නූතනත්ව සමාජයේ සුපිරි කාන්තා නිදහස හා අප්‍රකට නියෝගය


පසුගියදා අඩිඩාස් පාවහන් දැන්වීමකට පෙනී සිටි ස්වීඩන් ජාතික නිරූපිකාවකට තමා දුෂණය කර දමන බවට අන්තර්ජාලය හරහා තර්ජන ලැබී ඇතැයි කියවෙන පුවත්පත් වාර්තාවක් දක්නට ලැබුණි. එයට හේතුවී ඇත්තේ ඇය එම සපත්තු දැන්වීමට කකුලේ රෝම ඉවත් කිරීමකින් තොරව ස්භාවික ආකාරයෙන්ම පෙනී සිටීමය. එය යම් මට්ටමක අන්තර්ජාල සංවාදයකට ද හේතුවී තිබුණි. එම සිදුවීම හරහා නූතනත්ව සමාජයේ ඇති එක් අප්‍රකට ලක්ෂණයක් හඳුනාගැනීමට හැකියාවක් ලැබේ.

නූතනත්ව ප්‍රවාහයත් සමඟ පූර්ව නූතනත්ව සමාජයේ තිබු යම් යම් ලක්ෂණ, සම්ප්‍රදායන්, සදාචාරාත්මක මිනුම් දඬු විවේචනයට බඳුන් විය. මෙයින් ස්ත්‍රියගේ සමාජ භූමිකාව, ඇයගේ හැසිරීම, විලාසිතා ආදිය කෙරෙහි විවේචන ප්‍රධාන තැනක් ගනියි. නූතනත්වය වෙනුවෙන් පෙනී සිටින්නන් නූතනත්වය සමඟ බිහිවූ නවීන සමාජයේ තත්වය, ඊට පෙර තිබු සාම්ප්‍රදායික සමාජයේ ස්ත්‍රියට හිමිව තිබු ස්ථානය සමඟ සසඳා ඒ යුගය පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රියට සීමිත නිදහසක් තිබු යුගයක් ලෙස ඉදිරිපත් කරයි. ගෝත්‍රික සමාජයේදී එම ගෝත්‍රයේ නායකයාගේ කැමැත්තට අනුකූලව ද ඊට වඩා පුළුල් සමාජයක දී සංස්කෘතික බලපෑම නිසා ඇතිවූ සමාජ සම්මත (social norms) හෝ ආගමික ඉගැන්වීම් වලට ද ගැහැණියකට අනුගතවීමට සිදුවිය. ඒ තුලින් සමාජය ඇය තුල හැසිරිය යුතු ආකාරය නියාමනය වී අවසානයේ ඇයගේ නිදහස ද කප්පාදු වූ බව දැක්වෙයි.

ඇඳුම් ඇදීම සම්බන්ධව උදාහරණයක් ගතහොත්, ආගමට ප්‍රමුඛත්වයක් ලැබී තිබූ සමාජයන් වලදී ගැහැණිය ඇඳ පැළදිය යුතු ආකාරය යෝජනා කෙරුනේ අාගමික ඉගැන්වීම් වලට අනුකූලවය. එසේත් නැතිනම් කාලයක පටන් සම්මත වී ඇති යම් සම්ප්‍රදායකට අනුකූලවය. ඇතැම්විට ගැහැණියකට තමන් කැමති ආකාරයේ ඇඳුමක් ඇදීමේ නිදහස ඇතත් යම් ඇඳුමක් ඇදීමෙන් පසුව සෙසු සමාජය ඇය දෙස බලන ආකාරය නිසා ස්වයංවාරණයක් පනවා ගන්නා අවස්ථා ඇත. උදාහරණයකට ලාංකික සමාජයේදී ගැහැණියකට බිකිනියක් ඇඳ වැවක, ගඟක නෑමේ තහනමක් නොමැති වුවත් සාමාන්‍යයෙන් ගැහැණියක් එවැනි දෙයක් කිරීමට නොපෙළඹෙයි.

