In the Heart of the Sea (2015) Movie - කාර්මික විප්ලවයට ප්‍රොතෙස්තන්තවාදී ක්‍රිස්තියානි ආගම්වලින් වූ බලපෑම.



Thou didst, O Lord, create the mighty whale
That wondrous monster of a might length
Beyond conception his unmeasured strength
But, everlasting God, thou dost ordain
That we, poor feeble mortals should engage
Ourselves, our wives and children to maintain
This dreadful monster with a marital rage
O Father, grant that your glorious light shine on these men
Ensure them a prosperous voyage,
that they may return safely and with a full ship,
So that the while flames of Nantucket whale oil may continue to keep light in our homes,
city streets safe from sin in the night,
and to fuel the machines of industry that drive our great nation forward as our noble species evolves.
In your name, we pray.

මෙය In the Heart of the Sea නම් චිත්‍රපටයේ දැක්වෙන යාතිකාවක ස්වරෑපය ගත් වාක්‍ය ඛණ්ඩයකි. එම චිත්‍රපටය 1820දී Nantucket නම් ඇමරිකානු නගරයේ සිට තල්මසුන් දඩයම සඳහා පිටත්වු Essex නම් නෞකාව මුහුණ දුන් සිදුවීම් පෙළක් වටා ගොඩනැගී ඇත. නෞකාවේ ගිය පිරිසගේ අරමුණ වී ඇත්තේ ගැඹුරැ මුහුදේ සිටින විශාල තල්මසුන් අල්ලාගෙන උන්ගේ හිසේ තැන්පත්වී ඇති තෙල් වර්ගයක් ලබාගැනීමය. අවුරැද්දකට අධික කාලයක් තල්මසුන් දඩයම් කොට එම තෙල් බැරල් වලට පුරවාගෙන නැවත නිරැපද්‍රිතව පැමිණිම ඔවුන්ගේ අරමුණයි. එම තෙල් වලට ඉතා ඉහළ වෙළඳ වටිනාකමක් තිබී ඇති අතර ෆොසිල ඉන්ධන හඳුනාගෙන නොතිබු එකල මෙම තල්මස් තෙල් මිනිසුන් විවිධ අවශ්‍යතා සදහා යොදාගෙන ඇත. තල්මසුන් දඩයමේ යන නෞකා ඈත මුහුදට ගොස් කුඩා බෝට්ටු, හාපූන හා කඹ ආධාරයෙන් දඩයම සිදුකරයි. මෙම යාච්ඥාාව ඇසෙන්නේ එසේ තල්මසුන් දඩයමට Essex නෞකාව පිටත්වන මොහොතේදීය.

සැබෑවටම Essex නෞකාව තල්මසුන් දඩයමට පිටත්වන විට මෙවැනි යාතිකාවක් සිදුකරාද කියා හරියටම නොදන්නාමුත් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ සත්‍ය සිදුවීම් පාදක කරගෙන බැවින් එවැනි අදහස් ගෙන දෙන යාතිකාවක් කරන්න ඇති බවට සිතිය හැක. එමෙන්ම Nantucket නගරයේ සිටි Quaker නම් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි නිකායකට අයත් පුද්ගලයෙක් ලියු ලියවිල්ලක මෙයට සමාන යාතිකාවක් දක්නට ලැබේ. එය කෙසේ වෙතත් මෙම යාතිකාව දෙස බැලිමෙන් බටහිර නූතනත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවු කාර්මික විප්ලවයට ක්‍රිස්තියානියෙන් ලැබුන දායකත්වය ගැන අදහසක් මතුකරගත හැක. මෙහි ඇති ආගමික සන්දර්භය තුල තල්මසුන් දඩයමට යන පිරිසට දේව ආරක්ෂාව ලබාදෙන මෙන් ඉල්ලා සිටිය හැක්කේ තල්මසුන් මිනිසාගේ ප්‍රයෝජනයට දෙවියන් වහන්සේ විසින් මැවු දෙයක් කියා පිළිගන්නා හා එය පාපයක් නොවේයැයි සිතන පිරිසකට පමණක් යැයි කිව හැකිය. තෙල් ගෙන ඒම සාධාරණීකරණය කිරීමට මෙම යාතිකාවේ දක්වන අදහස සිත්ගන්නා සුළුය. තල්මස් තෙල් ලබාගැනීම නිසා නිවෙස් ආලෝකමත් කිරීමට මෙන්ම නගරයේ විදීවල අඳුරේ සිදුවන පාපකාරී ක්‍රියා නවත්වා ගැනීමටද උපකාර වනබව පැවසෙයි. එම ක්‍රියාවන් ක්‍රිස්තියානි සාදාචාරයට පටහැනි දේවල් විය හැකිය.

