Community based tourism සංකල්පය

 



සංචාරක ව්‍යාපාරයෙන් ප්‍රධාන වශයෙන් ආදායම් උපයන්නන් ලෙස සංචාරකයන් ⁣ගෙන්වන සමාගම්, සංචාරක හෝටල් සහ සංචාරක මඟ පෙන්වන්නන් වැනි කොටස් සැලකිය හැක. සංචාරකයන් සෘජුව මෙවැනි කොටස් සමඟ සම්බන්ධ වන අතර ඔවුන් හරහා වනෝද්‍යාන සෆාරි, බෝට්ටු සෆාරි, විලේජ් ටුවර් ක්‍රියාකරුවන්, කුලී රථ රියදුරන්, සංස්කෘතික ප්‍රසංග මෙන්ම කුළුබඩු උද්‍යාන, මැණික් කෞතුකාගාර, ලී කැටයම් වෙළදසැල් වලට ද සංචාරකයන් සම්බන්ධ වේ.

Community based tourism සංකල්පය හරහා සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ සෘජුවම යම්කිසි ප්‍රදේශයක වෙසෙන ජන සමූහයකට ලබාගැනීමට හැකි මාර්ගයක් සකස් විය. අන්තර්ජාලය බහුල වීමත් සමඟ අතරමැදියන්ගෙන් තොරව ලංකාවේ ඈත ගමක වෙසෙන සංචාරක සේවා සපයන්නෙකුට යුරෝපයේ සිට ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින හෝ ලංකාවට පැමිණ සිටින සංචාරකයෙකු සෘජුවම සම්බන්ධ කරගැනීමට හැකියාවක් ලැබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් Homestay, Traditional cooking classes, Trekking ආදී සේවාවන් සංවිධානය කිරීමට බොහෝදෙනෙකුට හැකිවිය. Homestay සංකල්පය ප්‍රචලිත වීමට පෙර යම් ප්‍රදේශයකට පැමිණෙන සංචාරකයන් නවාතැන් ගත්තේ ප්‍රසිද්ධ සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණයේ හෝටල් වල හෝ හෝටලයක් ඉදිකර, නඩත්තු කරගෙන යාමට තරම් ප්‍රාග්ධනයක් හිමි පුද්ගලයන්ගේ හෝටල් කාමර වලය. Homestay සංකල්පයත් සමඟ හෝටලයක් ඉදිකිරීමට තරම් හැකියාවක් නොමැති අයෙකුට වුවත්, තම නිවස හෝ නිවසට පිටතින් ප්‍රමාණවත් පහසුකම් සහිතව කාමර කිහිපයක් ඉදිකර සංචාරකයන් සඳහා ලබාදීමට හැකිවිය. පාස්කු ප්‍රහාරයට පෙර සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කල අවධියේ ප්‍රධාන නගරවල මෙන්ම දුරබැහැර සංචාරක ආකර්ෂණ පවතින ප්‍රදේශ වලද Homestay විශාල වශයෙන් බිහිවිය. මේ නිසා එම ප්‍රදේශ වල ප්‍රචලිතව තිබූ වී ගොවිතැන හෝ වෙනත් සාම්ප්‍රදායික බෝග වගාවන් ඇතුළු විශාල ශ්‍රමයක් වැය කලයුතු ආදායම් මාර්ග වලට අමතරව පහසුවෙන් අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකි විය. සාම්ප්‍රදායික ඉවුම් පිහුම් පංති හා පැරණි ගමක අත්දෑකීම් ලබාදෙන, ගම වටා රැගෙන ගොස් විවිධ වැදගත් ස්ථාන පෙන්වා, ගඟකින් ස්නානය කර, ගමේ ආරට සැකසූ ආහාර වේලක් ලබාදීම වැනි ක්‍රියාකාරකම් වලද වැඩිවීමක් දක්නට ලැබුණි.

ප්‍රධාන වශයෙන් ඉහත විස්තරයෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ පෙර සංචාරක ආකර්ෂණ සහිත ප්‍රදේශ වල ක්‍රියාත්මක වූ සංචාරක සමාගම් හා හෝටල් වලට පමණක් ගලාගිය සංචාරක කර්මාන්තයේ ආදායමින් කොටසක් එම අතරමැදියන් නොමැතිව සෘජුව එම ප්‍රදේශවල ජනතාවට ලැබීමට පටත්ගත් බවයි. මෙයින් එම ප්‍රදේශවල ජනයාගේ ආර්ථිකය ද ශක්තිමත් වී ඇත. මේ පිළිබඳ තවදුරටත් විස්තර කිරීමට අවශ්‍ය නොවන්නේ මේ සම්බන්ධ තොරතුරු පහසුවෙන් ලබාගත හැකි බැවින්ය. මා අවධානය යොමු කරන්නේ තාක්ෂණය ආධාරයෙන් අතරමැදියන් නොමැතිව සෘජුව සංචාරකයන් සම්බන්ධ කරගැනීමට හැකිවීමත් සමඟ එම සමාජවල ආර්ථිකයට අමතරව සාමාජීයව සිදුවී ඇති වෙනස්කම් කිහිපයක් පිළිබඳවය.

