යුඇන්පී සංකීර්ණය. (UNP Complex)

දේශපාලනිකව ලංකාවේ මිනිස්සු බෙදී  සිටින්නේ ශ්‍රිලංකාකාරයන්, යුඇන්පිකාරයන් හා මෑතක සිට මහින්දවාදීන් වශයෙනි. ජේවීපිකාරයොත් අතරින් පතර සිටී. ගම්වල සිටින බිම් මට්ටමේ සාමාන්‍ය යුඇන්පිකාරයා අනෙකුන්ගෙන් වෙනස් වන්නේ දේශපාලනික මතවාදයන්ගෙන් පමණි. දේශපාලනික මතවාදයන් යන්න බිම් මට්ටමට පැමිණෙන විට සැලකිය හැකිවන්නේ එම පක්ෂයේ ප්‍රතිපත්ති තීරණ ආදිය නොව මැතිවරණයකදී පක්ෂයට ඡන්දය දෙනවා කියන මට්ටමෙන්ය. මා මෙයින් අදහස් කරන්නේ සාමාන්‍ය මිනිසුන් යනු සෑමවිටම කිසිදු විමර්ශනයක් නොමැතිව හුදෙක් පාක්ෂික විඥානය මතම පිහිටා ඡන්දය පාවිච්චි කරනවා කියා නොවේ. යම් යම් ජාතික වශයෙන් තීරණාත්මක අවස්ථාව වලදී ඔවුන් එක මතයකට පැමිණේ. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පැවතුන අවධියේ රටේ බහුතරය එක මතයකට පැමිණ සිටියහ. නමුත් එවැනි සුවිශේෂී අවස්ථාවන්වලදී හැර අනෙක් අවස්ථාව වලදී අපේ රටේ මිනිසුන් දේශපාලනික කටයුතු වලදී ක්‍රියාකරන්නේ පාක්ෂික විඥානය මත පිහිටාය.

දේශපාලනික වශයෙන් එවැනි බෙදීමක් තිබුනත් අනෙක් බොහෝ අවස්ථාවන් වලදී ඔවුන් අනෙකුන් සමඟ එක හා සමාන අදහස් දරන මිනිසුන්ම වෙති. ඔවුන් ගමේ පන්සලේ පිංකම, පෙරහැර ආදී සංස්කෘතික අංගයන් වලදී එකට එකතුවී වැඩ කරති. රටේ සිංහලකම බෞද්ධකම ආරක්ෂා වියයුතු යැයි සිතති. රට ඒකීය රටක් වශයෙන් පැවතිය යුතුයැයි සිතති. උතුරේ දෙමළ ‍බෙදුම්වාදීන් ඕනෑවට වඩා දඟලන විට කෙන්ති ගොස් සියල්ලෝම එකතුවී දෙමළුන්ට බනිති. එහෙත් සාමාන්‍ය කාලවලදී මෙසේ පොදු අදහසක සිටියත් මැතිවරණ සමයකදී යටපත් වී තිබු පාක්ෂික විඥානය නැවත පෙරට එයි. ඉන්පසු මැතිවරණ උණුසුම පහව යනතෙක් මේ බෙදීම පවත්වාගෙන යයි.

