empty gesture සහ බෞද්ධ නත්තල් සුබපැතුම්


empty gesture ලෙස සැලකෙන්නේ සැබෑ හැඟීමකින් තොරව සිදුකරන ක්‍රියාවන් හෝ හැසිරීම්ය. එමෙන්ම අනෙක් පාර්ශවය එම හැසිරීම බැරැරුම්ව නොගනී යන විශ්වසය ද එහි ඇත. පාර්ශවයන් දෙකක් අතර ඇතිවන මෙම empty gesture අවසානයේදී සිදුවන්නේ එම හැසිරීමේ ආරම්භක අවස්ථාවේ ස්භාවයටම නැවත පැමිණිමයි. එනම් එහිදී එම හැසිරීම නිසා වෙනත් සුවි⁣ශේෂි තත්වයක් ඇතිවන්නේ නැත. නමුත් මෙම හැසිරීමක් හරහා සමාජ සබඳතා ගොඩනඟා ගැනීමක් කලහැකි අතර මෙය හරහා සංකේතික හුවමාරුව සිදුවීමේ ශුද්ධ වූ ආකාරයක් පිළිඹිබු වේ.

මෙය උදාහරණයක් මඟින් පැහැදිලි කරගැනීමට චූටි මල්ලී සහ පොඩි මල්ලී සම්බන්ධ සිදුවීමක් මුලින්ම ගනිමු. බත් කෑමට සුදානමින් සිටින චූටි මල්ලී සහ පොඩි මල්ලීට වේටර්වරයා මාළු දීසියක් ගෙනවිත් තබයි. වහාම ක්‍රියාත්මක වන පොඩි මල්ලී ලොකු මාළු කෑල්ල බෙදාගනී. මෙයින් නොසතුටට පත්වන චූටි මල්ලි පවසන්නේ තමා කවදාවත් එසේ ලොකු මාළු කෑල්ල බෙදානොගන්නා බවත්, අනෙකාට ලොකු කෑල්ල බෙදාගැනීමට ඉඩදෙන බවත්ය. පොඩි මල්ලී නැවත පවසන්නේ දැන් අවසානයේ සිදුවී තිබෙන්නේ චූටි මල්ලී අදහස් කරන දේම නිසා ප්‍රශ්නයක් නොමැති බවය.

මෙය empty gesture සිදුවීමක් ලෙස සිදුවුහොත් කතාව ගලායන්නේ මේ ආකාරයටය. මාළු දීසිය ගෙනවිත් තැබූ පසු පොඩි මල්ලී මුලින්ම ක්‍රියාත්මක වී ලොකු මාළු කෑල්ල ගැනීමට චූටි මල්ලීට ආරාධනා කරයි. නමුත් එම ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කරන චූටි මල්ලී කුඩා මාළු කෑල්ල බෙදාගෙන ලොකු මාළු කෑල්ල නැවත පොඩි මල්ලීටම ලබාදෙයි. අවසාන ප්‍රතිඵලයේ වෙනසක් (ලොකු මාළු කෑල්ල ලැබෙන්නේ පොඩි මල්ලීටමය) සිදු නොවූවත් මෙම හැසිරීම හරහා මිත්‍රත්වය තහවුරු වීමක් සිදුවන බව පෙනී යයි.

මේ empty gestures ගැන සඳහන් කලේ පසුගිය දිනවල නත්තල් සුබ පැතුම් ගැන යම් අදහස් දැක්වීම් කිහිපයක් දැකීම නිසාය. මෙයින් වඩාත් කතාබහට ලක්වී තිබුණේ බෞද්ධයන් - බෞද්ධයන් අතර නත්තල⁣ට සිදුකරගන්නා සුබ පතාගැනීම් සම්බන්ධයෙන්ය. බෞද්ධයන්හ⁣ට නත්තල් සුබ පැතුම් යනු කිසිදු අධ්‍යාත්මික හැඟීමක් ගෙන දෙන දෙයක් නොවේ. අනෙක් අතට සුබ පැතීම හරහා ඇඟවෙන අධ්‍යාත්මික පණිවිඩය ලබාගැනීමක් ද සිදුනොවී එය අප්‍රකාශිතව ප්‍රතික්ෂේප කිරීමක් ද සිදුවේ. අවසානයේදී සුබ පැතීම තුලින් කිසිදු සුවිශේෂී තත්වයක් නිර්මාණය නොවී (අධ්‍යාත්මිකව නත්තල් සැමරීමට යොමුවීම වැනි) නත්තලට බෞද්ධ⁣යන් - බෞද්ධයන් අතර සිදුවන සුබ පතාගැනීම නිරර්ථක හැසිරීමක්, empty gesture එකක් බවට පත්වේ.

