හෙවත් ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල විනෝදාස්වාදය ලබාගන්නා ජනප්‍රිය අංගයකි. එම ප්‍රසංග වලදී සමාජයේ දක්නට ලැබෙන නොයෙකුත් සිදුවීම්, දේශපාලනය, එක් එක් ජන වර්ගවලට අනන්‍ය ලක්ෂණ වලට අනුව ස්ටීරියෝටයිප් කිරීම ආදිය මඟින් හාස්‍ය උපදවීම සිදුකරයි. ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි හරහා සාමාන්‍ය සමාජ සම්බන්ධතා තුල අශ්ශීල හෝ යම් ජන වර්ගයකට අයත් යැයි සැලකෙන පුද්ගලයකුගේ සිත් රිදවීමකට හේතුවිය හැකි දෙයක් හාස්‍ය මුසුකොට ඉතා පහසුවෙන් ඉදිරිපත් කල හැකිය.

Dave Chappelle යනු ජනප්‍රිය කළු ඇමරිකානු ශිල්පියෙකි. ඔහුගේ ප්‍රසංගවල කළු ජාතිකයන් සම්බන්ධව ප්‍රසිද්ධ සමාජයේ ප්‍රකාශ කිරීමට අපහසු හා සදාචාරාත්මක නොවන අදහස් ඔහුගේම ශෛලියකට හාස්‍ය මුසුකොට ඉතාමත් පහසුවෙන් ඉදිරිපත් කරයි. උදාහරණයක් ලෙස ඔහුගේ ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි වල අදහස්වලම දිගුවක් ලෙස ඉදිරිපත් කරන, තමා සුදු ජාතිකයෙකු (Clayton Bigsby) යැයි සිතන අන්ධ කළු ජාතිකයකුගේ චරිතයක් නිරූපණය කරමින් ඔහු ඉදිරිපත් කරන පහත අදහස සලකා බලන්න. එය සාමාන්‍ය සමාජ සම්බන්ධතා වලදි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල නොහැකි මට්ටමේ අදහස් ගොන්නකි. නමුත් ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි සන්දර්භය තුල එවැනි අදහසක් කිසිවෙකුගේ උදහසට භාජනය නොවී පහසුවෙන් ඉදිරිපත් කලහැක.

In one scene, Bigsby rants about hating African Americans: “First of all they’re lazy, good for nothin’ tricksters, crack smokin’ swindlers, big butt havin,’ with their wide noses breathin’ all the white man’s air. They eat up all the chicken, they think they’re the best dancers, and they stink. Matter of fact, my friend Jasper told me one of them coons came by his house to pick his sister up for a date. He said ‘look here nigger, that there is my girl. If anyone is going to have sex with my sister it’s gonna be me!’”

මෙය යම් හාස්‍යයක් මතු කරන මුත්, එම හාස්‍යයට යටින් දිවෙන කළු ජාතිකයන් පිළිබඳව සුදු ජාතිකයන්ගේ යම් සිතීමේ රටාවක් ද ඇතුලත්ව ඇත. ⁣එමෙන්ම හොලිවුඩ් චිත්‍රපට හා රැප් සංගීතය හරහා සෙසු ලෝකයාට කළු ඇමරිකානුන් පිළිබඳ මවා ඇති චිත්‍රයේ අඩංගුවක් ද ඉහත දෙබසේ ඇත.

ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි ප්‍රසංගවල වඩාත් ජනප්‍රිය අංගයක් වන්නේ එක් එක් රටවල මිනිසුන්ගේ ඉංග්‍රීසි උච්චාරණය ඇසුරෙන් හාස්‍ය ඉපැදවීමය. එහිදී බහුලව ඉංදියානු, අප්‍රිකානු, චීන, අරාබි, ලතින් ඇමරිකානු ආදී ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි නොවන මිනිසුන්ගේ උච්චාරණයන් යොදාගැනේ. මෙම ප්‍රසංග නැරඹීමට පැමිණෙන මිනිසුන් උච්චාරණය සම්බන්ධ හාස්‍යජනක කතා අසා විනෝද වෙයි. Russell Peter මෙම උච්චාරණයන් බහුලව යොදාගනී. යම් ජාතියක භාෂා උච්චාරණයක් තවත් ජාතියකට හාස්‍ය උත්පාදනය කිරීමේ හැකියාවක් ඇත්තේ ඇයි?