වර්තමානයේ බටහිරයන් බහුතරයක් දේව නිර්මාණවාදය ඇතුළු ක්‍රිස්තියානියේ ඉගැන්වීම් පිළිගන්නේ නොමැති වුවත් දෙවියන් වහන්සේ මිනිසාගේ ප්‍රයෝජනයට ගහ කොළ සහ සතුන් මවා ඇත යන අදහසට දෙවියන් වහන්සේගේ ඇති සම්බන්ධය ඉවත්කොට පිළිගනී. එනම් සීමාව ඉක්මවා ස්භාවික සම්පත් පරිභෝජනයෙන් සිදුවන පරිසර විනාශය මිනිසාට හානිදායක තත්වයක් දක්වා වර්ධනය වූ පසු පරිසර සංරක්ෂණය ආදී සංකල්ප පැන නැගුනත් තවමත් බටහිරයන් ක්‍රියා කරන්නේ සතුන් ඇතුළු ස්භාවික සම්පත් මිනිසාගේ පරිභෝජනය පිණිස නිර්මාණය වී ඇතැයි කියාය. මෙය බටහිර චින්තනයේ දක්නට ලැබෙන ලක්ෂණයකි. මෙවැනි අදහස්ද සහිත බටහිරයන්ගේ චින්තන ක්‍රමය ආචාර්ය නලින් ද සිල්වා හදුන්වන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියාය. සියල්ල මිනිසා වෙනුවෙන් නිර්මාණය වී ඇතැයි සිතන විට මිනිසා, ස්භාවික සම්පත් හා අනෙකුත් සතුන්ගේද ස්වාමියාය යන අදහස ගම්‍යවේ. ලෝක ස්වාමිත්වය පිළිබද මේ අදහස ක්‍රිස්තියානිය හරහා මුල් යුදෙව් චින්තනයේ යොහෝවා දෙවියන් වහන්සේ සම්බන්ධ උප්පත්ති කතාවේ සිට ගලා එන්නකි.

බටහිර කාර්මික විප්ලවය සිදුවූ අවධියේ සිදුවීමක් වන මෙහි ඇති තවත් ඉල්ලීමක දැක්වෙන්නේ, තම දියුණුවට උපකාරී වන කර්මාන්තවල ඇති යන්ත්‍ර සුත්‍ර ක්‍රියා කරවීමට අවශ්‍ය ඉන්ධනයක් ලෙස තල්මසුන්ගේ තෙල් යොදා ගන්නා නිසා එම තෙල් ආරක්ෂාකාරී ලෙස රැගෙන ඒමට ඉඩ සලසා දෙන ලෙසය. මෙමගින් කාර්මික විප්ලවයට ක්‍රිස්තියානියෙන් සිදුවු බලපෑම ගැන අදහසක් ලබාගත හැක. මුල් කතෝලික චින්තනයෙන් බලපෑමක් සිදු නොවුවත් පසුව යුරෝපයේ ඇතිවු ප්‍රොතෙස්තන්තවාදී ප්‍රතිසංස්කරණ කාර්මික විප්ලවය සිදුවීමට බලපෑමක් සිදුකර ඇතැයි පැවසේ. එමෙන්ම එය ධනවාදයේ වර්ධනයටද හේතුවී ඇත. ආචාර්ය නලින් ද සිල්වා පවසන්නේ කාර්මික විප්ලවය ඇතිවීමට හේතුවු බටහිර නූතනත්වයට පදනම් වු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ගොඩනැගීමට බලපෑ චින්තන ධාරා තුනෙන් එකක් වන්නේ කතෝලික චින්තනය කියාය. නමුත් මෙහිදී කතෝලික චින්තනය යන යෙදුම යොදා නොගෙන ක්‍රිස්තියානි චින්තනය යනුවෙන් යොදාගෙන ඇත්තේ මෙම නව චින්තනය ඇති වීමට වැඩිපුර බලපෑමක් සිදුකරේ ප්‍රතිසංස්කරණවාදී ක්‍රිස්තියානි ආගම් නිසා බවය. එමනිසා බටහිර ඇතිවු කාර්මික විප්ලවය මෙන්ම ඉන්පසු ඇතිවු ධනවාදී සමාජ ක්‍රමයේ ආරම්භයටද ක්‍රිස්තියානි ආගමෙන් බලපෑමක් සිදුවුවා යැයි කියන අදහසට මේ යාතිකාවේ දැක්වෙන කරැණු යම් සාක්ෂියක් සපයයි.
(ආචාර්ය නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද ලිපි එකතුවේ බටහිර නූතනත්වයට ක්‍රිස්තියානි ආගමෙන් සිදුවූ බලපෑම ගැන වැඩිදුර විස්තර ඇත. )

In the Heart of the Sea (2015) Movie - කාර්මික විප්ලවයට ප්‍රොතෙස්තන්තවාදී ක්‍රිස්තියානි ආගම්වලින් වූ බලපෑම. In the Heart of the Sea (2015) Movie - කාර්මික විප්ලවයට ප්‍රොතෙස්තන්තවාදී ක්‍රිස්තියානි ආගම්වලින් වූ බලපෑම. Reviewed by Fox Talks on 2:21 AM Rating: 5

No comments :

Powered by Blogger.