නිර්මාංශ ආහාර

 



මෙම ඡායාරූපයේ අදහස එක්තරා ආකාරයක ඩෙඩ්ලොක් අවස්ථාවකට අපව යොමු කරවයි. මෙවැනි අදහස් අපට දක්නට ලැබෙන්නේ බටහිර වර්ධනය වන අවිහිංසාවාදී නැඹුරුවක් ඇති සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින PETA වැනි සංකල්පත්, නිර්මාංශ ආහාර රටාවන් ආදියත් නිසාය. මානව කේන්ද්‍රීය දෘෂ්ටි කෝණයකින් බැලුවහොත්, මෙවැනි ඩෙඩ්ලොක් මඟ හරවා ගැනීමට හැකියාවක් ලැබේ. පැරණි බටහිර ලෝකයේ මෙවැනි ඩෙඩ්ලොක් හමුනොවන්නේ සතුන් ඇතුළු ස්භාව ධර්මය මිනිසාගේ පරිභෝජනය සඳහා දෙවියන් වහන්සේ මවා ඇතිය යන ඒබ්‍රාහමික ආගම් වලට පොදුවූ පිළිගැනිම නිසාය. මානව කේන්ද්‍රීයව වර්ධනය වූ විද්‍යාවේ ආධිපත්‍යය තුලදීත් එම අදහසේ එතරම් වෙනසක් සිදු නොවන්නේ විද්‍යාත්මක නිගමන වලට අනුව මිනිසාගේ ⁣නීරෝගී පැවැත්ම සඳහා අවශ්‍ය පෝෂක කොටස් ලබා ගැනීමට සත්ව ආහාර අත්‍යාවශ්‍ය වැනි අදහස් පැවති නිසාය. 

පැරණි ග්‍රීසියේ පැවති ආගමික හා දාර්ශනික (පයිතගරස්) මතවාද වල බලපෑම නිසා නිර්මාංශ ආහාර රටාවන් යම්තාක් දුරකට ප්‍රචලිත වී තිබුණත්, රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමත් සමඟ පැවති නිර්මාංශ ආහාර රටාවන් යුරෝපයෙන් මුළුමනින්ම පාහේ නැති වී ගොස් ඇතැයි සැලකේ. ඇතැම් ක්‍රිස්තියානි පූජක නිකායන් සම්ප්‍රදායක් ලෙස නිර්මාංශ වී ඇතත් ඒවා එම නිකායන්ගේ ආගමික වතාවත් වලට පමණක් සීමා වී ඇත.
 
බටහිර නැවතත් නිර්මාංශ ආහාර පිළිබඳ අදහස මතු වන්නේ පුනරුද සමයෙන් පසුවය. බොහෝවිට දේශ ගවේෂණය, වෙළදාම් හා පසුකාලීනව යටත්විජිත හරහා ගොඩනඟාගත් සම්බන්ධතා නිසා පෙරදිග ආගම් හා දර්ශන වල ඇති නිර්මාංශී ජීවන රටාවන්, අවිහිංසාවාදය වැනි සංකල්ප යුරෝපයට ලැබෙන්නට ඇතැයි සිතිය හැක. මෑත කාලයේ සත්ව අයිතිවාසිකම් හා නිර්මාංශී ජීවන රටාවන් ප්‍රචලිත වීම සඳහා විසිවන සියවසේ මුල් කාලයේ සිට බටහිර ප්‍රචලිත වූ මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී අදහස් මූලික වශයෙන් හේතුවී ඇත. එමෙන්ම හැටේ දශකයේ බටහිර ඇතිවූ සංස්කෘතික විප්ලවයන්ගේ බලපෑම නිසා පෙරදිග මතවාද ප්‍රචලිත වීමෙන් ද නිර්මාංශී අදහස්වල ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇත. 

බුදු දහම මෙවැනි ඩෙඩ්ලොක් විසඳීම සඳහා නිර්මාංශීවීම, අවිහිංසාවාදය වැනි විසඳුම් ද, සතුන් මිනිසාගේ පරිභෝජනය සඳහාය වැනි මානව කේන්ද්‍රීය අදහසුත් බැහැර කරයි. එක් එක් මතවාද ඔස්සේ යමින් මෙවැනි ඩෙඩ්ලොක් විසඳීම හෝ එවැනි හැකියාවක් ඇති බව හෝ සිතීම බුදු දහමට අනුව ප්‍රඥාගෝචර නොවේ. බුදු දහමෙන් මඟ පෙන්වන්නේ මෙවැනි ඩෙඩ්ලොක් වලට දිගින් දිගටම අභිමුඛ වන සංසාර චක්‍රය මුළුමනින්ම නවතා දැමීමටය.


නිර්මාංශ ආහාර නිර්මාංශ ආහාර Reviewed by Fox Talks on 7:13 AM Rating: 5

No comments :

Powered by Blogger.