බොහෝ ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි වල ඇති තවත් ලක්ෂණයක් නම් අශ්ශීල වදන් භාවිතය ය. විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ කිසිදු පැකිලීමකින් තොරව රිසි පරිදි අශ්ශීල වදන් භාවිතා කිරීම මෙවැනි ප්‍රසංගවල සාමාන්‍ය තත්වයකි. Katt Williams නමැති ශිල්පියාගේ ප්‍රසංගයක් නැරඹුවහොත් මේ තත්වය දැකගත හැක. කළු ඇමරිකානුවන් වන මොවුන්ගේ මෙම භාෂා විලාශය හා අභිනයන් ඔවුන්ගේ ජීවන රටාව හා බද්ධව පවතිනවා යැයි සිතිය හැක. ආයාසයකින් ආරෝපණය වීමකින් තොරව යම්කිසි රිද්මයකට සිදුවන මේ වදන් භාවිතය අදාල සන්දර්භය හා මුසුවන විට හාස්‍යයක් ඉපද වේ.

මේ කරුණු සඳහන් කලේ ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි ගැන නොදන්නා අයට ඒ පිළිබඳ යම් අදහසක් ඇතිකර ගැනීමටය. දැන් ඒ අදහස සිතේ තබාගෙන හෝ යූටියුබ් වීඩියෝ කිහිපයක් නරඹා හෝ පහත දැක්වෙන කොමඩිය නරඹන්න.

https://www.facebook.com/whereisfreddy/videos/1657911587655667/


https://www.youtube.com/watch?v=zl_2feZOj3I&t=2s

George Carlin, Bill Hicks වැනි ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි හරහා යම්කිසි දේශපාලනයක් කිරීමට උත්සාහ කල ශිල්පීන් සිටිය ද බොහෝ ⁣ශිල්පීන්ගේ ප්‍රසංගවල ඇත්තේ සාමාන්‍ය සාමාජීය කාරණා හා වල්පල් ය. බටහිර ශිල්පීන්ගේ ශෛලියන් අනුකරණය කරමින් කරගෙන යන මේ ප්‍රසංගයෙත් ඇත්තේ ද එවැනි සාමාජීය කාරණා හා වල්පල් ය. බටහිර ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි නරඹා ඇති කෙනෙකුට මෙය දකිද්දී මුලින්ම ඇති වන්නේ බටහිර ශිල්පීන් කිහිප දෙනෙකුම අමු අමුවේ අනුකරණය කිරීමට ගන්නා අසාර්ථක උත්සහයක් බවයි. බොහෝවිට Trevor Noah මතක් විය හැක. ශෛලියන් අනුගමනය කිරීමට උත්සහ ගත්ත ද මෙහි ඇති විශේෂත්වය වන්නේ කිසිදු නිර්මාණශීලිත්වයක් නොවීමය. ගැලපීමකින් තොරව "එෆ් වචනය" (f-word) තැන් තැන් වලින් එබු පමණින් හාස්‍යයක් ඉපද වෙන්නේ නැත. අභිනයන් සම්බන්ධයෙන් කිව හැක්කේ ද එයමය.

