අශෝක හඳගම සහ ෆැලික සංකේතය



අශෝක හඳගම භූතානයේ සංචාරයකට ගොස් පදික වෙළෙන්දියක්ගෙන් මිලදී ගත් ෆැලික සංකේතයක් ලංකාවට ගෙනවිත් ඇත. ඔහු එහි ඡායාරූපයක්, තම මතය අඩංගු කෙටි සටහනක් ද සමඟින් ෆේස්බුකියට ද එක්කොට තිබුණි. මේ පිළිබද Nalin Subasinghe පලකොට තිබු අදහසක් දැකීමෙන් පසුව හඳගමගේ හැසිරීම ගැන යමක් කීමට සිත්විය. නලින්ගේ සටහනේ ඇති ආකාරයට හඳගමගේ කලා නිර්මාණ වලට ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණ න්‍යායන්ගේ බලපෑමක් ලැබී ඇත. ඔහුගේ සිනමා භාවිතය ගැන ප්‍රමාණවත් දැනුමක් නොමැති නිසා ෆැලික සංකේත පෙන්වීමට හඳගමගේ ඇති විශේෂ නැඹුරුතාවය ගැන පමණක් අවධානය යොමු කරමු.

ඇතැම් පිරිමින්ට පුරුෂ ලිංගයේ හැඩය තැන් තැන්වල සටහන් කිරීමේ පුරුද්දක් ඇත. බිත්ති, දුවිලි සහිත පෘෂ්ඨ, සටහන් පොත් වැනි තැන්වල ඔවුන් මෙම සංකේතය තබයි. පිරිමින් මේ ආකාරයට ෆැලික සංකේත සටහන් කිරීම පිළිබද කර තිබු විශ්ලේෂණයක් ආශ්‍රයෙන් ෆ්‍රොයිඩියානු සංකල්ප සිනමාව සදහා යොදාගන්නා හඳගමගේ හැසිරීමත් ෆ්‍රෝයිඩියානු සන්දර්භයක් තුලින්ම තේරුම් ගැනීමට උත්සහයක් ගනිමු. හඳගම ෆැලික සංකේතයක් ෆේස්බුකියට එකතු කිරීමට අමතරව ඔහුගේ අවසාන සිනමා නිර්මාණ කිහිපයකද පුරුෂ ලිංගය ප්‍රදර්ශනය කරන අවස්ථා තිබී ඇත. එමෙන්ම කොළඹ ඉදි කරමින් පවතින නෙළුම් කුළුණ විශාල පුරුෂ ලිංගයකට සමාන කර කවියක් ද ලියා තිබේ. හඳගම තැන් තැන් වල ෆැලික සංකේත අදිනවා ද කියා අප දන්නේ නැත. ඇතැම්විට අනෝමා ජනාදරී දන්නවා වියහැක. කෙසේ නමුත් මෙවැනි ඉදිරිපත් කිරීම් වලට දක්වන ⁣ප්‍රකට හේතූන්ට අමතරව යටින් දිවෙන අවිඥානික හේතූන් ද වෙයි.

ෆැලික සංකේත තැන් තැන්වල සටහන් කරන පිරිමින්ගේ ඒ හැසිරීමට මූල හේතු ෆ්‍රෝයිඩියානු මනෝලිංගික වර්ධක අවධියක් වන ෆැලික අවධිය (වයස අවුරුදු 3 - 5 අතර කාලය) දක්වා යයි. එම අවධියෙදී ඇතිවන තත්වයක් වන ඊඩිපස් සංකීර්ණය සාර්ථකව අවරෝධනය කිරීමට නොහැකිවීම නිසා පසු කාලයේදී මෙවැනි චර්යාවන් ඇති වන බව සඳහන්ය. මේ අවධියේදී පිරිමි දරුවාට තම මව කෙරෙහි ලුබ්ධිමය (libido) හැඟීම් සහ ඊට සමගාමීව පියා කෙරෙහි සතුරු ආකල්පද වර්ධනය වෙයි. මව කෙරෙහි ඇති ලිංගික ආකර්ෂණයට පියා එරෙහිවී, එයට දඩුවමක් වශයෙන් තම ලිංගේන්ද්‍රියට හානි පමුණුවයි යන අවිඥානික බියකින් දරුවා පෙළෙයි. මෙය කප්පාදු කාංසාව (castration anxiety) ලෙස හඳුන්වයි. පසුව දරුවා පියා සමඟ අනන්‍යවීම තුලින් ඊඩිපස් සංකීර්ණය සාර්ථකව අවරෝධනය කරයි. මෙම සාර්ථකවය මත පසු කාලයකදී ඔහුගේ ලුබ්ධිමය හැඟීම් මව නොවන ස්ත්‍රීයකට යොමු කරයි.

අවරෝධනය සාර්ථකව සිදු නොවුනහොත් කප්පාදු කාංසාවේ බලපෑම ජීවිත කාලය පුරාම පවතියි. ලිංගේන්ද්‍රිය අහිමි වීම පිළිබද අවිඥානිකව බිය මෙන්ම එය අහිමිවීම අනෙකුන් දැනගැනීමට ඉඩ ඇතැයි සිතන නිසාද තමාට අවදානමක් ඇතැයි යන හැඟීමක් ඇති කරගනියි. මෙම බියජනක හැඟීම මඟ හරවා ගැනීමේ උපක්‍රමයක් (defense mechanism) වශයෙන්, ලිංගේන්ද්‍රියේ නිරුපද්‍රිත බව දැක්වීමේ සංකේතයක් ලෙස ෆැලික සංකේත විවිධ ස්වරූප වලින් එළිදක්වනවා යැයි කිවහැක.

පුරුෂරූපී ෆැලසය (masculine phallus) පිළිබද තවත් අර්ථ දැක්වීමකට අනුව එය බලය පිළිබද සංකේතයක් ද වෙයි. බලය පිළිබද හැඟීමකින් සිටින කෙනෙකුට තමා තුල සැබෑවටම බලයක් නොමැති වුවත් තමාට බලයක් ඇති බවට අනෙකුන් තුල හැඟීමක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් වෙයි. ඔහුගේ සැබෑ තත්වය අනෙකුන් නොදන්නා තාක්කල් මේ ප්‍රතිරූපය පවත්වා ගැනීමට හැකියාවක් ලැබේ. නමුත් මෙම තත්වය දිගින් දිගටම පවත්වා ගැනීම පිළිබද ගැටළු මතුවේ. ෆැලික සංකේත විවිධ ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නෙක් අවිඥානිකව තමාගේ බලය පිළිබද හැඟීම අනෙකුන්ට ප්‍රකාශ කිරීමට උත්සහ කරයි. තමාට බලය තිබෙන බවත් එමනිසා තමාට අවදානමක් නොමැති බවත් එත්තු ගන්වයි.


අශෝක හඳගම සහ ෆැලික සංකේතය අශෝක හඳගම සහ ෆැලික සංකේතය Reviewed by Fox Talks on 10:14 AM Rating: 5

No comments :

Powered by Blogger.