සාමාන්‍ය යුඇන්පිකාරයාට ජාතිකත්වය පිළිබද හැගීමක් තිබුනද ඔවුන්ගේ වර්තමාන නායකයන් යනු ජාතිකත්වයට විරැද්ධව බටහිරයන්ගේ ඕනෑ එපාකම් වලට අනුව වැඩ කරන්නෝ වෙති. රනිල් වික්‍රමසිංහ යනු බටහිරයන්ගේ ශ්‍රිලංකාවේ නිත්‍ය නියෝජිතයා තරමට සැලකිය හැකි පුද්ගලයකි. එජාප ආණ්ඩුවක් පැමිණි සෑම විටම සිංහල බෞද්ධ සංස්කෘතිකයට එරෙහි පිරිසට නව ජීවයක් ලැබේ. උතුරේ බෙදුම්වාදීන් නැවත නිදහසේ හැසිරෙන්න පටන්ගනී. සංස්කෘතික අංගවලට තහංචි වැටේ. සාමාන්‍යයෙන් විචාරශීලි මනසක් ඇති සිංහල බෞද්ධ සංස්කෘතියට ඇලුම් කරන යුඇන්පිකාරයෙකුට තමන්ගේ ආණ්ඩුවක් යටතේ සිද්ධ වෙන මේ වෙනස්කම් සංජානනය වෙයි. නමුත් දැඩි පාක්ෂික විඥානය විසින් එම සංජානන දෙස තාර්කිකව බැලීමේ හැකියාව මොට කර දමයි. ඉන්පසු ඔවුන් පරිකල්පනය කරන්නේ බටහිරයන්ගේ නියෝජිතයන් මෙන් ක්‍රියාකරන තම නායකයන් අතින් බෙදුම්වාදයට වාසි සහගත වන කිසිවක් හෝ සංස්කෘතියට හානිවන කිසිවක් සිදු නොවෙයි කියාය. 'ඔය කිව්වට එහෙම වෙන්නේ නෑ' වැනි අදහසක් ඇති කරගනී.

2005 ජනාධිපතිවරණයෙදී ප්‍රභාකරන් උතුරේ ජනයාට ඡන්ද වර්ජනය කිරීමට කිවේ දකුණේ දේශපාලනය තමන්ට එතරම් වැදගත් එකක් නොවේය යන උද්දච්ච මතයට පැමිණීමට තරම් සාම ගිවිසුම් වලින් පසුව එල්ටීටීඊය ශක්තිමත් වී සිටි නිසාය. නමුත් යුඇන්පිකාරයන් සිතන්නේ ප්‍රභාකරන් මහින්දගෙන් සල්ලි ගෙන ඡන්දය වර්ජනය කල බවය. මහින්දගේ නායකත්වයෙන් පසුව එල්ටීටීඊය සහමුලින්ම නන්දිකඩාල් කලපුවෙදී ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ පරාජය කරත් ඔවුන් තවම සිතන්නේ මහින්ද හා ප්‍රභාකරන් ඩීල් දැමු බවකි.
එවකට හිටපු ජනපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංගට වත් නොදන්වා එල්ටීටීඊය සමඟ සාම ගිවිසුම් අත්සන් කල, දිගු දුර විහිදුම් බලකාය හා බුද්ධි අංශය පාවාදුන් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ශූර බුද්ධියෙන් එල්ටීටීඊය පරාජය කිරීමේ පියවරක් වශයෙන් කරැණා අම්මාන් ප්‍රභාකරන්ගෙන් වෙන්කල බව යුඇන්පිකාරයන් විශ්වාස කරයි. ඔවුන් සිතන්නේ සියල්ල ආරම්භ වුයේ එතැන් සිට කියාය. එහෙත් පසුව මහින්ද කරැණා, පිල්ලෙයාන්ට රජයේ තනතුරැදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට එකතු කරගත් පසු මහින්ද කොටින්ට කිරි පොවනවා කියා චෝදනා කරයි. තමන්ගේ ගැලවුම්කරැවාගේ පක්ෂයට කරැණා ගියේ නැත්තේ ඇයි?

