දේශපාලන නිරවද්‍යතාවය හා මිත්‍රශිලී ජාතිවාදය



පසුගියදා ⁣මොටර් රථ සඳහා අමතර උපාංග සවිකරන ස්ථානයකට මාත් මාගේ සහෝදරයාත් ගොස් අප එහි ගිය කාර්‍යයේ නියැලෙන විට තවත් අමතර සේවාවක් ලබාගැනීමට සිදුවිය. එම සේවා ස්ථානයේ හිමිකරු අපට පැවසුවේ එම කාර්ය සදහා සුදුසු පුද්ගලයන් දෙදෙනෙකු තමන් දන්නා බවත් අවශ්‍ය නම් එම ස්ථානයට ගෙන්විය හැකිබවත්ය. දුරකථන ඇමතුම් කිහිපයකින් පසු ඔවුන්ගේ පැමිණීම ස්ථිර විය.

සේවා ස්ථානයේ අයිතිකරු අපට පැවසුවේ එම පුද්ගලයන් දෙදෙනා මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු බවත්, ඔවුන්ගේ එක් අයෙකුගේ සහෝදරියකගේ නිවසට තෙල්දෙණියේ ඇතිවු සිදුවීමෙන් විශාල වශයෙන් අලාභ හානි සිදුවී ඇතිබවත්ය. ටික වේලාවකින් ඔවුන් පැමිණ තම කාර්ය ආරම්භ කල අතර එම කාර්යට අදාල සම්බන්ධ දෑ හැර වැඩි කතාබහක් නොමැතිව එය සිදුවිය.

තෙල්දෙණිය සිදුවීමේ උණුසුම තවමත් රැඳී තිබෙන තත්වයක් උඩදී උවත් අප මැද සාලයේ සිටින අලියා ගැන කතා කිරීම අමතක කරදමා වෙනත් අනවශ්‍ය දෑ ගැන කතාබහ කරමින් සිටියෙමු. තෙල්දෙණිය සිදුවීම ගැන මුස්ලිම් පාර්ශවයේ අදහස විමසීමේ අවශ්‍යතාවක් තිබුණ මුත් මේ මොහොතේ එය විමසීම සදාචාරාත්මක නොවේ යන හැඟීම ප්‍රබලව නැගී ආ නිසා එය යටපත් කර දැමුවෙමි. තම සහෝදරියගේ නිවසට පහරදීමක් සිදුවී ඇති අවස්ථාවක එවැනි දෑ ගැන හාර ඇවිස්සීම නොකළ යුතු යැයි ද සිතුනි.

ටික වේලාවකින් සේවා ස්ථානයේ හිමිකරුගේ බිරිඳ එම ස්ථානයට පැමිණියාය. ප්‍රියමනාප කාන්තාවක් වූ ඇය මුස්ලිම් ජාතිකයන් දෙදෙනාගෙන් ආගිය තොරතුරු විමසා සිටිය අතර කතාබහෙන් ඔවුන් සමඟ දැඩි හිතවත් කමක් තිබෙන බවද පැහැදිලි විය. ටික වේලාවකින් අප යටපත් කරදමා තිබූ මාතෘකාවට ඇය අවතීර්ණ විය.

"මොහිදීන්, අපිට ඇත්ත කියන්න, ඔයාලත් අර කොල්ලට ගහපු කට්ටියත් එක්ක හිටියා නේද? "

"අපි හිටියනන් ඉස්සරලම ඇවිත් මොහිදීන්ගේ ගෙදරට ගහන්නේ"

"උඹලා තමයි එහේ ඔක්කොම කරලා දැන් මෙහෙට වෙලා ඉන්නේ"

මේ ආකාරයේ ප්‍රකාශ කිහිපයකින් අයිස් කුට්ටිය කඩා වැටිමෙන් පසුව පැවති ආතතිය අඩුවී මාතෘකාව කතාබහ කිරීමට අවශ්‍ය සහනදායක වාතාවරණයක් ඇතිවිය. ඉන්පසුව සිදුවීම සම්බන්ධ ඔවුන්ගේ අදහස මෙන්ම තම සහෝදරියගේ අලාභ හානිකර තිබු නිවස සහ ගිනි තබා තිබු වාහන දෙකේ පින්තූර ද පෙන්වීය.

උද්ගත වූ තත්වය නිසා සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමක් සම්බන්ධ කතාබහක ඇතිවන්නේ දේශපාලන නිරවද්‍යතාවයකින් (political correctness) යුතු ප්‍රවේශයක්ය. නමුත් එවැනි ප්‍රවේශයක් තුලින් අවංක අදහස් ප්‍රකාශවීම වැලකෙයි, එමෙන්ම එය යම්කිසි ආතතියක් ද නිර්මාණය කරයි. උදාහරණයකට මෙවැනි ප්‍රකාශ කිහිපයක් සලකා බලමු.

"තෙල්දෙණියේ වුනේ අනවශ්‍ය දෙයක්. අර මුස්ලිම් අය හතර ⁣දෙනාට හරියට දඬුවම් දුන්නනම් මෙච්චර දෙයක් වෙන්නේ නෑ."

"දෙපැත්තෙම ඔහොම අන්තවාදී අය ඉන්නවා. ඒකට ඔක්කොම වග කියන්න බෑ. කඩවල්, ගෙවල්, වාහන ගිනි තියෙන එක කොහොමත් අනුමත කරන්න බෑ. "

"අවුරුදු 30ක් මරාගත්තා මදිද? ඇයි මේ අනවශ්‍ය සිංහල මුස්ලිම් ගැටුමක්".

මෙය සදාචාරාත්මක ප්‍රවේශයක් වුවත් මා සිතන ආකාරයට එය තුල අඩංගු වන්නේ ව්‍යාජ හුවමාරුවකි. ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශයක් සිදුකලත් අප්‍රකටව දක්වන අදහස මෙවැනි දෙයක් වියහැක.

"ඇත්තටම ඔච්චර විනාශයක් කරපු එක වැරදියි තමා. ඒත් පොඩ්ඩක් ඔහොම කරපු එකත් හොදයි. කොහොමත් තම්බි දැඟලුවා වැඩියි. දැන් ටික කාලයක් යනකම් කටවහගෙන ඉදියි."

එයින් පැහැදිලි වන්නේ දේශපාලන නිරවද්‍යතාව තුලින් බොහෝවිට සිදුවන්නේ ජාතිවාදය නැතිකර දැමීමක් නොව එය ව්‍යාජ ලෙස සඟවා දැමීමකි. එයින් ආතතිය සමනය වීමක් සිදුනොවේ. එහෙත් සේවා ස්ථානයේ අයිතිකරුගේ බිරිඳගේ "මිත්‍රශිලී ජාතිවාදී" ප්‍රවේශය දේශපාලන නිරවද්‍යතාවයෙන් යුතු ප්‍රවේශයට වඩා ආතතිය සමනය කරයි. එනම් අපට කිවහැක්කේ ජාතිවාදය නිසා ඇතිවන ආතතිය සමනය කරගැනීමට දේශපාලන නිරවද්‍යතාවකින් යුතු ව්‍යාජ ප්‍රවේශයකට වඩා මිත්‍රශිලී ජාතිවාදය ප්‍රයෝජනවත් විය හැකි බවයි.
දේශපාලන නිරවද්‍යතාවය හා මිත්‍රශිලී ජාතිවාදය දේශපාලන නිරවද්‍යතාවය හා මිත්‍රශිලී ජාතිවාදය Reviewed by Fox Talks on 9:39 AM Rating: 5

No comments :

Powered by Blogger.