වැනිලා ද? චොකලට් ද?


වැනිලා ද? චොකලට් ද? නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන තෝරාගැනීමක්. ලංකාවේ වැනිලා හා චොකලට් අරගලයේ ජයග්‍රහකයා කව්රුන් ද කියා දැන ගැනීමට කූල්ස්පොට් එකක ෆ්‍රීජ් එකකට එබී බැලිම ප්‍රමාණවත් ය. චොකලට් කිරි පැකට්ටුවක් සොයා ගැනීමට වැනිලා කිරි පැකට්ටු කිහිපයක් එහා මෙහා කලයුතුය. අයිස්ක්‍රීම් වල තත්වයත් එයට සමාන විය හැකිය. එය නිවැරදිව තහවුරු කරගැනීමට නම් එලිෆන්ට් හවුස් සමාගමේ අයිස්ක්‍රීම් අලෙවිය සම්බන්ධ සෙල්ස් රිපෝර්ට් පරික්ෂා කල බැලිය යුතුය.

ඉන්ස්ටාග්‍රැම් අවකාශයේ සිටින නාසිසිස්ටික් ගෑණු ළමයින් නම් පවසන්නේ "අයි ලයික් එනිතින්ග් විත් චොකලට්" කියාය.

පල්ප් ෆික්ෂන් යනු ඇමරිකානු නාස්ථිකවාදය තේමා කරගත් හොලිවුඩ් චිත්‍රපටයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් වන වින්සන්ට් වේගා සහ මියා වොලස් දිනක් රාත්‍රියක "ජැක් රැබිට් ස්ලිම්ස්" නම් අවන්හලට යයි. එහිදී මියා ඩොලර් පහේ මිල්ක්ෂේක් ⁣එකක් ඇනවුම් කරයි. වේටර්වරයා ඇයගෙන් මෙසේ විමසයි,

" ඔබට අවශ්‍ය මාටින් සහ ලුවිස් ද? නැතිනම් ඇමෝස් සහ ඇන්ඩි ද? "

එහිදී වේටර්වරයා සඳහන් කරන්නේ මිල්ක්ෂේක් වර්ග දෙකක නම් කියා අදහසක් ඇතිවිය හැකිය. නමුත් එය වැරදිය, ඔහු එහිදී පවසන්නේ ඇමරිකානු විකට නළුවන් කිහිප දෙනෙකුගේ නම් ය. ඩීන් මාටින් සහ ජෙරී ලුවිස් යනු සුදු ජාතික නළුවන් දෙදෙනෙකි. ඇමෝස් සහ ඇන්ඩි කළු ජාතික විකට නළුවන් දෙදෙනෙකි.

බටහිර සමාජයේ අප්‍රකටව කළු ජාතිකයන්ට ව්‍යංගයෙන් චොකලට් යනුවෙන් ද සුදු ජාතිකයන්ට වැනිලා යනුවෙන් ද යොදයි. දැන් වේටර්වරයා අදහස් කලේ කුමක්ද කියා පැහැදිලිය.

" මාටින් සහ ලුවිස් "

ඒ මියාගේ තෝරාගැනීමයි.

සමීක්ෂණ වාර්තා වලට අනුව ඇමරිකානුවන් වඩාත් ප්‍රිය කරන්නේ චොකලට් රසයෙන් යුතු අයිස්ක්‍රීම් වලට වඩා වැනිලා රසැති අයිස්ක්‍රීම් වලටය.
වැනිලා ද? චොකලට් ද? වැනිලා ද? චොකලට් ද? Reviewed by Fox Talks on 10:13 PM Rating: 5

No comments :

Powered by Blogger.