නමුත් එහිදී සිදුවන සංකේතික හුවමාරුව හරහා සමාජ සබඳතා අාරක්ෂා කරගැනීමක් කරගත හැක. පෞද්ගලිකව මා නත්තලට සුබපැතීම තුලින් එවැනි යහපත් ප්‍රතිඵල ලබාගෙන ඇත. එනම් නත්තල් සුබපැතුමේ අන්තර්ගතයෙන් මාගේ ජීවිතයට බලපෑමක් සිදු නොවුනත් එම ක්‍රියාව නිසා පෙර සිට පැවති සමාජ සබඳතාවය තවදුරටත් ශක්තිමත් වීමක් සිදුවේ. නමුත් empty gesture බැරෑරුම්ව ගැනීම මඟින් සිදුවන්නේ ව්‍යසනයක්ය. ඒ හරහා යම් යම් කුළුණු මත ස්ථාපිත වී ඇති සමාජ සබඳතා බිඳ වැටීමකට ද ලක්විය හැක. එහෙත් ඒ සඳහා ඉදිරිපත් කරන ඇතැම් හේතූන්ගේ සත්‍යතාවයක් ද තිබේ. බෞද්ධයන් - බෞද්ධයන් අතර නත්තල් සුබපතා ගැනීම උත්කර්ෂයට නැගීම පිටුපස ඇත්තේ වෙළද මාෆියාවක් යන අදහසේ සත්‍යතාවයක් ඇතිබව පෙනේ. සරළ සුබ පැතීමකින් ආරම්භ වන එය පසුව නත්තල් ගස් සැකසීම, තෑගි හුවමාරුවක් දක්වා වර්ධනය වුවහොත් බෞද්ධයන් අතරින් නත්තල සඳහා නව වෙළද පොළක් නිර්මාණය වේ. එමෙන්ම තවත් අදහසක් නම් මෙය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය වෙනත් සංස්කෘතීන් මත පැටවීමේ වැඩපිළිවෙළක් බවය.

නත්තලට අධ්‍යාත්මිකව බැඳී සිටින කිතුණුවෙකුට නත්තලේ සාරය ඇත්තේ වෙළද පොළ විසින් මවාපාන චමත්කාරය තුල නොව අසල්වැසියාට ප්‍රේම කිරීම, දුප්පතුන්ට උදව් කිරීම, දේව මෙහෙයන්ට සහභාගිවීම, දෙවියන් වහන්සේගේ වචනය පිළිපැදීම ආදිය තුලය. වෙළද පොළ හරහා ඉදිරිපත් වෙන නත්තල තුල ඇත්තේ මෙම සාරය අහිමි කරවු හුදු පරිභෝජනවාදය, ඉන්ද්‍රිය පිනවීම උත්කර්ෂයට නඟන නත්තලකි. එම තත්වය තුලදී නත්තල් සැමරීමට නත්තලේ අධ්‍යාත්මික සාරය අවශ්‍ය වන්නේ නැත. සුබ පතාගැනීම, පාටි දැමීම, නත්තල් සීයාගෙන් තෑගි ලබාගැනීම, සාප්පු සවාරි යෑම ආදි අංග එයට ඇතුලත් වේ. නත්තලට කිසිම ආකාරයේ අධ්‍යාත්මික බැඳීමක් නොමැති බෞද්ධයන් ද නත්තලට බෞද්ධයන් - බෞද්ධයන් අතර සුබ පතාගැනීමට යොමුවීම මඟින් පෙනී යන්නේ නත්තලේ අධ්‍යාත්මික සාරය තවදුරටත් ඉවත් වෙමින් ක්‍රිස්තියානි සන්දර්භයෙන් පිටත එය පරිපූර්ණ empty gesture එකක් බවට පත්වෙමින් තිබෙන බවය.

empty gesture සහ බෞද්ධ නත්තල් සුබපැතුම් empty gesture සහ බෞද්ධ නත්තල් සුබපැතුම් Reviewed by Fox Talks on 9:03 PM Rating: 5

No comments :

Powered by Blogger.