සිංහල බෞද්ධ පීඩක ජාතිකවාදය හා දෙමළ පීඩිත ජාතිකවාදය


ලිංගිකත්වය හා මානව හිමිකම් ගැන කෙරුණු සාකච්ඡාවක දී Jean-Claude Milner නම් විද්වතා දැක්වූ අදහස් වලින් කොටසක් පහත දැක්වේ. 

" ශක්තිසම්පන්න බව හා දුර්වලතාවය අතර වෙනස වාස්තවික කරුණුමත අර්ථ දක්වන්නේ නැත. ඇත්ත වශයෙන්, එම වෙනස දැන් ව්‍යුහාත්මක ලෙස සැලකීමට පටන්ගෙන ඇත. ස්ත්‍රියක් වාස්තවිකව දුර්වල වුවත් නොවූවත් ව්‍යුහාත්මකව ඇයව සලකන්නේ පිරිමියාට වඩා දුර්වල යැයි කියාය. එය සමාන වන්නේ කම්කරුවා සම්බන්ධ මාක්ස්වාදී ප්‍රවේශයටය. කම්කරුවෙකු භෞතික තත්ව අනුව ශක්තිමත් අයෙකු වුවත් ව්‍යුහාත්මකව ඔහුව සලකන්නේ දුර්වලයෙකු ලෙසය. කම්කරුවෙකු තම ස්වාමියාට කොතරම් ඇලුම් කලත්, කොතරම් භක්තිමත් වුවත්, කම්කරුවා තම ස්වාමියා තමාට වඩා දුර්වලයෙකු කියා සිතුවත්, මෙම සමීපත්වය නිසා, කම්කරුවා යනු කම්කරු-ස්වාමි සම්බන්ධතාවයේ දුර්වලයා යන සමාජ පිලිගැනීමේ වෙනසක් සිදුනොවේ. මාක්ස්ට අනුව කම්කරුවා හා ස්වාමියා අතර ඇති සම්බන්ධතාවය කුමන ආකාරයෙන් බාහිරට පෙනුනත් නෛසර්ගිකව එම සම්බන්ධතාවය ප්‍රචණ්ඩකාරීය.

ස්ත්‍රියක් හා පුරුෂයෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවක දී ස්ත්‍රිය එයට සම්බන්ධ වන්නේ ඇයගේ කැමැත්තෙන් විය හැකිය. ඇතැම්විට එය අාරම්භ කරන්නේ ද ඇය විය හැකිය. එයින් ඇය තෘප්තියක් ලබනවා ද විය හැකිය. නමුත් එහිදී අැති වන්නේ ව්‍යුහාත්මකව ශක්තිමත් අයෙකු හා ව්‍යුහාත්මකව දුර්වල අයෙකු අතර සම්බන්ධයකි. එමනිසා කුමනාකාරයෙන් මෙම ලිංගික ක්‍රියාව පැවතුනත් ව්‍යුහාත්මකව එය ස්ත්‍රී දූෂණයකි. ඒ ආකාරයටම, බාලවයස්කාරයෙකු සමඟ වැඩිහිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු ලිංගික සම්බන්ධයක් පැවත්වුවහොත් භෞතිකව බාලවයස්කරුවා, වැඩිහිටි පුරුෂයාට හෝ ස්ත්‍රියට වඩා ශක්තිමත් වුවත් නීතියට අනුව වුවද බාලවයස්කරුවා සැලකෙන්නේ ව්‍යුහාත්මකව දුර්වලයෙකු ලෙසය. "

මේ අදහස් වලට සවන්දීමේ දී ලංකාවේ වාමාංශිකයන් දෙමළ බෙදුම්වාදය කෙරෙහි දක්වන ආකල්ප වලට ද මේ ආකාරයේ මාක්ස්වාදී අදහස් වල අාභාෂය ඇතිබවක් පෙනෙයි. දෙමළ බෙදුම්වාදය - දෙමළාට වෙනම රටක්/පාලනයක් ලබාදීම - වෙනුවෙන් සිංහල සමාජයෙන් ඉදිරිපත් වී සිටින බොහෝදෙනෙක් වාමාංශික අදහස් දරන්නන් ය. ඔවුන් උතුරේ ප්‍රශ්නය පදනම් ව දකුණේ හා උතුරේ සමාජ ක්‍රියාකාරිත්වය බෙදා ඇත්තේ සිංහල බෞද්ධ පීඩක ජාතිකවාදය හා දෙමළ පීඩිත ජාතිකවාදය ලෙසය. මෙය මාක්ස්වාදයේ එන ස්වාමියා හා කම්කරුවා අතර සම්බන්ධයේ ආභාෂයෙන් ඇතිවූවක් ලෙස සැලකිය හැක. එම බෙදීම තුලදී දෙමළා සෑමවිටම ව්‍යුහාත්මකව පීඩිතයෙක්/දුර්වලයෙක් බවට පත්වේ. එමනිසා සිංහලයන් හා දෙමළුන් අතර ඇතිවන යම් සිදුවීමක දී මෙම වාමාංශිකයන්ගේ අනුකම්පාව ලැබෙන්නේ පීඩිතයන් වශයෙන් හඳුනාගෙන සිටින දෙමළ ප්‍රජාව⁣ට පමණ ය. ඔවුන් මෙය සනාථ කිරීම ද නිරන්තරයෙන් සිදුකරයි.
සිංහල බෞද්ධ පීඩක ජාතිකවාදය හා දෙමළ පීඩිත ජාතිකවාදය සිංහල බෞද්ධ පීඩක ජාතිකවාදය හා දෙමළ පීඩිත ජාතිකවාදය Reviewed by Fox Talks on 12:45 AM Rating: 5

No comments :

Powered by Blogger.