කූඹියෝ සහ surplus-enjoyment



මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන කුඹියෝ හි එක් කොටසක තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක සිත්ගන්නා සුළු ලැකානීයානු සංකල්පයක් (surplus-enjoyment) ගැබ්ව ඇති බව දක්නට ලැබුණි. එම කතාබහ පසුබිම් වන්නේ් කොළඹ ධනවත් පවුල්වල ගෘහණියන්ට එදිනෙදා අවශ්‍ය කරන බඩු භාණ්ඩ සුපිරි වෙළදසල් වලින් මිලදී ගෙන නිවසටම සපයන ආයතනයක් පවත්වාගෙන යනු ලබන තරුණයන් දෙදෙනෙකු අතරය. නමුත් සැබෑවටම ඔවුන් එම භාණ්ඩ මිලදී ගන්නේ සුපිරි වෙළදසල් වලින් නොව සාමාන්‍ය වෙළදපොළෙන්ය.

"අයියේ ඇත්තටම අපි මේ කරන්නේ හොරකමක් නේද?"

"ඇයි?"

"නෑ, ඒ නෝනලා හිතාගෙන ඉන්නේ සුපර් මාකට් වලින් ගේනවා කියලනේ. ඉතිං ඇත්තටම එහෙම නෙමෙයිනේ අයියේ."

"හරි දැන් ඔය බඩු සුපර්මාර්කට් එකට එන්නේ කොහෙන්ද?

ඇයි බං, ඔය බඩු සුපර්මාර්කට් එකට එන්නේ අනික් කඩවල් වලට එන වාහනෙන්මයි, ඔය සුපර්මාර්කට් එකේ තියෙන එළවළු හැදෙන්නේ පොළේ තියෙන එළවළු හැදෙන කොටුවෙමයි. ඒ ගහමයි.

දැන් ඔය සුපර්මාර්කට් වල තියෙන ෂැම්පු හැදෙන්නේ අනික් කඩේ තියෙන ෂැම්පු හැදෙන කොම්පැණියෙමයි.
ඉතිං මොකක්ද වෙනස? "

"ඉතිං එහෙනන් මිනිස්සු මොකටද සුපර්මාර්කට් වලට යන්නේ?"

"ඒක වෙනමම ආතල් එකක් බං. දැන් උඹ හිතපන් අපිට කොහෙද පොඩි කාලේ වගේ පුංචි රෝද තියෙන කරත්තයක් තල්ලු කරගෙන විවිධ බාධක මැද්දෙන් මෙහෙම කප කප යන්න පුළුවන් වෙන්නේ. මම දැකලා තියෙනවා සමහර එවුන් එහෙම යන අතරේ කටින් බ්ර්ර්ර්ම් ගාලා සද්දෙකුත් දානවා.

අනිත් එක උඹ හිතපන් අපිට කවදාවත් ගන්න බැරි බඩුවක් ළඟට ලංවෙලා ගාන බලන්න, ඒක අතට අරන් බලන්න. ඒකේ සුවඳ බලන්න ඒක අතගාලා බලන්න. අපිට ඒ බඩුව ගන්න බැරිවුනාට ඒකේ සම්පූර්ණ ආතල් එක අපිට ගන්න පුළුවන් වෙනවා.

අනික් එක උඹ හිතපන්, වෙන කඩේකට ගියාට අපි ගිය වාහනේ පේන්නේ නෑනේ. ඒ වුනාට සුපර්මාර්කට් එකේදී තමයි ලොකු වීදුරු දාලා තියෙන හින්දා ඇතුලේ ඉන්න එවුන්ට අපි යන වාහනෙත් පේන්නේ. ඒක වෙනමම ආතල් එකක්."

"ඉතිං අයියේ අපි බඩු ගිහින් දෙන නෝනලට එහෙම එකකුත් නෑනේ. එතකොට ඒ ගොල්ලෝ මොකටද දැන් ඔය."

"ඒ ගොල්ලෝ දන්නේ නෑ බං සුපර්මාර්කට් එකට ගිහින් ගන්නේ අර වගේ ආතල් එකක් කියලා.

ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ කොලිටිම බඩු ගන්නවා කියලා. හැබැයි ඉතිං එලියේ තියෙන්නෙත් ඒ බඩුම තමයි. හැබැයි ඒගොල්ලෝ හිතනවා අරවා තමයි කොලිටිම කියලා. ඒ නිසා තමයි යන්න වෙලාවක් නැතිවුනත් අපිට කියන්නේ.

ඇත්තම කියනවනන් එහෙම මඟුලක් නෑ. ඒක තියෙන්නේ ඒ ගොල්ලන්ගේ ඔලුවේ. "

කුඹියෝ දෙබස හරහා මතුවන surplus-enjoyment යන සංකල්පය හඳුනාගැනීමට ස්ලැවෝජ් ජිජෙක් විසින් සපයන මනෝ-මාක්ස්වාදී විග්‍රහය වැදගත් වේ. ලැකාන් විසින් surplus-enjoyment පිළිබඳ සිද්ධාන්තය ගොඩනැගීමෙදී මාක්ස්වාදී සංකල්පයක් වන surplus-value හා objet a සමඟ ඇති සමප්‍රභවතාව උපයෝගී කරගෙන ඇත. එහිදී ලැකාන්, මාක්ස්ගේ surplus-value සමඟ objet a සමාන කරවයි. ලැකාන් objet a යනුවෙන් කෙටියෙන් හඳුන්වන්නේ, ඔබගේ ආශාවට හේතුවන/ආශාව උපදවන වස්තුවයි. (objet a = object cause of desire). ජිජෙක්ගේ පැහැදිලි කිරීමට අනුව objet a සඳහා නොයෙකුත් ආකාරයන් තිබුණත් අප විග්‍රහ කිරීමට උත්සහ කරනා සන්දර්භය තුලදී objet a හී ආකාරය වන්නේ surplus-enjoymentය.