නූතනත්ව සමාජයේ සිටිමින් සම්ප්‍රදායික සමාජයන් විවේචනය කරන්නන් පවසන්නේ නූතනත්ව ප්‍රවාහයත් සමඟ සාම්ප්‍රදායික සමාජයේ ස්ත්‍රියට තිබූ සීමා මායිම් බිඳ වැටී, විශේෂයෙන්ම බටහිර ලිබරල් සමාජයේ දී, ස්ත්‍රියට පෙරට වඩා විශාල නිදහසක් ලැබී ඇති බවය. ඉස්ලාමික ඉගැන්වීම් ප්‍රබලව පවතින සමාජයක ගැහැණියක් හා ආගමට ප්‍රමුඛත්වයක් නොලැබෙන බටහිර රටක ගැහැණියකගේ ඇඳුම ඇදීම පිළිබඳ නිදහස සසඳා බැලීමෙන් බටහිර ගැහැණිය සාපේක්ෂව බුක්ති විඳින නිදහස ගැන අදහසක් ලබාගත හැක. ඒ අනුව සාම්ප්‍රදායන්ට එරෙහි නූතනත්වයේ පෙරගමන්කරුවන්ගේ ස්ත්‍රියගේ නිදහස සම්බන්ධ පොදු එකඟතාවය මේ ආකාරයෙන් දැක්විය හැකිය. සාම්ප්‍රදායික සමාජයේ දී ගැහැණියකට තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරීමට තරම් නිදහසක් නොතිබුණි. එම නිදහස ආගමික ඉගැන්වීම් හෝ සාම්ප්‍රදායික සමාජ සම්මත නිසා හෝ සීමා වී තිබුණි. නමුත් නූතනත්ව සමාජය තුලදී ගැහැණියකට තමන්ට අවශ්‍ය පරිදි හැසිරීමේ විශාල නිදහසක් ලැබී ඇත.

නමුත් නූතන, නවීන සමාජයේ මේ පවසන තරම් දැවැන්ත නිදහසක් ගැහැණියකට තිබෙනවාද? වඩාත් සියුම්ව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ සාම්ප්‍රදායික සමාජය විසින් ගැහැණිය මේ ආකාරයෙන් සිටිය යුතුයැයි ප්‍රකටව කර තිබූ නියෝගය නූතන සමාජයේ ද අප්‍රකටව වෙනත් ආකාරයෙන් ක්‍රියාත්මක වන බවය. නමුත් මෙම නියෝගය ඉදිරිපත් වන්නේ සුපිරි නිදහසක ස්වරූපයෙන්ය.

නූතන සමාජයේ ගැහැණියකගේ ශරීරය මේ ආකාරයෙන් වියයුතු යැයි සම්මතයන් ඇත. ඇය ආකර්ෂණීය අයෙකු ලෙස සැලකෙන්නේ එම සම්මතයන්ට අනුකූල ශරීරයක් දැරුව හොත් පමණකි. එමනිසා නූතන සමාජයේ සිටින ගැහැණිය සෑමවිටම උත්සහ කරන්නේ සමාජ සම්මතයේ පවතින පරිපූර්ණ ස්ත්‍රී රූපයට හැකිතරම් අනන්‍යවීමටය. හොලිවුඩ් නිළියන්, නිරූපිකාවන් හෝ ගායිකාවන් හරහා එම පරිපූර්ණ ස්ත්‍රී ශරීරය නිරූපණය වෙයි. එමනිසා එම සම්මත ශරීර ප්‍රමාණය පවත්වා ගෙන යාමේ අරමුණින් දැඩි ආහාර පාලනය හෝ නොකඩවා ව්‍යායාම කිරීම හෝ දැකගත හැක. ස්වරූපරාගී විඥානයක් (narcissistic consciousness) සහිත ශරීරයේ පරිපූර්ණ හැඩය ගැන උනන්දු ස්ත්‍රියකගෙන් ශරීරයේ හැඩය පවත්වාගෙන යාමට මෙතරම් ආයාසයක් ගන්නේ ඇයිදැයි විමසුවහොත් එය තමාගේ කැමැත්ත නිසා සිදුකරනවා වැනි සරළ පිළිතුරක් හෝ තම ශරිරය ගැන තීරණ ගැනීමට ඇති අයිතිය වැනි ස්ත්‍රීවාදී පිළිතුරක් ලැබීමට ද හැකියාවක් ඇත. නමුත් සැබෑවටම එම පිළිතුරුවලින් වැසී ඇත්තේ ඇය අවිඥානිකව අවනත වන යම් නියෝගයක්ය. මෙම තත්වය තේරුම් ගැනීමට ජෙනිෆර් ඇනිස්ටන් නම් හොළිවුඩ් නිළිය දක්වා තිබූ අදහසක් සලකා බලමු.

