ආචාර්ය නලින් ද සිල්වාගේ අභාවය
ආචාර්ය නලින් ද සිල්වාගේ අභාවයෙන් පසුව බොහෝ දෑ ලියවී ඇති පසුබිමක, ඔහු නිසා මාගේ සිතීමේ පිළිවෙල වෙනස් වූ ආකාරය පිළිබඳ යම් සටහනක් අවසාන වශයෙන් ලියා තබමි. ඒ මෙවැනි අදහසක් දැක්වීමට මීට වඩා සුදුසු අවස්ථාවක් නැවත ලැබේ යැයි නොසිතන නිසා හා මේ ශෝකජනක මොහොතේ මුහුණුපොතේ ලියවෙන දෙයක් වසරක් පාසා මතක ආවර්ජන වශයෙන් දැක ගැනීමට ලැබෙන නිසාය.
සාම්ප්‍රදායික අර්ථයෙන් ගුරුවරයෙක් යනු විධිමත් ආකාරයෙන් ශිෂ්‍යයෙකුට දැනුම, කුසලතා, ගුණ ධර්ම ආදිය කියාදෙන යම් ආයතනගත සන්දර්භයක දී මුණ ගැසෙන පුද්ගලයෙකි. ආචාර්ය නලින් ද සිල්වා ඒ සාම්ප්‍රදායික අර්ථයෙන් වෙනස්ව මට හමුවූ ගුරුවරයෙකි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී අප ඔහුව හැඳින්වූයේ නලින් සර් හෝ කෙටියෙන් සර් යන ගරු ආමන්ත්‍රණයෙන්ය. අප පරම්පරාවේ බොහෝදෙනෙක් නලින් සර් සමඟ ගුරු - ශිෂ්‍ය සම්බන්ධය ආරම්භ කර තිබුණේ විදුසර පුවත්පතට ලියූ ලිපි ලේඛන කියවීම සමඟින්ය. එයින් ඇතිවූ ශාස්ත්‍රීය ප්‍රබෝධය " මගේ ලෝකය " ඇතුළු ඔහුගේ අනෙකුත් කෘති පරිශීලනය තුලින් හා දේශන වලට සවන්දෙමින් ඉදිරියට පවත්වා ගැනීමට හැකිවිය. මා ඔහුගේ අදහස් වලට නිරාවරණය වූයේ එවැනි ආකාරයකට නොවේ. ඒ මා සිටියේ නලින් සර් වැනි අයෙකුගේ අදහස් හමුවන ඇකඩමික සීමාවක නොවේ යැයි කිවහොත් නිවැරදිය. මාගේ පරම්පරාවේ අනෙක් අය මෙන්ම පාසල් කාලයේ සිටම ඔහුගේ අදහස් වලට නිරාවරණය නොවීම පිළිබඳ මාහට යම් කනස්සල්ලක් ද තිබිණි.
නලින් ද සිල්වා නම් පුද්ගලයෙකුගේ පැවැත්ම ගැන දැනුවත්ව සිටියත් 2010/2011 වනතුරුත් ඔහුගේ අදහස් කුමනාකාරද කියා අදහසක් මාහට නොවීය. මීට ටික දිනකට පෙර මියගිය චතුර වැල්ලගේ හිතවතා ගැන තැබූ මතක සටහනේ මා සඳහන් කරේ 2010/2011 කාලයේදී මතවාදීව අප වෙනස් මාවත් දෙකක් තෝරාගත් බවයි. එම වෙනස් මාවත සහ නලින් සර්ගේ අදහස් වලට නිරාවරණය වීම එකම ක්‍රියාවලියකි. ඔහුගේ අදහස් වලට ආකර්ෂණය වීමට නලින් සුබසිංහ, දර්ශන කස්තුරිරත්න හා තවත් අය ජාතික චින්තනය පිළිබඳ මුහුණුපොතේ දැක්වූ අදහස් කියවීමට ලැබීම ද හේතු විය. මෙම ආකර්ෂණයට ඔහුගේ මතවාදය පිළිගත් පිරිස සේම ඔහුගේ ප්‍රතිවාදීන් ද වක්‍ර බලපෑමක් ඇති කල බව සඳහන් කලයුතුය. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මත දරන දෙපිරිසක් සිටීම සංවාදයක් ඇති වීමට හා එම අදහස් බාහිරට නිරාවරණය වීමට හේතු වේ. මා දැක ඇති ආකාරයට ඒ කාලයේ මුහුණුපොතේ නලින් සර්ගේ මතවාද සක්‍රීයව විවේචනය කලේ රිටිගල ජයසේන හා සෙකියුලර් ශ්‍රී ලංකා සමූහයේ පිරිස්ය. මුහුණුපොතේ මෙම සංවාද නිතර ඇස ගැටුනත් ප්‍රමාණවත් දැනුමක් නොතිබූ නිසා වසරක් දෙකක්වත් අදහස් නොදක්වා සංවාද කියවීම පමණක් සිදුකලේය. නලින් සර්ගේ අදහස් යම් විධිමත් ආකාරයකට විවේචනය කර තිබෙනවා පළමු වරට දුටුවේ දීප්ති කුමාර ගුණරත්නගේ පෙරටුගාමී පක්ෂයේ ප්‍රකාශනයක් වූ විනෝදය නම් කෘතියේය.
පසුව නලින් සර් 2002 - 2012 අතර කාලයේ විදුසර හා දිවයින පුවත්පත් වලට ලියූ ලිපි එකතුවක් හමුවූ අතර ඒවා කියවමින් ඔහුගේ අදහස් ලෝකයට ටිකෙන් ටික ඇතුළු වීමට හැකිවිය. මගේ ලෝකය කියවීමට ලැබුණේ 2015 දී පමණ විය යුතුය. ඔහුගේ ලිපි කියවමින් ටිකෙන් ටික වෙනස් වෙමින් පැමිණි මාගේ සිතීමේ පිළිවෙල මගේ ලෝකය නිසා යම්කිසි ස්ථිරසාර ආකෘතියකට අයත් දෙයක් බවට පත්විය. උදාහරණයකට, මා ඉදිරියේ තිබෙන පෑනක් හෝ ගසක් හෝ ඕනෑම වස්තුවක් දෙස දැන් මා බලන්නේ මගේ ලෝකයට පෙර බැලූ ආකාරයෙන් නොවේ. එය නැවත පෙර තත්වයට යාමට නොහැකි වන ආකාරයෙන් වූ පරිවර්තනයකි. සාමාන්‍ය ජීවිතයේ දී මා යම් වස්තුවක් දෙස බැලීමේදී සෑම විටම මෙය වාස්ථවිකව පවතිනවා ද නැති ද ආදි වශයෙන් සිතා බැලීමක් නොමැති වුවත්, අවශ්‍ය වනවිට වාස්ථවිකත්වය පිළිබඳ මගේ ලෝකයේ අදහස මනසට නැඟේ. මා ළඟම සිටින අනෙක් පුද්ගලයා ලෝකය දකින්නේ හෝ ලෝකය පිළිබඳ සවිඥානික වන්නේ මට වඩා හාත්පසින්ම වෙනස් අයුරකින් විය හැකියැයි සිතීම අපුරු දෙයකි. අප ඉදිරිපිට ඇති කුළුණක් මටත් ඔහුටත් පෙනