මෝඩයා සහ රජු සහ මම


ලැකානීයානු අර්ථ විග්‍රහයට අනුව මෝඩයෙක් යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවෙක් තමාගේ ඒ මොහොතේ පවතින අනන්‍යතාවය තමාගේ සැබෑ අනන්‍යතාවය යැයි විශ්වාස කරන කෙනෙකුටය. එයට දක්වන උදාහරණය නම්, රජෙක් තමා රජෙක් යැයි සිතීම, යම් මානසික ව්‍යාධියක් තිබෙන පුද්ගලයෙකු තමා රජෙක් යයි සිතීමට වඩා වෙනස් නොවේ. රජු තමාගේ රජකම පිළිබද අදහස තමාටම අයත් ස්භාවික ලක්ෂණයක් ලෙස සිතයි, නමුත් සැබෑවටම එය ඔහුද කොටසක් වන සමාජ ව්‍යුහයේ පවතින අන්තර්-පුද්ගල සමාජ සම්බන්ධතා (රජු හා ඔහු රජු වශයෙන් පිළිගන්නා ජනතාව) විසින් ඔහුට සංකේතිකව පවරන (symbolic mandate) ලද අධිකාරී බලයක් සහිත තත්වයකි. නමුත් යම්කිසි පුද්ගලයෙකුට රජු යයි සලකන ජනතාවක් නොමැති නම් රජු යැයි සැලකිය හැකි පුද්ගලයෙක් නොමැත. මෙම තත්වය ගැන අදහසක් නොමැතිව තමා සැබෑවටම රජෙක් යැයි සිතීම මෝහය නිසා සිදුවන්නකි.

නමුත්, ඉහත විග්‍රහයට අනුව රජෙක් තමාගේ රජකම පිළිබද තත්වය, සමාජ සම්බන්ධතා විසින් තමා වෙත ආරෝපණය කරන ලද දෙයක් මිස තමාගේ ස්භාවයෙන්ම ඇති රජමය තත්වයක් නිසා ඇතිවන දෙයක් නොවන බව තේරුම් ගත්ත ද ඔහුට මම, මාගේ කියා හැඟීමක් වෙයි. බුදු දහමට අනුව සලකා බැලුවහොත් එයද නිවැරදි අදහසක් නොවේ. එයට අනුව මම, මාගේ, මාගේ ආත්මය ලෙස ගැනීම ද මෝහය නිසා සිදුවන්නකි. ගණනය කල නොහැකි තරම් බාහිර අරමුණු ඉන්ද්‍රියන් හරහා ලබාගනිමින්, විඤ්ඤාණයේ හැසිරීම විසින් මම යන හැඟීම ලබාදෙයි. බාහිර අරමුණු ගෝචර වීම තුලින් පංචස්කන්ධ ධර්ම ස්භාවයෙන්ම ඇති නොවන්නේ නම් මම යන හැඟීමක් ඇති නොවේ. මම යන හැඟීම විඤ්ඤාණයේ මායාකාරී හැසිරීම නිසා ඇතිවන දෙයක් මිස සැබෑවටම සත්වයෙක් සිටින නිසා ඇතිවන දෙයක් නොවන බව අවබෝධ කරගැනීමට බුදු දහම මාර්ගය පෙන්වයි.
මෝඩයා සහ රජු සහ මම මෝඩයා සහ රජු සහ මම Reviewed by Fox Talks on 10:42 AM Rating: 5

No comments :

Powered by Blogger.