දැනුමේ ආධිපත්‍යය සහ ශරීරය පිළිබද චිත්ත රූප මැවීම


මා ආහාර ගන්නා විට, විශේෂයෙන්ම ගුණදායක යැයි වර්ග කර ඇති ආහාර වර්ග ගන්නා විට, ඒ ගුණදායක ආහාරවල ඇති පෝෂණ කොටස් මාගේ ශරිර සෞඛ්‍යයේ වර්ධනයට බලපාන ආකාරය ගැන ස්භාවයෙන්ම මා හට කිසිදු දැනීමක් නැත. නමුත් ඒ් ගැන යම් පරිකල්පනීය හැඟීමක් ඇති කරගැනීමට හැකියාවක් තිබේ. එම හැඟීම ඇතිකර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ මාහට ලැබෙන දැනුම් පද්ධතිය මඟින් යැයි කිව හැක. විශේෂයෙන්ම එම දැනුම් පද්ධතියේ ඇති වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ ඉගැන්වීම් හරහා එම පරිකල්පනය සිදුකල හැක.

අප රටේ අධිපතිවාදී අධ්‍යාපන ක්‍රමය බටහිර මොඩලයට අනුව සැකසූවකි. එනම් විකල්ප අධ්‍යාපන ක්‍රම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් නොමැති නම් පාසල් අධ්‍යාපනය අවසන් වනවිට ශරීරයේ ක්‍රියාකාරිත්වය ගැන මා මවන චිත්ත රූප සම්පුර්ණයෙන්ම බටහිර දැනුම් පද්ධතියට / වෛද්‍ය විද්‍යාවට අනුකූල දෙයකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබු අයට තවදුරටත් සවිස්තරාත්මකව මේ චිත්ත රූප මැවීමේ හැකියාවක් ඇත. කෙටි උදාහරණයක් ගනිමු, බඩේ අමාරුවකට ගන්නා බෙහෙත් පෙත්තක් නිසා එම පීඩාකාරි තත්වය පහවන ආකාරය ගැන අපට මැවිය හැකි චිත්ත රූප කවරේද? බොහෝවිට එය ඖෂධ සමාගමක් විසින් නිර්මාණය කර ඇති වෙළද දැන්වීමක දුටු ආකාරයට සමාන ලෙස ඇති කරගන්නා චිත්ත රූප පෙලක් වියහැක.

මා ඇතුළු බොහෝදෙනෙකු⁣ට ලැබී ඇත්තේ බටහිර අධ්‍යාපනය හරහා ලැබුණ දැනුම් පද්ධතියක්, වෙනත් දැනුම් පද්ධතියක් ගැන විධිමත් අධ්‍යාපනයක් ලබා නොමැතිනම් බටහිර අධ්‍යාපනය තුලින් ලැබුන දැනුමෙන් ශරීරයේ සැබෑ ක්‍රියාකාරිත්වය විස්තර වනවා කියා විශ්වාස කිරීමට අප පෙලඹෙනවා. ඒ දැනුම් පද්ධතියෙන් ශරීර ක්‍රියාකාරිත්වයේ සැබෑම තත්වය විග්‍රහ කරනවා ද විය හැකිය. නමුත් ඒ විග්‍රහය තුල තිබෙන්නේ ශරීර ක්‍රියාකාරිත්වයේ සැබෑම තත්වය වුවත්, නොවුවත් එය අවසාන වශයෙන් බටහිර මොඩලයට අනුව සැකසුන දෙයකි. රුධිර සංසරණය, ආහාර ජීරණය, පරිවෘත්තිය ක්‍රියා, මොළයේ ක්‍රියාකාරිත්වය ආදී වශයෙන් ශරිරයේ යම් යම් කොටස්වල ක්‍රියාකාරිත්වයන් ගැන බටහිර වෛද්‍ය  අධ්‍යාපනයක් ලැබු අයෙකුට මැවෙන චිත්ත රූප, සිංහල හෝ ආයුර්වේද හෝ වෙනත් වෛද්‍ය ක්‍රමයක් විධිමත් ආකාරයෙන් හදාරා ඇති අයෙකුට ඒ ආකාරයෙන් ඇති නොවෙනවා විය හැකිය.

සිංහල වෙදකම ගැන දැනීමක් මා හට නොමැති බැවින් උදාහරණයක් ලෙස බුදු දහමේ දැක්වෙන කරුණක් ගනිමු, ශරිරයේ චලනයන් ඇතිවන ආකාරය විස්තර වන කාය විඤ්ඤත්තිය සම්බන්ධ දැනුමක් ඇති අයෙකුට ශරීරය චලනය වන්නේ කෙසේද යන ප්‍රශ්නයට, මුලින්ම ශරීරය සෙලවීම පිළිබද සිතක් පහළවීම, ඉන්පසුව එම සිතේ ස්භාවය අනුව චිත්ත කිරිය වායෝ ධාතුව ඇතිවීම ආදි වශයෙන් විස්තර කිරීමට හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අයෙකුට මොළෙයේ ඇති මෝටර් කොටෙක්ස් නම් කොටසේ සිට යවන සංඥාවක් කොඳුඇට පෙළේ ඇති නියුරෝන වෙත යැවීම ආදී වශයෙන් විස්තර කිරීමට හැකිය. ඒ අනුව කිව හැක්කේ, බුදු දහමේ ඉගැන්වීම් ගැන දැනුමක් ඇති අයෙකුට ශරීර අවයවයන්හි චලනයන් සිදුවන ආකාරය සම්බන්ධව ඇතිවන චිත්ත රූප, බටහිර වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අයෙකුගේ චිත්ත රූප පෙලට වඩා වෙනස් ආකාරයක් ගතහැකි බවය.

දැනුමේ ආධිපත්‍යය සමඟ සම්බන්ධ කලහොත්, බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය හරහා පැමිණි බටහිර දැනුම් පද්ධතිය විසින් දිර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රටේ වර්ධනය වී තිබු දේශිය දැනුම් පද්ධතිය යටපත් කිරීමෙන් පසුව, අපගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව අප මවන චිත්ත රූපත් බටහිර දැනුම් පද්ධතියට අනුකූල ලෙස සකස් කිරීමට හැකිවී ඇත.

දැනුමේ ආධිපත්‍යය සහ ශරීරය පිළිබද චිත්ත රූප මැවීම දැනුමේ ආධිපත්‍යය සහ ශරීරය පිළිබද චිත්ත රූප මැවීම Reviewed by Fox Talks on 8:20 AM Rating: 5

No comments :

Powered by Blogger.