උතුරේ හා දකුණේ සීමා මායිම් මැකී යයිද?


මේ චිත්‍රයෙන් කියවෙන්නේ සිංහල වෙස් නැට්ටුවෙක් දෙමළ අරන්ගේත්‍රම් ශිල්පිනියක් සිප වැළද ගන්නවා කියන එකද? එහෙමත් නැත්නම් සිංහල තරැණයෙක් දෙමළ තරැණියක් හා ආලයෙන් වෙළි ඉන්නවා කියන රෝමැන්තික අදහසද? මේ මොහොත අමතක කර බැලුවහොත් එන්නේ එවැනි අදහසක් විය හැකිය. නමුත් චිත්‍රයට මේ මොහොතේ දෘෂ්ටිවාදය ඇතුළු වු පසු එයින් අදහස් වෙන්නේ මට තේරෙන ආකාරයට උතුරේ දෙමළ ජනයාව ආදරයෙන් සිප වැළද ගෙන සිටින දකුණේ සිංහල ජනයාය. ඇත්තටම අපි දෙගොල්ල මෙච්චරම කිට්ටුද? එහෙම නැත්නම් කවදාහරි දවසක අපි එකිනෙකා අත ඇරගන්න බැරි වෙන තරමට ලං වෙයිද? ජාති, ආගම්, සීමා මායිම් නැති විශ්වීය කලාකරුවන් ඇත්දළ කුළුණු උඩ ජිවත්වෙමින් කරන චමත්කාරජනක කලා නිර්මාණ වල ආකාරයට උතුරේ හා දකුණේ සීමා මායිම් මැකී යයිද?


මගේ අදහස එහෙම දේවල් කිසිදා සිදු නොවන බවයි. මේ කියන්නේ පොට්ටුවක් තියාගත්ත උතුරේ ගෑණු ළමයෙක් සහ ජාතික ඇඳුමක් ඇද ගත්ත දකුණේ පිරිමි ළමයෙක් අත් අල්ලාගෙන කැලැන්ඩර් වලට පෙනී සිටිම, යාපනේ දැරියකගේ අරන්ගේත්‍රම් ප්‍රසංගයක් වටවී බලාසිටීම, දකුණේ සිට උතුරට කෝච්චියේ විනෝද සවාරි ගොස් කොට්ට කිලංගු ගෙදර ගෙන ඒම, උතුරේ සරෝජලා හා දකුණේ නිශ්ශංකලා අතර විවාහ සිදුවීම ආදි දේවල් සිදු නොවෙනවා කියා නොවෙයි. උතුරේ මිනිසුන් හා දකුණේ මිනිසුන් එකිනෙකා අතර පවත්වා ගන්නා පරතරය නැති කර දැමීම පහසුවෙන් සිදුකල නොහැකි දෙයකි. බොහෝ ජන කොටස් අතර මෙවැනි ආරක්ෂාකාරී පරතරයක් අැත.


පරතරය යනුවෙන් මම අදහස් කරේ මෙහෙම දෙයක්. උතුරේ දෙමළා ගැන දකුණේ සාමාන්‍ය සිංහලයාගේ අදහස මොකක්ද? අපිට නිතරම අසන්න ලැබෙන මෙවැනි දෙබසක් ගමු.

"දෙමළ මිනිස්සු නම් හරි හොඳයි. හරිම උත්සහවන්තයි. දැන් බලන්න බිස්නස් කරන දෙමළ මිනිස්සු මුස්ලිම් අයට වැඩිය හරිම අවංකයි. අපි දන්න ටැමිල් ෆැමිලි එකක් ඉන්නවා අපිත් එක්ක පුදුම සුහදතාවයකින් හිටියේ, එයාලත් එක්ක අපි යාපනේත් ගියා, අපිට හොඳට සැලකුවා. ඒත් ඉතින් කවුද දන්නේ... සමහරවිට යටින් සපෝර්ට් ඇති... "

මෙතනින් ඉදිරියට ගොඩ නැගෙන්නේ අප තබා ගෙන සිටින පරතරයයි. තමත් උදාහරණයකින් කිවහොත් දකුණේ පිහිටි ඔබේ නිවසට අල්ලපු නිවසට අලුතෙන් පදිංචියට එන යාපනේ, වැල්වෙටිතුරේ දෙමළ පවුල ගැන ඔබට මුලින්ම දැනෙන අදහස මොකක්ද? පරතරය යනුවෙන් මා අදහස් කලදේ ඇත්තේ එම පිළිතුරෙයි. මෙම පරතරය සම්පුර්ණයෙන් නැතිවී උණුසුම් සිප වැලද ගැනීම් වලට යනවාට වඩා බොහෝවිට සිදුවන්නේ ප්‍රබල ජන කොටසේ සංස්කෘතියට දුබල ජන කොටස යම්කිසි කාලයක් තුලදී අවශෝෂණය වීම හෝ බලහත්කාරයෙන් ඇතුලත් කරගැනීම හෝ පමණි.


මෙය මාගේ අදහසක් වන අතර වෙන කෙනෙක් ලෝකයේ සැමටම එකම ආකාරයට හිරැ එළිය වැටෙන දිනයක් උදාවෙන තුරැ බලාසිටිනවාට මාගේ විරැද්ධත්වයක් නොමැත.


උතුරේ හා දකුණේ සීමා මායිම් මැකී යයිද? උතුරේ හා දකුණේ සීමා මායිම් මැකී යයිද? Reviewed by Fox Talks on 9:44 AM Rating: 5

No comments :

Powered by Blogger.