surplus-enjoyment හඳුනා ගැනීමට ෆ්‍රොයිඩියානූ සංකල්පයක් වන gain of pleasure යන්නෙන් අදහස් වන්නේ කුමක් දැයි විමසා බලමු. එයින් ගම්‍යවන්නේ ප්‍රමෝදය ලබා ගැනීම යන සරළ අර්ථය නොවේ. එයින් අදහස් වන්නේ යම් ආත්මයක් (subject) ප්‍රමෝදයක් ලබාගැනීමට ගන්නා උත්සහයෙදී ලබාගන්නා අමතර ප්‍රමෝදයයි. (ජිජෙක් පවසන්නේ අප අතිරික්තය අතහැර ශුද්ධ ප්‍රමෝදය පමණක් ලබගැනීමට උත්සහ කලහොත් සම්පූර්ණ ප්‍රමෝදයම ගිලිහී යන බවයි.)

මෙම surplus-enjoyment තවදුරටත් පැහැදිලි කරගැනීමට ජිජෙක් තම මිත්‍රයෙකුගේ අත්දැකීමක් ගෙනහැර දක්වනවා. වරක් ඇමරිකාවේ වෝල්මාට් සුපිරි වෙළදසලකට ගොඩවූ මිත්‍රයා දැක ඇත්තේ පිටවන දොරටුව අසළ රැස්කර ඇති බඩු භාණ්ඩ පිරවු ෂොපින් කාර්ට් සමූහයකි. ඔහු සේවකයෙකුගෙන් ඒ පිළිබද විමසා ඇත. සේවකයා පවසා ඇත්තේ එම ප්‍රදේශයේ සිටින මෑතකදී ආර්ථික අතින් පරිහානියට පත් මධ්‍යම පාංතික පවුල්වල සාමාජිකයන් එසේ ෂොපින් කාර්ට් අතහැර දමාගොස් ඇති බවය. ආර්ථික පරිහානිය නිසා ඔවුන්ට තවදුරටත් පෙර පරිදි භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් නොමැති නමුත් පුරුද්දක් වශයෙන් තවමත් පවුල් පිටින් පැමිණ සුපුරුදු සාප්පු සවාරි වෘතය සිදුකොට අවසානයේ ෂොපින් කාර්ට් දොරටුව අසල අතහැර දමා යන බවය.

එයින් ඔවුන්ට කිසිදු භාණ්ඩයක් මිලදී නොගෙන සාප්පු සවාරියෙන් ලැබෙන surplus-enjoyment ලබාගැනීමට හැකියාවක් ලැබේ. එනම් ඔවුන් භාණ්ඩ මිලදී ගැනීමෙන් ලබාගන්නා ප්‍රමෝදය භාණ්ඩ මිලදි ගැනීම නම් ක්‍රියාව නිසාම ලබාගන්නා ප්‍රමෝදයම වේ. ඇතැමුන් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමට අකමැත්තක් දක්වන්නේ එම ප්‍රමෝදය එයින් නොලැබෙන නිසාය. තවදුරටත් කිවහොත් අප සාප්පු සවාරියක යෙදෙන්නේ යම් පැහැදිලි අරමුණකින්ය, අපට අවශ්‍ය යම්කිසි දෙයක් මිලදී ගැනීමටය. නමුත් එම මූලික අරමුණ එතරම්ම වැදගත් නැත. ඒ සාප්පු සවාරියේ සැබෑ තෘප්තිය ලැබෙන්නේ භාණ්ඩය අත්පත් කරගැනීමට වඩා භාණ්ඩය අත්පත් කරගැනීම සඳහා වන ක්‍රියාවම තුලින් නිසාය.

ඉහත කූඹියෝ දෙබස විග්‍රහ කලහොත් එයින් අදහස්වනවා යැයි කිවහැක්කේ, මිනිසුන් සුපර්මාර්කට් ගොස් භාණ්ඩ මිලදි ගන්නේ සුපර්මාර්කට් යෑම නම් ක්‍රියාව ලබාදෙන surplus-enjoyment එක නිසාය. නමුත් මෙම surplus-enjoyment එක පිළිබඳ හැඟීම මිනිසුන් තේරුම් ගන්නේ සුපර්මාර්කට්වල ඇති භාණ්ඩ වල උසස් තත්වය නිසා තමන් සුපර්මාර්කට් යනවා කියාය. එමනිසා සුපර්මාර්කට් යෑමට නොහැකි අවස්ථා වලදී පවා කුඹියන් ලවා සුපර්මාර්කට් භාණ්ඩ ⁣නිවසටම ගෙන්වා ගනියි.

කූඹියෝ සහ surplus-enjoyment කූඹියෝ සහ surplus-enjoyment Reviewed by Fox Talks on 10:09 AM Rating: 5

No comments :

Powered by Blogger.