දෙමළාට වෙනම රටක් අවශ්‍ය වූයේ ඇයි?


දෙමළාට දෙමළවීම නිසා ප්‍රශ්නයක් ඇතැයි ද, එයට පිළිතුරු මේවා යැයිද පෙන්වාදීම් පසුගිය දිනවල නිරන්තරයෙන් දක්නට ලැබුණි. මා ඇතුළු බොහෝ ජාතිකවාදීන් විශ්වාස කරන්නේ දෙමළාට දෙමළවීම නිසාම ඇතිවූ සුවිශේෂී ප්‍රශ්නයක් නොමැති බවය. දෙමළාට ඇති ප්‍රශ්නය වෙනම රටක් නොමැතිවීම බවද එයට පිළිතුරක් වශයෙන් බලය බෙදිය යුතු යැයිද කියන විසඳුම වෙනම පාලනයක් ඉල්ලීම දක්වා වර්ධනය වූ ආකාරය ගැන සංගත ප්‍රවාදයක් අපට ඇත. කෙටියෙන් සඳහන් කලහොත්, ඉංග්‍රීසින් විසින් අධි වරප්‍රසාද ලබාදිමෙන් පසුව දෙමළ වෙල්ලාල කුලයේ වංශවතුන්ට ඉංග්‍රිසීන්ගෙන් පසුව ලාංකික සමාජයේ ඉහළින් වැජඹීමට අවස්ථාව ලැබුණි. නමුත් ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබීමෙන් හා ඉංග්‍රිසී හාම්පුතුන් රට හැර යාමෙන් පසුව මෙම තත්වය වෙනස් වීමට පටන් ගැණුනි. තම බලය අහිමිවීම නිසා ඔවුන්ට ඇතිවූ ප්‍රශ්නය ක්‍රමිකව විකාශනය වෙමින් අද වනවිට වාමාංශික උගතුන් පෙන්වා දෙන සමස්ථ දෙමළාගේම ප්‍රශ්නය යන තත්වයට පත්ව ඇත.
මුලදී ඉහළ වෙල්ලාල පැළැන්තිය මධ්‍යයේ හෙවත් ව්‍යවස්ථාදායක සභාවේ බලය ලබා ගැනීමට උත්සහ කලත් එය අසාර්ථක වූ පසු උතුර හා නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් ඇති කිරීමට උත්සහ කළේය. එ් ආකාරයෙන් තම අහිමිව යන බලය නැවත ලබාගැනීම පිළිබඳ ප්‍රශ්නය, ඔවුන්ගේ විවිධ දේශපාලනික ක්‍රියාමාර්ග ඔස්සේ විකාශනය වී අද වනවිට ඇතැම් දෙමළ ජනයා, විශේෂයෙන්ම විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව තමාගේ ප්‍රශ්නය තමාට වෙනම රටක් නොමැතිවීම ලෙස හඳුනාගැනීම දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව කිවහැක්කේ මෙම වෙනම රටක් පිළිබඳ විඥානය සාමාන්‍ය දෙමළ ජනයාට ඇතුළු වුයේ සාපේක්ෂව සුළු පිරිසක් වූ උසස් කුලයේ වෙල්ලාල නායකයන්ගේ දේශපාලනික වැඩපිළිවෙලේ කොටසක් ලෙසටය. ⁣ප්‍රභාකරන් යනු ඉහළ කුලයේ දේශපාලකයන් සාමාන්‍ය දෙමළ ජනතාවට ඇතුළත් කල වෙනම රටක් පිළිබඳ අභිලාෂයන් ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රකාශ කල පුද්ගලයා විය.
ඇතැම් දෙමළ ජනයාට වෙනම රටක් පිළිබඳ අදහසක් ඇතිවූ අයුරු අවබෝධ කරගැනීමට උතුරේ දෙමළ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය විමසා බැලිය යුතුය. දකුණේ දේශපාලනයට ප්‍රතිවිරුද්ධව උතුරේ දේශපාලයට ඇත්තේ ඉහළ සිට පහළට ක්‍රියාත්මකවන ප්‍රවේශයක්ය. එයට පදනම වැටී ඇත්තේ කුල භේදය හරහාය. එනම් උසස් කුලයේ වෙල්ලාල නායකයන්ගේ දේශපාලන අභිලාෂයන්ට අනුකූලව බහුතරයක් වූ පහළ කුලයේ සාමාන්‍ය දෙමළ ජනයාගේ අභිලාෂයන් ද සැකසේ. නායකයන්ගේ අදහස් ඉක්මවා යාමක් එහිදී සිදුනොවේ. මෙය උතුරේ ප්‍රකටව දක්නට ලැබෙන තත්වයක් මෙන්ම විදේස්ගත දෙමළ ඩයස්පෝරාව අතර ද තවමත් ප්‍රබලව පවතින තත්වයකි. යුරෝපා රටකදී පවා උසස් කුලයේ අයෙකුගේ අදහස් පහත් කුලවල ජනයා අනුමත කරන හෝ ඒවා ඉක්මවා නොයන තත්වයක් තවමත් ඇත.
