ෆේස්බුක් ඇබ්බැහිය ග්‍රස්ථීක නියුරෝසියාවේ රෝග ලක්ෂණයක් ලෙස


ෆේස්බුක් ආරම්භයේදී ලබාදුන්නේ විනෝදය හා ආශ්වාදයය. මේ වනවිට ෆේස්බුක් හරහා වැඩිපුර ඇති කරන්නේ කාංසාව(anxiety) සහ බියය. මෙම කාංසාව හා බිය එක්වී ෆේස්බුක් භාවිතය පිළිබඳව ග්‍රස්ථියක්(obsession) ද නිර්මාණය කරයි.

ෆේස්බුක් හෝම් පේජයේ පහළට යාමේදී එකවර ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාදෙයි. මෙය තනි පුද්ගලයකුගේ දායකත්වයක් නිසා පමණක් සිදුනොවන අතර විවිධ විෂය පථයන්ගේ ප්‍රමාණික දැනුමක් ඇති පුද්ගලයන් සමූහයක් මගින් ඉදිරිපත්වන දෙයකි. තම හෝම් පේජයට ඇතුළු වන අයෙකු විශාල පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වූ එම දැනුම් සම්භාරයකට එකවර නිරාවරණය වෙයි. ඒවා දේශපාලන, වෛද්‍ය, දාර්ශනික, විද්‍යාත්මක, ආගමික අදහස් සමූහයක අඩංගුවකි. මේ සියලු දැනුම එක්වරම දරාගැනීමේ අපහසුව, ඇතැමුන්ට කාංසාමය තත්වයක් ඇති කිරීමට හේතුවේ.

ෆේස්බුක් තුලින් අනන්‍යතාවක් ගොඩනඟා ගන්නේ තමන් ඉදිරිපත් කරන තොරතුරු, මතවාද, විශ්ලේෂණ ආදිය හරහාය. එම අදහස් හරහා යම් ප්‍රතිරූපයක් පවත්වා ගෙනයාමේ අවශ්‍යතාවක් ද ඇතැමුන්ට වෙයි. ඒමනිසා ඒවාට අනෙකුන් දක්වන ප්‍රතිචාරන් ගැනද අවධානයක් යොමුකිරීම අත්‍යාවශ්‍යයෙන් කලයුක්තකි. මෙම ප්‍රතිරූපය පිළිබද හැඟීම නිසා අනෙකා ෆේස්බුක් තුල තමා ගැන හෝ තමාගේ මතවාදය ගැන කුමන ප්‍රතිචාරයක් දක්වන්නේද යන බියක් ඇතිවීමට හැක. මෙම බිය පහකර ගැනීමට ලැබෙන ප්‍රතිචාර සෑම විටකම පරික්ෂා කලයුතුය.

මෙම කාංසාමය හා බියජනක හැඟීම් අවසානයේ ⁣ෆේස්බුක් භාවිතය සම්බන්ධයෙන් ග්‍රස්ථියක් නිර්මාණය කරයි. එම හැඟීම් මඟ හරවා ගැනීමේ අද්භූත බලයක් එම ග්‍රස්ථික හැසිරීමේ තිබෙන බවට විශ්වාසයක් අැතුළු වේ. එය උදෑසන අවදි වූ පසු කරන පළමු හා රාත්‍රී නින්දට යාමට පෙර කරන අවසාන ක්‍රියාකාරකම බවට පත්වී ⁣ අවසානයේ දෛනික ව්‍රතයක් (ritual) බවට හැරවේ. මා විසින් ෆේස්බුක් ප්‍රෝෆයිලයට එක්කරන අදහස් ගොන්න අතථ්‍ය (virtual) අවකාශයේ මට අයත් වස්තුවක්, දේපොළක් බවට පත්වේ. මා මාගේ දේපොළ ගැන නිතර සොයාබැලිය යුතුය. එම සොයාබැලීම නැවතත් දෛනික ව්‍රතයක් බවට පත්වේ. ප්‍රතිචාර හරහා ලැබෙන ඇඟවුම් වලට අමතරව යම්කිසි කාල පරතරයන් තුලදී නැවත නැවත පරික්ෂා කිරීමට ද සිදුවේ.

මෙම හැසිරීම ඇතැම්විට තමාගේ පාලනයෙන් ඉවත්වී විශාල කාලයක් නාස්ති කොට දමයි. මේ ව්‍රතය, සංකීර්ණ තත්වයට පත්වීම නියුරෝසියාවේ උපකුලකයක් වන ග්‍රස්ථික නියුරෝසියාවේ (obsessional neurosis) රෝග ලක්ෂණයක් ලෙසටද සැලකිය හැකිය. හිස්ටීරියාවේදී මතුවන කායික තත්වයන්ට ප්‍රතිවිරුද්ධ ලෙස ග්‍රස්ථික නියුරෝසියාව සිතුවිලි හරහා පීඩාවක් ඇති කරයි.

ෆේස්බුක් ඇබ්බැහිය ග්‍රස්ථීක නියුරෝසියාවේ රෝග ලක්ෂණයක් ලෙස ෆේස්බුක් ඇබ්බැහිය ග්‍රස්ථීක නියුරෝසියාවේ රෝග ලක්ෂණයක් ලෙස  Reviewed by Fox Talks on 10:23 AM Rating: 5

No comments :

Powered by Blogger.