සරත් ෆෝන්සේකා දක්ෂ යුධ සෙනෙවියෙකි. ඔහු ඉතා දක්ෂ ලෙස තමන්ට යුධ හමුදාපතිවරයා ලෙස පැවරැන රාජකාරිය සිදුකොට ඇත. එහෙත් යුද ජයග්‍රහණයට බලපෑ ප්‍රධානතම සාධකය දේශපාලන නායකත්වයයි. යුද සමයෙදී මහින්ද විසින් නිවැරදිව එම නායකත්වය ලබාදෙන ලදී. දෙවනුව ත්‍රිවිධ හමුදාවන් එක්කොට නිසි ලෙස සම්බන්ධීකරණය කිරීමයි. ගෝඨාභය සිදුකලේ එයයි. එහෙත් යුඇන්පිකාරයන් සිතන්නට කැමති ෆෝන්සේකා තනියම යුද්ධ කොට එල්ටීටීඊය පරාජය කලා කියාය. එසේ සිතු අය 2010දී ෆෝන්සේකාට ඡන්දය දුන්හ.

මේ දිනවල විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් උතුරේ වාර්ගික පදනමින් යුත් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙයි. එය පමණක් නොව විග්නේෂ්වරන් කුමන ආකාරයේ වාර්ගික ක්‍රියාවක් කරත් යුඇන්පිකාරයන් සිතන්නේ විග්නේෂ්වරන් සමග ඇති ඥාතීත්වය නිසා මහින්දගේ බලපෑමට වාසුදේව කියන නිසා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට විග්නේෂ්වරන් එසේ හැසිරෙන බවය. දෙමළ බෙදුම්වාදයේ සැකැස්ම ගැන ප්‍රමාණවත් කියවීමක් නොමැති නිසා එවැනි සරළ නිගමන වලට ඔවුන් ඉතා පහසුවෙන් පැමිණෙති.

මහින්ද විරෝධී අනෙකුත් පාර්ශව, එනම් වාමාංශික උගතුන්, TNA ඇතුළු දෙමළ බෙදුම්වාදීන්, විදේශගත ඩයස්පෝරාව හා බටහිරයන් මෙම කරැණු පිළිගන්නේ නැත. තවමත් දෙමළ ඩයස්පෝරාව රනිල්ගේ හෝ ෆෝන්සේකාගේ නොමැතිව මහින්දගේ පඹයන් තැන් තැන්වල පුළුස්සන්නේ එල්ටීටීඊයේ පරාජයට මහින්දගෙන් සිදුවු කාර්යභාරය පිළිබද තක්සේරුවක් ඇති නිසාය. එහෙත් යුඇන්පිකාරයන්ට එවැනි දේවල් ගෝචර වන්නේ නැත.

තමනුත් අප්‍රිය කරන ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට එරෙහිව මහින්ද සිදුකල තීරණාත්මක කාර්යභාරය තමන්ගේ දැඩි පාක්ෂික විඥනයෙන් යුඇන්පිකාරයන් යටපත් කරන්නේ එසේයි. මහින්දට එරෙහිව ගොඩනගන තර්ක නිසා ඇතිවන විරැද්ධාභාෂ (paradox) ඔවුන් පහසුවෙන්ම යටපත්කර දමති. දැන් පවතින තත්වයන්ට අනුව දිගටම යුඇන්පී විඥානය පවත්වා ගැනීමටනම් ඔවුන් කල යුත්තේ හැකිතාක් අතාර්කික අන්තයට ගමන් කිරීමටය. තාර්කික අන්තයට ගමන් කරනවිට යුඇන්පිකාරයෙක් වශයෙන් ඇති පැවැත්ම ක්‍රමයෙන් අහෝසි වී යයි. මහින්දවාදීන් පමණක් සෑම විටම තාර්කිකව සිතනවා කියා මා නොකියන මුත් ත්‍රස්තවාදයට එරෙහිව සිදුකල යුද්ධය හා බෙදුම්වාදය සම්බන්ධව විරැද්ධාභාෂ ඇති නොකරගෙන තම නායකයන් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට හැකියාවක් ඇත.



යුඇන්පී සංකීර්ණය. (UNP Complex) යුඇන්පී සංකීර්ණය. (UNP Complex) Reviewed by Fox Talks on 5:22 AM Rating: 5

No comments :

Powered by Blogger.