දේශපාලනික ප්‍රභූන් නොවු සාමාන්‍ය දෙමළ ජනයාට වෙනම රටක් පිළිබඳ විඥානය ඇතුලත් වු ආකාරය උදාහරණයකින් පැහැදිලි කරගැනීමට උත්සහ කරමු. මෙය උතුරේ ඇතිවූ තත්වය සමඟ ඒ ආකාරයෙන්ම අනුරූප නොවිය හැකිමුත් වෙනම රටක් පිළිබඳ මූලික හැඟීම ඇතුලත්වූ ආකාරය තේරුම් ගැනීමට ප්‍රමාණවත් යැයි සිතමි.
ගමේ වැව් ඉහත්තාවේ ඇති කැලය කලක පටන් නිරුපද්‍රිතව තියෙන ස්භාවික පරිසර කලාපයකි. ගමේ එක් ව්‍යාපාරිකයෙක් කැලේ ගස් කපාගැනීමට සැලසුම් කරන අතර තනි පුද්ගලයෙක් වශයෙක් ගොස් ගස් කපාගැනීමට තරම් හැකියාවක් ඔහුට නොමැත. මේ නිසා උපායක් වශයෙන් ගමේ දරිද්‍රතාවයෙන් පෙලෙන පිරිසක් අමතා ඔහු කියන්නේ,
"උඹලා දුප්පත් වෙලා ඉන්නේ උඹලට ගොවිතැන් කරන්න තරම් ප්‍රමාණවත් ඉඩම් නැති හින්දා. අරහේ වැව් ඉහත්තාවේ කැලයේ ඕන තරම් ඉඩම් තියෙනවා. පුළුවන්කමක් තියෙනවනන් ඔක්කොම ගිහින් කැලේ කපලා අල්ලාගනිල්ලා, එහෙම නැත්තන් මහ ආණ්ඩුවට කියල කොටසක් වෙන්කර ගනිල්ලා. "
ව්‍යාපාරිකයා දුප්පත් ගැමියන්ට දෙනු ලබන අදහස වන්නේ ඔවුන්ගේ ප්‍රශ්නයට හේතුව ගොවිතැන් කිරීමට ප්‍රමාණවත් තරම් ඉඩම් නොමැතිවීම බවත් එයට විසඳුම කැලයේ ඉඩම් අල්ලාගෙන ගොවිතැන් කිරීමට පටන් ගැනීම බවයි. නමුත් ගැමියන්ගේ දුෂ්කර දිවි පෙවතට හේතුව රජය විසින් ජනතාවගේ සුබසිද්ධියට ප්‍රමාණවත් කාර්යන් නොකිරීම, අධික බදු පැනවීම, උද්ධමනය වැනි හේතුන්ය. මෙය ඒ ගමේ වැසියන්ට පමණක් නොව වෙනත් ගම්වල දරිද්‍රතාවයෙන් පෙලෙන වැසියන්ටත් ඇති පොදු ගැටළුවකි.
නමුත් ව්‍යාපාරිකයා විසින් එය මේ ගමේ වැසියන්ට පමණක් ඇති ගැටළුවක් යැයි අවධාරණය කරමින් දිර්ඝ කාලයක් තිස්සේ නැවත නැවතත් පැවසීම මඟින් දුප්පත් ගැමියන් විශ්වාස කිරීමට පටන් ගන්නේ තමාට ඇති ප්‍රශ්නය ගොවිතැන් කිරීමට දැනට තිබෙන ඉඩම් ප්‍රමාණවත් නොවීමත්, එයට ඇති එකම විසඳුම කැලයේ ඉඩම් අල්ලාගැනීම බවත්ය. එම අදහස ප්‍රබල වීමත් සමඟ ව්‍යාපාරිකයාගේ අභිලාෂයන් හා කැලය කැපීම නිසා ඇතිවන අනර්ථකාරී තත්වයන් පිළිබඳ දැනීම හීන වී යයි. දැන් පිටස්තර අයෙකු ගැමියන්ගේ ප්‍රශ්නය ගැන විමසුවහොත් ඔහුට ගැමියන් පවසනු ඇත්තේ තමන්ගේ ප්‍රශ්නය තමන්ට කියා ප්‍රමාණවත් ඉඩම් නොමැතිවීම බවත්, එයට විසඳුම කැලයේ ඉඩම් ලබාගැනීම බවත්ය.
මෙයින් පැහැදිලි කිරීමට උත්සහ කරේ වෙනත් අයෙකුගේ අභිලාෂයන් වෙනුවෙන් තවත් පිරිසකට ව්‍යාජ අදහස් සමූහයක් ඇතුළත් කිරීමෙන් පසුව ඒ පිරිස පසුකාලීනව එ්වා තමාගේම අභිලාෂයන් බවට පත්කරගන්නා බවයි. මා විශ්වාස කරන්නේ වෙනම රටක් පිළිබඳ විඥානයක් සාමාන්‍ය දෙමළ ජනයාට ඇතුළු වී ඇත්තේ ද මේ ආකාරයටය. දෙමළ ප්‍රභූ දේශපාලකයන් තමන්ගෙන් ගිලිහි යන බලය රුකගැනීමට ගත් දේශපාලනික ක්‍රියාමාර්ග අවසානයේ සාමාන්‍ය ⁣දෙමළ ජනතාව තමාගේ ප්‍රශ්නය වෙනම රටක් නොමැතිවීම ⁣ලෙස සැලකීම දක්වා වර්ධනය වී ඇත.

දෙමළාට වෙනම රටක් අවශ්‍ය වූයේ ඇයි? දෙමළාට වෙනම රටක් අවශ්‍ය වූයේ ඇයි? Reviewed by Fox Talks on 7:52 PM Rating: 5

No comments :

Powered by Blogger.