පන්සල් සහ සාමූහිකත්වය


සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති මූලික ලක්ෂණයක් නම් සාමූහිකත්වයය. මුල් කාලයේ රටේ සෑම සමාජ ස්ථරයකම සාමූහිකත්වයේ ලක්ෂණ දක්නට තිබෙන්නට ඇතිමුත් බටහිර පන්නයේ නාගරීකරණයත් සමඟම නගරවලින් එම සාමූහිකත්ව ලක්ෂණ හීන වී යාමට පටන් ගැනුණි. දැන් නාගරිකයන්ට සාමූහිකත්ව හැඟීම් පහලවන්නේ අතිශය ව්‍යසනකාරී අවස්ථාවන් වලදී පමණි. නගරයෙන් වියැකි යන සාමූහිකත්ව ලක්ෂණ ගම්වල තාමත් දැකිය හැකිය. මේ ලක්ෂණය නොවෙනස්ව තබා ගැනීමට ගමේ පන්සලෙන් දෙන දායකත්වය අති විශාලය. ගම්වල තවමත් ප්‍රධානතම රැස්වීමේ මධ්‍යස්ථානය පන්සලය. පන්සල ආශ්‍රිතව ගොඩනැගී ඇති සමිති සමාගම් හරහා පොදුවේ ගමට බලපාන තීන්දු තීරණ ගනු ලබයි. බොහෝවිට පන්සලේ හාමුදුරුවන්ගේ අනුශාසනා වලට ප්‍රමුඛත්වය ලැබේ. නායක හාමුදුරුවන් ඉක්මවා යාමක් සිදුනොවේ. එමනිසා ඇතැම්විට සිත් අමනාපකම් ද ඇත්වේ. නමුත් එයින් සාමූහිකත්වයට හානි සිදුනොවේ. ගමේ මිනිසුන් එක්රැස් වී කරන බොහෝ ක්‍රියාකාරකම් ඇත්තේ පන්සල හෝ පන්සලේ අැති දේවාලය ආශ්‍රිතවය. එමනිසා මිනිසුන් පන්සල් යන්නේ පෝයට පමණක් නොවේ. පෝය දින ශීල ව්‍යාපාරය මෙන්ම හවසට පන්සල් යාම ද සාමුහික ක්‍රියාකාරකමකි.
නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල මිනිසුන් බොහෝවිට පන්සල් යන්නේ පෝය දවසට පමණය. සාමුහිකව පන්සල් යෑමකට වඩා ඇත්තේ කුඩා පවුල් පිටින් ගොස් හවසට බුදුන් වැදීමය. සිල් ගැනීමට යන්නේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙනත් පන්සල් වලටය. ගමේ පන්සලට නොයා එවැනි ස්ථාන වලට යාමට සාධාරණ හේතු ද ඇත. ගමේ පන්සලට යන මිනිසුන් ගමේ පොදු වැඩකටයුතු ගැන, පන්සලේ කටයුතු ගැන, පිංකම් ගැන නායක හාමුදුරුවන් හමුවී කතාබස් කරගෙන එයි. නාගරික පන්සල් වලට යන මිනිසුන් බුදුන් වැඳ නායක හාමුදුරුවන් හමුවී තමාගේ රැකියාවේ කාර්ය බහුලත්වය ගැන, දරැවන්ගේ ඉගෙනීමේ දක්ෂතා ගැන, පිටරට ඉන්න නෑදැයන් ගැන පම්පෝරි ගසා ගෙදර යයි. පොදුවේ ගත්කල නාගරික පන්සල්වල එතරම් සාමුහිකත්ව ලක්ෂණ දකින්නට නොලැබේ. සමිති සමාගම් අැතත් ඒවාට මුදලින් සම්මාදම් වීම හෝ තමන්ට අදාල වැඩ කොටසට පමණක් සම්බන්ධ වී හෝ ඉවත්ව යයි.
මහමෙව්නා අසපුව වැනි නාගරික ජනයා අතර බෞද්ධ ප්‍රබෝධයක් අැති කිරීමට සමත් වු පන්සල් ගැන ඇතැම් අයට විවේචන තිබුණත් ඒවායේ නාගරික අනෙක් පන්සල් වලට වඩා සාමුහිකත්ව ලක්ෂණ දක්නට ලැබෙන බව කිව හැකිය. අැතැමුන් අසපු ආශ්‍රිතව ඇත්තේ කල්ට් එකක් යැයි පවසන්නේ මේ සාමුහිකත්ව ලක්ෂණ සමාජයේ පවතින සම්ප්‍රදායික ක්‍රම වලට එරෙහිව යන නිසා විය හැකිය. ගම්වල පන්සල් වලට මිනිසුන් ඒකරාශි වන්නේ ඒ මිනිසුන්ගේ ස්භාවයෙන්ම පවතින සාමූහිකත්වයේ හැඟීම නිසාය. සාමූහිකත්ව හැඟීමට පන්සල හරහා විශාල පිටුවහලක් ලැබුනත් පන්සලෙන් පිටතත් ඒ ලක්ෂණ දැකගත හැකිය. අසපු වලට යන දායකයන් සාමුහිකව එකට බැඳ තබන හුය වන්දනා මාන ක්‍රම සම්බන්ධව හා ධර්මය සම්බන්ධව ඔවුන් අතර ඇති පොදු එකඟත්වය, පොදු හැඟීම යැයි කිවහැකිය. එමනිසා එයින් ලැබෙන සාමූහිකත්ව හැඟීම අසපුවෙන් පිටත ක්‍රියාකාරකම් සදහා එතරම් බලපෑමක් කරන්නේ නැත.
පන්සල් සහ සාමූහිකත්වය පන්සල් සහ සාමූහිකත්වය Reviewed by Fox Talks on 9:28 AM Rating: 5

No comments :

Powered by Blogger.