The way I am portrayed by the media is simply a reflection of how we see and portray women in general, measured against some warped standard of beauty. Sometimes cultural standards just need a different perspective so we can see them for what they really are — a collective acceptance... a subconscious agreement. We are in charge of our agreement. Little girls everywhere are absorbing our agreement, passive or otherwise. And it begins early. The message that girls are not pretty unless they’re incredibly thin, that they’re not worthy of our attention unless they look like a supermodel or an actress on the cover of a magazine is something we’re all willingly buying into. This conditioning is something girls then carry into womanhood. We use celebrity “news” to perpetuate this dehumanizing view of females, focused solely on one’s physical appearance, which tabloids turn into a sporting event of speculation. Is she pregnant? Is she eating too much? Has she let herself go? Is her marriage on the rocks because the camera detects some physical “imperfection”?

මෙයින් දැක්විය හැක්කේ, සාම්ප්‍රදායික සමාජය තුලදී ගැහැණියගේ බාහිර පෙනුම, ඇඳුම් ඇදීම ආදිය සංස්කෘතියේ හෝ ආගමික ඉගැන්වීම්වලට හෝ අවනත වීම ලෙස දැක්විය හැකි තත්වයන්, නවීන සමාජය තුලදී ඉදිරිපත් වෙන්නේ, ගැහැණියකගේ ශරීරය තිබිය යුත්තේ මේ ආකාරයට හා සෑම ගැහැණියක්ම උත්සහ කොට අත්පත් කරගත යුත්තේ මෙවැනි ශරීරයක් යැයි දැක්වෙන සමාජ සම්මතයන්ට (feminine beauty ideals) අනුකූලවීම තුලින් බවය. එනම් නියෝගය එම සමාජයන් දෙකෙදීම ක්‍රියාත්මකය. නූතන සමාජ සම්මතයන්ට අවනත වීම කෙරෙහි දැඩිව සිතීම ඇතැම්විට Body Dysmorphic Disorder (BDD) වැනි මානසික ව්‍යාකූලතාවයක් දක්වා ද වර්ධනය වනබව දක්වා ඇත.

අඩිඩාස් පාවහන් දැන්වීමේ නිරූපිකාව දක්වා තිබූ අදහස,

“Me being such an abled, white, cis body with its only nonconforming feature being a lil leg hair. Literally I’ve been getting rape threats in my DM inbox. I can’t even begin to imagine what it’s like to not possess all these privileges and try to exist in the world. Sending love and try to remember that not everybody has the same experiences being a person.”

ඇයට මුහුණ දීමට සිදුවූ තත්වය ඇතිවූයේ කාන්තා නිදහස ඉතා ඉහළින් පවතිනවා යැයි සැලකෙන සමාජයක් තුලදී වුවත්, එවැනි තර්ජනයන්ට මුහුණ දීමට සිදුවන්නේ, ගැහැණිය සිටිය යුත්තේ කෙසේදැයි පනවන නියෝගය සාම්ප්‍රදායික සමාජයේ මෙන්ම නූතනත්ව සමාජයේ ද විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මක වන නිසාය. නමුත් නවීන සමාජයේ දී එම නියෝගය වැසී තිබෙන්නේ සුපිරි ලිබරල් නිදහස නමැති තිර පටයෙන්ය. මෙම නියෝගයේ ඇති අප්‍රකට ස්භාවය නිසා නවීන සමාජය පරමාදර්ශී ලෙස ගෙන සාම්ප්‍රදායික සමාජයන් අන්තවාදී ලෙස විවේචනය කිරීමේ හැකියාවක් නූතනවාදීන්ට ලැබී ඇත.
නූතනත්ව සමාජයේ සුපිරි කාන්තා නිදහස හා අප්‍රකට නියෝගය නූතනත්ව සමාජයේ සුපිරි කාන්තා නිදහස හා අප්‍රකට නියෝගය Reviewed by Fox Talks on 12:04 AM Rating: 5

No comments :

Powered by Blogger.