ප්‍රංශයේ උමං දුම්රියක ගී ගැයූ සිරිමා


Jean-Jacques Goldman නම් ප්‍රංශ ජාතික ගායකයා1987 දී ගීතයක් නිර්මාණය කර, එම ගීතයට ගැලපෙන කටහඬක් ඇති ගායිකාවක් සොයමින් පසුවිය. ඔහුගේ සැක්සෆෝන් වාදක ශිල්පියාට වරක් පැරීසියේ මෙ⁣ට්‍රෝ දුම්රියක ගීත ගායනා කරමින් සිටි සිරිමා නම් තරුණියක් දැක, ඇයගේ ගීත ගැයිමේ හැකියාවට පැහැදී ඇයව ගෝල්ඩ්මන්ට හඳුන්වා දී තිබේ. පටිගත කිරීම් කිහිපයකින් පසු ඔහු සිරිමා සමඟ La-bas නමින් ප්‍රංශ බසින් හැඳින්වෙන එම යුග ගීතය ගැයීමට තීරණය කරනවා.

සිරිමා වීරතුංග නම් මේ තරුණියගේ මව ප්‍රංශ ජාතික කාන්තාවක් වන අතර පියා ශ්‍රී ලාංකිකයෙකි. එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ උපත ලබා ඇති ඇයගේ ළමා කාලයෙන් මුල් කොටස ලංකාවේද ඉතිරි කොටස එංගලන්තයේ ද ගෙවී ගොස් ඇත. එංගලන්තයේ දී සංගීතය ගැන උනන්දුවක් දැක්වු ඇය වයස අවුරුදු 18 වනවිට ප්‍රංශය බලා යනවා. ගෝල්ඩ්මන්ට ඇයට හමුවන්නේ ⁣ප්‍රංශයට පැමිණ උමං දුම්රියවල ගීත ගයමින් සිටින අතරතුරය. ගෝල්ඩ්මන් සමඟ ගායනා කල La-bas නම් එම ගීතය එකල ප්‍රංශයේ ගීත දර්ශක වල දෙවැනියට වැඩිම ජනප්‍රියතාවයක් හිමි කරගත් ගීතය බවට පත්වී ඇති අතර පිටපත් 593,000 පමණ අලෙවි වී ඇත.

La-bas ගීතයෙන් ලැබු ජනප්‍රියත්වයෙන් පසුව ඇය A Part of Me නමින් ඇයගේම ගීත අඩංගු ඇල්බමයක් නිකුත් කර ඇත. එහි ඇති එක් ගීතයක් වන His way of loving me ගීතය ඇය නිර්මාණය කොට ඇත්තේ ඇයගේ සහකරුවා වෙනුවෙන් බව සඳහන්ය. එම ඇල්බමය නිකුත් කර සති තුනකට පසුව ඒ පිළිබඳව අධික ලෙස ඊර්ෂ්‍යාවෙන් පෙලුන ඇයගේ සහකරුවා අතින් පිහි ඇනුම් කා 1989 දෙසැම්බර් 7 වන දින සිරිමා අවාසනාවන්ත ලෙස මෙලොව හැර යනවා.





ප්‍රංශයේ උමං දුම්රියක ගී ගැයූ සිරිමා ප්‍රංශයේ උමං දුම්රියක ගී ගැයූ සිරිමා Reviewed by Fox Talks on 8:40 AM Rating: 5

No comments :

Powered by Blogger.