පියුමි හංසමාලි (ස්ත්‍රිය පිරිමියාගේ රෝග ලක්ෂණයයි)



ඔටෝ වෙයිනින්ගර් නම් ප්‍රති-ස්ත්‍රීවාදී දාර්ශනිකයා පවසන්නේ ස්ත්‍රියට ඇයගේම කියා පැවැත්මක් නොමැති අතර ඇයගේ සද්භාවාත්මක තත්වය අනුව ස්ත්‍රිය යනු පිරිමියාගේ පාපයේ භෞතික ස්වරෑපය පමණක්ම යන්නයි. එමනිසා ඇයගේ පැවැත්ම නැතිකර දැමීමට නම් පිරිමියා කල යුත්තේ ඇය සමග සටන් කිරීම හෝ ඇයව විනාශ කර දැමීම හෝ නොව තමන්ගේ ආශාව පිරිසිදුභාවයට පත්කර ගැනීම පමණි. පිරිමියා තමාගේ අාධ්‍යාත්මය ශුද්ධ තත්වයකට පත්කරගත් විට ඉබේම ඇයගේ පැවැත්ම අභියෝගයකට ලක්වී කොටස්වලට වෙන්වී යයි. එය පැහැදිලි කිරීමට වෙයිනින්ගර් Parsifal නම් ඔපෙරාවක එන Parsifal හා Kundry නම් චරිත දෙකක හැසිරීම යොදාගනී. එක්තරා අවස්ථාවක දී Parsifal ඔහුගේ ආශාවන් පිරිසිදුභාවයට පත්කරගෙන Kundry ව ප්‍රතික්ෂේප කරයි. එම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇයට කතා කිරීමට නොහැකි වී, ගොළු බවට පත්වී, අවසානයේ මරණයට පත්වෙයි. එමනිසා ස්ත්‍රිය පවතින්නේ ඇය පිරිමි දැක්ම (male gaze) ආකර්ෂණය කරගන්නා තාක්කල් පමණයි යන අදහස සත්‍ය බව වෙයිනින්ගර් පවසයි.

වෙයිනින්ගර්ගේ අදහස පසුබිම් කරගෙන අපට ලැකානීයානු තීසිසයක් වන Woman is a symptom of man යන්න තේරුම් ගත හැක. ලැකාන්ගේ අදහස වන්නේ ස්ත්‍රියට සාරමය පැවැත්මක් නොමැති අතර ඇය පවතින්නේ පිරිමියාගේ රෝග ලක්ෂණයක් ලෙස බවයි. (Woman doesn't exist in herself, as a positive entity with full ontological consistency, but only as a symptom of Man) ස්ත්‍රිය පිරිමියාගේ රෝග ලක්ෂණයි යන මෙම ලැකානීයානු සිද්ධාන්තය පැහැදිලි කිරීමට ජිජෙක් ලතින් ඇමරිකානු කවියෙක් කලින් කලට තමාගේ සහකාරියන් වන ස්ත්‍රින්ගේ දේශපාලන අභිප්‍රායන්ට ගැලපෙන පරිදි ඔහුගේ නිර්මාණ වල ඇති දේශපාලනික ස්භාවය වෙනස් කරන අයුරු දැක්වෙන කෙටි කතාවක් ගෙනහැර දක්වයි.

කවියා දක්ෂිණාංශික ෆැසිස්ට්වාදී දේශපාලන අදහස් දරන සහකාරියක් සමග සිටින විට මිලිටරි පුහුණුව හා දේශප්‍රේමී කැපකිරීම් ආදිය වර්ණනා කරයි. ඔහු කොමියුනිස්ට්වාදී අදහස් දරන සහකාරියක් සමග සම්බන්ධ වන විට ගරිල්ලා සටන් වර්ණනා කරයි. පසුව හිපි සංස්කෘතිය අනුව හැඩගැසුන සහකාරියක් සමග සිටින විට මත්ද්‍රව්‍ය හා අාධ්‍යාත්මික භාවනා ක්‍රම ගැන ලියයි. මෙහිදී සිදුවන්නේ පිරිමියා හුදෙක් තමාගේ අදහස් ගෙනහැර දැක්වීමට ස්ත්‍රිය භාවිතා කරනවා නොව පිරිමියා විසින් තමාගේ රෝග ලක්ෂණය සොයා ගමන් කිරීමය.

මෙය ඉතා මතභේදාත්මක අදහසක් වන අතර පියුමි හංසමාලිගේ හැසිරීම උපයෝගි කරගෙන මෙම න්‍යායාත්මක අදහස තවදුරටත් තේරැම් ගැනීමට උත්සහ කරමු. පියුමි හංසමාලි තමාගේ ශරීරයෙන් වැඩි ප්‍රමාණයක් පෙනෙන ආකර්ෂණීය පින්තූරයක් තම සමාජජාලා ප්‍රෝෆයිලයකට එක් කරයි. ඉන්පසු ඇයව ෆලෝ කරන පිරිමින් ඒවාට ලයික්, කොමෙන්ට් සිය දහස් ගණනක් එකතු කරයි. මෙය නොකඩවා සිදුකරන කර්තව්‍යයක් බවට පත්වේ. මේ ආකාරයට ඇය වටා එකතුවෙන පිරිමින්ගේ රෝග ලක්ෂණය වීම ප්‍රතික්ෂේප නොකරන තාක්කල් ඇයට පියුමි හංසමාලි ලෙස පැවැත්මක් ඇත. එසේත් නැත්නම් ඇය වටා දැන් එකතුවී සිටින සියලුම පිරිමින් ශාන්තුවරයන් වු දිනක ඇගේ පැවැත්ම අහෝසිවනු ඇත.


පියුමි හංසමාලි (ස්ත්‍රිය පිරිමියාගේ රෝග ලක්ෂණයයි) පියුමි හංසමාලි (ස්ත්‍රිය පිරිමියාගේ රෝග ලක්ෂණයයි) Reviewed by Fox Talks on 8:13 AM Rating: 5

No comments :

Powered by Blogger.