01. කඳුකරයේ ඇති එක් ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට සංචාරකයන් විශාල වශයෙන් පැමිණීම නිසා Homestay විශාල වශයෙන් බිහිවී ඇත. සංචාරකයන්ට සේවා සැපයීමට අමතරව සංචාරකයන් රැගෙන එන රියදුරන්ට හා මඟ පෙන්වන්නන්ට නවාතැන් හා ආහාරපාන සැපයීම ද එම ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් මාර්ග බවට පත්වී ඇත. නවාතැනේ ප්‍රමාණය, පහසුකම්, ආකර්ෂණීය බව, පිරිසිදුකම, මිත්‍රශීලිත්වය ආදී කරුණු මත සංචාරකයන්ගේ පැමිණීම රඳාපවතින නිසා, මේ එක් එක් නවාතැන් හිමිකරුවන් අතර තරඟකාරීත්වයක් මෙන්ම ආදායම් විෂමතාවයක් ද පවතී. මේ තරඟකාරීත්වය නිසා යාබද නිවෙස් අතර පැවතිය යුතු සමඟිය හා සුහදත්වය ඉවත්ව ගොස් එකිනෙකා නුරුස්සන, සුළු දේකටත් රණ්ඩු සරුවල් වන ආතතිකාරී පරිසරයක් නිර්මාණය වී තිබේ. අසල්වැසියන් අතර පවතින එම ආතතිය ඇතැම්විට එහි නවාතැන් ගෙන සිටින අයට පවා දැනෙන අවස්ථා ඇත. සාමාන්‍යයෙන් අනෙකාගේ සාර්ථකත්වය මත ඇතිවන පසමිතුරුතාවයන්, ඊර්ෂ්‍යා කිරීම් ඕනෑම තැනක දැකගත හැකි වුවත්, මෙම ප්‍රදේශයේ එය සාමාන්‍ය තත්වයට වැඩියෙන් ඇතිබව නිරීක්ෂණය වේ.

02. සුප්‍රසිද්ධ ලෝක උරුමයක් පිහිටා ඇති ප්‍රදේශයක ඇති කෘෂිකාර්මික, ගැමි පරිසරය නිසා එම ප්‍රදේශයේ ජනතාවට සංචාරකයන් සඳහා සාම්ප්‍රදායික ගැමි ජීවිතය පිළිබඳ අත්දැකීම් ලබාදීමට හැකියාවක් ලැබී ඇත. ප්‍රධාන සංචාරක ප්‍රදේශයෙන් මදක් බැහැරව වැව්, කුඹුරු, හා හේන් ගොවිතැන කරන ප්‍රදේශයක ඇති නිවසක එක් පුද්ගලයෙක් තම බිරිඳ සමඟ සංචාරකයන් සඳහා සාම්ප්‍රදායික ඉවුම් පිහුම් පංතියක් පවත්වාගෙන යයි. වගාබිම් හා ඉඩ පහසුකම් ඇති නිසා නිවාස පිහිටා තිබෙන්නේ ද එකිනෙකට මඳක් දුරින්ය. තම ගේවත්තේ වගා කොට ඇති එළවළු, පළතුරු ආදිය සංචාරකයන් ලවා කඩා, ඔවුන්ගේ සහභාගීත්වය ඇතුවම බතක්, වෑංජන කිහිපයක්, රොටී, ඉඳි ආප්ප, ලැවරියා වැනි ආහාර දර ලිපක පිසීම සිදු කරයි. අන්තර්ජාලය ඔස්සේ ඔහු තමන්ගේ වැඩසටහනට සංචාරකයන් ආකර්ෂණය කරගනියි. මොහු කලක සිට එම වැඩසටහන සාර්ථකව කරගෙන යන නිසා ඔහුගේ වැඩසටහනට ධනාත්මක ප්‍රතිචාර ද විශාල වශයෙන් ලැබෙයි. ඔහුගේ මෙම සාර්ථකත්වය නිසා යාබඳ නිවසක පවුලක් ද එවැනිම වැඩසටහනක් ආරම්භ කර ඇත. නමුත්, ඔවුන්ට පළමු පුද්ගලයාට තරම් සංචාරකයන් නොපැමිණෙන නිසා නිවෙස් අතර ආතතියක් නිර්මාණය වී සුහදත්වය නැති වී ඇත. ඇතැම්විට මොවුන් ඥාතීන් ද විය හැකිය. පළමුව කී පුද්ගලයාගේ නිවසට යෑමට ඇත්තේ කැඩී ගිය කුඩා බොරළු පාරකින් නිසා පැමිණෙන සංචාරකයන්ට ඊට මදක් ඈතින් ඇති පාලමක් අසල වාහනය නවතා යා යුතුය. දෙවනුව කී පවුලට අයත් නිවස ඇත්තේ මේ මාර්ගය පටන් ගන්නා ස්ථානයේමය. වැඩි වශයෙන් සංචාරක ආකර්ෂණයක් ඇති පළමු නිවසට පැමිණෙන සංචාරකයන් රවටා තමන්ගේ නිවසට රැගෙන ගොස් ඉවුම් පිහුම් වැඩසටහනක් පැවැත්වීමට එම පවුල පුරුදු වී ඇත. එමෙන්ම පළමු නිවසට පැමිණෙන වාහන, එම පාලම අසලින් ගමන් ගන්නා ට්‍රැක්ටර් විසින් හප්පාගෙන යෑමට, අලින්ගෙන් අනතුරු වලට ලක්වීමට ඉඩ ඇති බව පවසා බිය ගැන්වීම ද සිදු කරයි.

