ප්‍රී ෂූට් ෆැන්ටසිය


කලකට ඉහත මංගල ඡායාරූපකරණය යනු සරළ මෙන්ම ඒකාකාරී දෙයක් විය. ඇන්තූරියම් මල් ගැසු කවිච්චියේ වාඩි වී සිටින මංගල යුවල පළතුරැ බීම බොන අවස්ථාව, ගොක්කොළ වලින් සැකසු පෝරැව මත දෑස් බිමට යොමාගත් යුවල හැඟීම්බරව සිටින අවස්ථාව, පිටත්වීමට සුදානම් මෝටර් රථයේ සිරවී සිටින මනාලයා අත වනන අවස්ථාව, විශාල කෑම මේසයක් වටා රොක්වී සිටින නෑදැයන් සමූහය වැනි විශේෂ අවස්ථා කිහිපයකට එය සීමා විය. දෙදාහ දශකයේ මුල, අනූව දශකයේ හෝ ඊට පෙර සැකසු වෙඩින් ඇල්බම් නිරීක්ෂණය කරනවිට මේ ඒකාකාරීත්වය දැකගත හැක.

නව තාක්ෂණය සහිත කැමරා පැමිණිමෙන් පසුව මංගල ඡායාරූපකරණය අතිශය විචිත්‍රවත් වැඩපිළිවෙලක් බවට පත්විය. එයට සමගාමීව ඡායාරූප ශිල්පීන් ද විවිධ කෝණයන්ගෙන් වඩාත් නිර්මාණශීලි ඡායාරූප ගැනීමට දක්ෂ විය. ඡායාරූප ගැනීම සඳහා භාවිතා කරන පසුතලයන්, ඇඳුම් පැළදුම් මෙන්ම පෙනීසිටින ඉරියව් ද විවිධාකාර විය. පසුකාලීනව එයට ප්‍රී ෂූට් සහ වෙඩින් සෝන්ග්ස් යන අංග ද එකතු වී මංගල ඡායාරූපකරණය තවදුරටත් විවිධාංගීකරණය විය.

මේ වනවිට මංගල ඡායාරූපකරණයේ ඇති මේ විවිධත්වය එ්කාකාරී වීමට පටන්ගෙන ඇත. එනම් විවිධ පසුතල, ඉරියව් වලින් යුක්ත, උද්‍යාන, වනලැහැබ්, මුහුදු වෙරළ, අලංකාර ගොඩනැගිලි, දිය පහරවල් පසුබිම් වූ ෆේයාරි ටේල් මට්ටමේ ⁣ෆොටෝ ෂූට් ඒකාකාරී අත්දැකීමක් බවට පත්වී ඇත. එමනිසා පසුගිය කාලය තුල මංගල ජායාරූප කලාව තවදුරටත් වෙනත් දිශානතියකට ගමන් කරනබව දක්නට ලැබුණි.

පසුගිය දිනවල දක්නට ලැබුණ කුඹුරක් අසළ ගොක්කොළ පෝරුවක ගන්නා ලද මංගල උත්සවය අලුතින් වර්ධනය වූ ඒකාකාරීත්වයෙන් මිදීමටගත් උත්සහයක් විය හැක. එයට විශාල වශයෙන් ප්‍රතිචාර ද ලැබී තිබුණි. මෙම ජායාරූපය ඇතුලත් ප්‍රී ෂූට් ඡායාරූප එකතුව ද ඒ ආකාරයෙන් ඒකාකාරීත්වය බිඳීමට ගත් උත්සහයක් විය හැක.

ප.ලි -

ප්‍රී ෂූට් ඇල්බම් කිහිපයක් නිරීක්ෂණය කර බලන්න. චමත්කාරජනක පරිසරයක් පසුබිම් කරගත් ආකර්ෂණීය ඇඳුම් පැළදුම් වලින් සැරසුන අතිශය ප්‍රීතිමත් යුවලකගේ ෆේයාරි ටේල් ඡායාරූප පෙළක් ඔබට දැකගත හැකිවේ. දැන් ප්‍රී ෂූට් ගැන කිව හැක්කේ කුමක් ද?

ප්‍රී ෂූට් යනු විවාහ ජීවිතයට ඇතුළත් වූ පසුව අහිමිව යාමට නියමිත, තමා ආශා කරන යම් පරිකල්පනීය ජීවන රටාවක් පිළිබද ෆැන්ටසිය, එසේ අහිමිව යාමට පෙර ඡායාරූපයට නඟා ගැනීමකි.

ප්‍රී ෂූට් ෆැන්ටසිය ප්‍රී ෂූට් ෆැන්ටසිය Reviewed by Fox Talks on 8:50 AM Rating: 5

1 comment :

  1. ඇයි මෙච්චර කාලයනට මට මේ බ්ලොග් එක හමිබ නොවුන්
    What a grate contents

    ReplyDelete

Powered by Blogger.