හාස්‍යය එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයක් බව සත්‍යයකි. නමුත් හාස්‍යජනක දෙයක් යැයි දළ වශයෙන් ඕනෑම කෙනෙකුට හඳුනාගත හැකි යම් ලක්ෂණ ඇත. කිසිදු නිර්මාණශීලිත්වය නොමැති දුර්වල අනුකරණයක් වන මෙම ප්‍රසංගය අපට පෙනෙන්නේ ව්‍යසනයක් (catastrophe) ලෙසට වුවත් ඒ විහිළු වලටත් ප්‍රේක්ෂකාගාරයේ සිට සිනහ හඬ නැගෙයි. මෙම තත්වය තේරුම් ගැනීමට ශිල්පියා මෙන්ම ප්‍රේක්ෂකයා ද අයත්වන සමාජ ඒකකය හඳුනාගත යුතුය. ශිල්පියා ද ප්‍රේක්ෂකයා ද අයත් වන්නේ ලංකාවේ ඉංග්‍රීසි කතා කරන සමාජයටය. බටහිර සංස්කෘතිය අගය කරන හා හැකිතාක් එයට අනන්‍ය වීමට උත්සාහ කරන ඔවුන්ට ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි ප්‍රසංගයකට සහභාගි වී සිනා සීමට ලැබීම ඔවුන්ට තවදුරටත් බටහිර සංස්කෘතික ආකෘතිය තුලට යෑමට ඉඩ සලසා දෙන්නකි. එම ප්‍රසංගයක් නැරඹීම තුලින් අනන්‍යතාව ගොඩනගා ගත හැක්කේ ශිල්පියා හාස්‍යජනක අයුරින් කීමට උත්සහ කරන දේට නොකඩවා සිනාසීම තුලිනි. එනම් මෙම ප්‍රසංගයකට සහභාගි වී සිනාසීම අනිවාර්යෙන් කලයුතු දෙයකි. යම්කිසි හේතුවකින් සිනාසීමට නොහැකිවීම යනු තමා ගොඩනඟා ගැනීමට යන අනන්‍යතාව තමාම බිඳදමා ගැනීමකි.

මෙහිදී මතකයට නැගෙන්නේ ඇමරිකානු කොමඩි නාට්‍යවල දක්නට ලැබෙන canned laughter ක්‍රමයයි. එහිදී නාට්‍යයේ ඇති හාස්‍යජනක යැයි සැලකෙන ජවනිකා වලට ප්‍රේක්ෂකයා වෙනුවෙන් නාට්‍යයේ පසුබිම තුලින්ම සිනා හඬක් ලබාදෙයි. එහිදී ප්‍රේක්ෂකයාට සැබෑවට සිනහ යනවා ද නැද්ද වැදගත් නැත. මෙහිදි පෙනෙන්නේ ද ශිල්පියා විහිළුක් ලෙස ඉදිරිපත් කරන කොටසට ප්‍රේක්ෂකයා ද අනිවාර්යෙන් සිනහ හඬක් එකතු කිරීමය. එයට තමාට සැබෑවටම සිනහ යනවා ද නැද්ද වැදගත් නැත. සිනහ නොවුනහොත් ප්‍රසංගය නැරඹීමෙන් ගොඩනඟා ගැනීමට යන අනන්‍යතාව බිඳ වැටේ. 

බන්දු, ටෙනිසන්ලා කොමඩි ආරම්භ කරන මුල් කාලයේ හාස්‍ය ඉපදවීමට වැඩි වශයෙන් යොදාගත්තේ දොරවල්වල හැප්පීම්, කකුල පැටලී ඇඳගෙන වැටීම් ආදියය. නමුත් දිගු කාලයක් එම රාමුවේ විහිළු යොදාගත් නිසා ඒවට සිනහ නොයන තත්වයක් අැති වී ඇත. බන්දු හා ටෙනිසන්ගේ අවසානය මෙන් මෙම ශිල්පීයා තමන්ගේ කොමඩි ආරම්භ කර ඇත්තේ බටහිර ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි වල තවදුරටත් සිනහ නොයන මට්ටමට පැමිණ ඇති අංග යොදාගනිමිනි. ඇතැම්විට යම් නිර්මාණශීලිත්වයක් එකතු වූයේ නම් හාස්‍යයක් උත්පාදනය වීමට හැකියාවක් තිබේ. අවාසනාවකට එසේ වී ද නැත. ඔබ බටහිර සංස්කෘතියට හෝ ජීවන රටාවට ප්‍රිය අයෙකුනම් ඔබට කලහැකි හොඳම දෙය බටහිර රටකට ගොස් ඒ ජීවන රටාවට අනුගතව ජීවත් වීමය. එසේ නොහැකි වනවිට සිදුවන්නේ තම රටේම සිටිමින් හැකි පමණින් බටහිර අංග අනුකරණය කරමින් මෙවැනි අනුකරණවාදී, ව්‍යාජ, ගන්ධබ්බ සමාජයකට ඇතුල්වීමටය.
ලංකාවේ "ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි" කොමඩි ලංකාවේ "ස්ටෑන්ඩ් අප්⁣ කොමඩි" කොමඩි Reviewed by Fox Talks on 9:49 PM Rating: 5

No comments :

Powered by Blogger.