ජෝර්ජ් වොෂින්ටන්ගේ පොරව


[මුල් සටහන ]
මේ රෑපයේ දක්නට ලැබෙන්නේ ඇමරිකාවේ පළමුවන ජනාධිපතිවරයා වන ජෝර්ජ් වොෂින්ටන් විසින් වයස අවුරැදු හයේදී තම පියාට අයත් චෙරි ගසක් කපා දැමීමට භාවිතා කල පොරවයි. පොරවේ ඉතිහාසය පිරික්සීමෙදී දැනගන්නට හැකිවුයේ පොරවේ 'ලී මිට', දිරායාම නිසා හත්වතාවක් පමණද 'තලය', කඩතොළු වීම හා මලකෑම නිසා තුන්වතාවක් පමණද මාරැ කර ඇති බවයි. දැනට ඇමරිකාවේ කෞතුකාගාරයක මේ පැරණි පොරව ආරක්ෂිතව තැන්පත් කර ඇත.

ජෝර්ජ් වොෂින්ටන්ගේ පොරවේ මිට හත්පාරකුත් තලය තුන්පාරකුත් මාරැ කරාම තවමත් තියෙන්නේ ජෝර්ජ් වොෂින්ටන්ගේම පොරවද එහෙමත් නැත්තම් වෙන පොරවක්ද? බටහිර දර්ශනයෙදි මේවගේ අවස්ථාවකට කියන්නේ Theseus' Paradox කියලා. යම්කිසි වස්තුවක සියලුම සංරචක ඉවත්කර අලුතෙන් එකතුකල පසු තවමත් පවතින්නේ කලින් පැවති වස්තුවමද? ඇමරිකාවේදි මෙවැනි අවස්ථාවක් පැහැදිලි කිරීමට ජෝර්ජ් වොෂින්ටන්ගේ පොරව යොදාගන්නා විට ප්‍රංශයෙදී යොදාගන්නේ ජැනට්ගේ පිහියයි. බ්‍රිතාන්‍යයෙදි ඒක ට්‍රිගර්ගේ කොස්ස වෙනවා. ලංකාවේ මම හිතන්නේ රොබට් නොක්ස්ගේ උදැල්ල.

මෙහෙම අවස්ථාවකදී අපට පැහැදිලිවම අවබෝධ වෙනවා මේ මොහොතේ පරණ පොරවක් කියලා ගත්තට ඇත්තටම එතන තියෙන්නේ මුලින් තිබුණ පොරව නෙමෙයි කියන එක. ඔය සංසිද්ධිය පොරවට විතරක් නෙමෙයි අපේ ශරිරයටත් ආදේශ කරගන්න පුළුවන්. බුදු දහමට අනුව අපේ ශරිරයේ ස්භාවය තමයි පියවි ඇසට නොපෙනේන තරම් කුඩා රෑප කලාප ක්ෂණයක් පසා ඇතිවෙමින් නැතිවෙමින් යනවා කියන එක. ඒ ක්‍රියාවලිය ඉතාමත් වේගයෙන් සිදුවන දෙයක්. එ්ක නිසා ශරිරය වෙනස් වෙනවා කියලා අපිට තේරෙන්නේ නෑ. නැතිවෙමින් යන රෑප කොටස් ඇති වෙන්නේ අපි ගන්නා ආහාර නිසා. අපි ආහාර ගන්න එක නතර කරොත් රෑපය නැතිවෙලාම යනවා. තවත් දෙයක් තමයි අලුතෙන් ඇතිවෙන රෑප කොටස් කලින් ඒවට වඩා මෝරපු ස්භාවයෙන් තියෙන එක. මිනිස්සු වයසට යනවා කියන්නේ ඒකයි.
මේ ආකාරයට අපේ ශරිරය මොහොතක් පාසා අනිත්‍ය කියන ධර්මතාවයට ගොදුරැ වෙනවා. සාමාන්‍ය පෘතක්ජන අපට මේ ස්භාවය වටහා ගන්නට බෑ. නමුත් රහතන් වහන්සේ නමකට මේ පිළිබදව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා. අපි මේ ශරිරය දිහා බලන්නේ ඝණ සංඥාවෙන්. එ්ක නිසා පොඩි කාලේ ඉදන් මේ දක්වා මගේ ශරිරය කියලා නිත්‍ය යමක් තියෙනවා කියලා ගන්නවා. පොඩි කාලේ ඉදන් නොවුනත් මීට පැයකට කලින් තිබුන මගේ ශරිරය තමා තවම තියෙන්නේ කියලා අදහසක් තියෙනවා.

රහතන් වහන්සේ නමක් ශරිරය දිහා බලන්නේ රාශි සංඥාවෙන්. ඒ කියන්නේ ශරිරය කියන්නේ නිතරම ඇතිවෙමින් නැතිවෙමින් යන රෑප කොටස් රාශියක එකතුවක් විදිහට. අපේ අත ගත්තොත් අත හැදිලා තියෙන්නේ සම, මස්, නහර, ලේ, ඇට, ලේ කියන කොටස් වල එකතුවෙන්. රහතන් වහන්සේ එතනින් ඔබ්බට ගිහින් අත කියන්නේ නලියන රෑප කලාප රාශියක් විදිහට දකිනවා. පුජ්‍ය රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ පවසනවා රහතන් වහන්සේ නමකට පිදුරුතලාගල කන්ද දර්ශනය වෙන්නේ වේගයෙන් භ්‍රමණය වෙන සුළියක් හැටියට කියලා. ඒ ආකාරයට උන්වහන්සේලා සෑම රෑපයක්ම අනිත්‍ය සංඥාවෙන් දකිනවා. පොරව සම්බන්ධ සිද්ධිය ගත්තොත් අපිට දැන් තියෙන්නේ මුලින් තිබුන පොරව නෙමෙයි කියලා අවබෝධය තියෙනවා. ඒත් අපේ ශරිරය ගත්තොත් දැන් තියෙන්නේ මීට ටික වේලාවකට කලින් තිබුන ශරිරය නෙමෙයි කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය නෑ. මම කියන්නේ ඒ පිළිබද ඇති දැනුම ගැන නෙමෙයි. ඒක නිසා අපි ශරිරය නිත්‍ය දෙයක් විදිහට ගන්නවා.

ජෝර්ජ් වොෂින්ටන්ගේ පොරව ජෝර්ජ් වොෂින්ටන්ගේ පොරව Reviewed by Fox Talks on 9:13 PM Rating: 5

No comments :

Powered by Blogger.