කර්ණපටහ පටලයේ ආශාව, පාක්ෂික විඥානය හා ඇම්බියුලන්ස්


"කර්ණපටහ පටලයේ ආශාව, පාක්ෂික විඥානය හා ඇම්බියුලන්ස්" - මේක ලියකියවිලි වලට මාතෘකා දාන එක්තරා ක්‍රමයකට අනුව දාපු මාතෘකාවක්. පෝස්ට් එක කියවීමට පොඩි පෙලඹවීමක් එකෙන් එන ගතියක් තියෙනවා, ලියලා තියෙන දේ මෙලෝ රහක් නැති වුනත්.
පාද යාත්‍රාව පටන්ගත්ත දවසේ වුන ඇම්බියුලන්ස් එකක් සම්බන්ධ සිදුවීම ගමු. ඒක ගැන එක එක කතා අහන්ඩ ලැබුණා. ඔය කතා අස්සෙන් මිනිස්සු අහන්ඩ කැමති කතාව වෙනස් වෙන්නේ මෙහෙම.
පාද යාත්‍රාවට සහයෝගය දක්වන අය අහන්ඩ කැමති එදා ගිය ඇම්බියුලන්ස් එක පාද යාත්‍රාව කඩාකප්පල් කරන්ඩ ආණ්ඩුවෙන් එවපු එකක්, ඇම්බියුලන්ස් එක හිස් එකක්, ඇතුලේ නර්ස් කෙනෙක්වත් හිටියේ නෑ. දෙතුන් පාරක් සෙනඟ මැදින් එහේ මෙහේ ගියා. ගෑණු කෙනා සල්වාර් එකක් ඇදන් හිටියේ. ඔය වගේ කතා.
පාද යාත්‍රාවට විරැද්ධ අය අහන්ඩ කැමති ඒ වෙලාවේ ඇම්බියුලන්ස් එක අස්සේ හදිසි ලෙඩෙක් හිටියා, සේලයින් දිදී නර්ස්ලා වටකරගෙන හිටියා, එහෙම නැත්තන් හදිසි ලෙඩෙක් ගෙන්ඩ යන ගමන්, ඩ්‍රයිවර්ට හොදටම ගහලා, වාහනේත් කුඩු කරලා ඔය වගේ කතා ටිකක්.
එතකොට එතන වෙච්ච ඇත්ත සිද්ධිය? ඒක අහන්ඩ කාටවත් ඕන නෑ. එතන මොනවද වුනේ කියන එක ඇත්තටම වැදගත් නෑ. තමන්ට කැමති එක ඇහුනනන් ඇති. අපි වෙන අයට කියන්නෙත්, ඔප්පු කරන්ඩ හදන්නෙත් අපි අහන්ඩ ආස කතාව. මම කියන්නේ දේශපාලනික වශයෙන් බෙදිලා ඉන්න අයට ඇත්ත එච්චර වැදගත් නෑ. ඒක මටත් අදාළයි. තමන් අහන්ඩ ආසා වර්ගයේ නිව්ස් එකක් දැක්ක ගමන් ඒක අහන්ඩ කැමති නැති අයට පෙන්නලා ඔවුන්ට රිද්දන්න අපි කැමතියි. ඔතන ඇත්ත සිද්ධිය දැන ගත්තත් ඒ සිද්ධිය අපිට ඕන විදිහට කරකවලා අනික් පැත්තේ අයට රිද්දන්න අපි උත්සහ කරනවා. මම මෙතන ටිකක් අවංක වෙලා වැඩියි වෙන්න පුළුවන්. ඒත් ඕක තමයි දේශපාලනයේ විදිහ. අපි යම්කිසි දේශපාලන මතවාදයකට උදව් කරනකම් අපි මේ සෙල්ලම කරනවා. ගොඩක් අය මෙතන පාරිශුද්ධ දේශපාලනයක් කරන්නේ නෑ. එහෙම කරන අය සමහරවිට අැති. ඒ අය අපි අගය කරන්ඩ ඕන.
සමහරවිට එහෙම සිද්ධියක් ගැන කියන කතා දෙකෙන් එකක් එතන වුන ඇත්ත සිද්ධියත් වෙන්ඩ පුළුවන්. ඒක අපි අහන්ඩ කැමති වර්ගයේ කතාව නම්, තවදුරටත් අපි අහන්නේ ඒක ඇත්ත නිසා නෙමෙයි අපි ආසා කතාව එතන කියවෙන නිසා. ඇත්ත කතාවයි අපි අහන්ඩ කැමති කතාවයි දෙකම එකක් වුනාම අපිට අස්වැසිල්ලක් තියෙනවා. එත් තවදුරටත් මම කියන්නේ ඇත්ත මෙතෙන්ට අදාළ නෑ. මේක දැකලා මිනිස්සු මෙහෙම නොකරයි කියලා බලාපොරොත්තුවක් නෑ. අඩුම තරමේ ප්‍රතිවිරුද්ධ අදහසක් දැක්කහම හිතට එන තරහවත් අඩු කරගන්ඩ පුළුවන් වෙයි.


කර්ණපටහ පටලයේ ආශාව, පාක්ෂික විඥානය හා ඇම්බියුලන්ස් කර්ණපටහ පටලයේ ආශාව, පාක්ෂික විඥානය හා ඇම්බියුලන්ස් Reviewed by Fox Talks on 12:11 AM Rating: 5

No comments :

Powered by Blogger.