03. පළාත් සභාවේ අනුග්‍රහයෙන් ආරම්භ වූ සාම්ප්‍රදායික ගැමි ජීවිතය ගැන අත්දැකීම් ලබාදෙන වැඩසටහනක් මධ්‍යම පළාතේ එක්කරා දුරස්ථ ගම්මානයක පවත්වයි. තවමත් නවීනත්වයට එතරම් ගොදුරු නොවූ ගැමි පරිසරයක් දැකගත හැකි එම ගම්මානය වටා සංචාරකයන් රැගෙන ගොස් ගමේ පැරණි ස්ථාන, හෙල්මළු කුඹුරු, දොළ පාරවල්, දියඇළි, විවිධ ගස් වර්ග හා බෝග වර්ග ආදිය පෙන්වා, අවශ්‍ය නම් නෑමට ද අවස්ථාව ලබාදෙයි. ගම වටා යන ගමන අවසානයේ ගමේ තෝරාගත් නිවසකින් සාම්ප්‍රදායික ආහාර වේලක් භුක්ති විදීමට ද හැකියාවක් ලැබෙයි. මෙම වැඩසටහන පවත්වන්නේ එක් පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් වන අතර ආහාර පිළිගැන්වීම ගමේ ඒ සඳහා ඉදිරිපත් වී ඇති පවුල් කිහිපයක් අතරේ සමව බෙදා දී ඇත. මෙම වැඩසටහනේ ආකෘතිය අනුව තරඟකාරීත්වයක් නොමැති නිසා ගැමි කාන්තාවන් ආතති⁣යකින් තොරව සමඟියෙන් වැඩකටයුතු කරන ආකාරයක් දක්නට ඇත. නමුත්, මෙම වැඩසටහනට බාහිරව, වෙනත් හැඳුනුම්කමක් මත සංචාරකයන් රැගෙන එක් පවුලක් සිටියි. වරක් ප්‍රධාන වැඩසටහනට සම්බන්ධ සංචාරක පිරිසකට එම පවුලට අයත් වත්තක ඇති ගම්මිරිස් වගාවක් පෙන්වීමට යාමේදී නිවෙස් හිමියා එයට උරණ වී ඇති අතර තම ගෙවත්ත යොදාගැනීම ගැන මඟ පෙන්වන්නාට බැන වැදී ඇත. මෙය ඉහත සිදුවීම් දෙකේදී මෙන් ගම් වැසියන් අතර දැඩි ආතතිකාරී බවක් ඇති කිරීමට තරම් දුරදිග ගිය සිදුවීමක් නොවුනත් පසමිතුරුතාවයන් ඇතිවීමේ ආරම්භ අවස්ථාවේ පවතින තත්වයකි. එම ගමේ සෑමදෙනාටම පෞද්ගලිකව සංචාරකයන් ගෙන්වා වැඩසටහනක් පැවැත්වීමට තරම් හැකියාවක් ද තවම ඇතිවී නැත. යම් හෙයකින් එම ගම්මානයටත් සංචාරකයන් විශාල වශයෙන් පැමිණීමට පටන් ගතහොත් ඉහත ප්‍රදේශ වල මෙන් ආතතිකාරී තත්වයක් ඇති විමේ විභවයක් ඇත.

නාගරික නොවන සමාජවල පවතින සාමුහික පද්ධතිය තුලට බාහිරින් මුදල් ගලා ඒම නිසා එහි කාලාන්තරයක් පැවති සාමූහිකත්වයේ හැඩතල විපර්යාසයකට ලක්වේ. නාගරික ප්‍රදේශ වලට මුදල් ගලා ඒම වැඩිවන විට පෞද්ගලිකත්වය වර්ධනය වන අතර සම්බන්ධතා ගිලිහී යයි. එමනිසා අසල්වැසියන් අතර දැඩි ආතතිකාරී පරිසරයක් ඇති වීමේ ඉඩ ප්‍රස්ථා අඩුය. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ඉහත දැක්වූ ආකාරයේ නාගරික නොවන ප්‍රදේශ වලට අතිරික්ත මුදල් ගලා ඒම නිසා පෞද්ගලිකත්වය වර්ධනය වනවා වෙනුවට ඇති වන්නේ ආතතිකාරී සාමූහිකත්වයකි. 


Community based tourism සංකල්පය Community based tourism සංකල්පය Reviewed by Fox Talks on 5:52 AM Rating: 5

No comments :

Powered by Blogger.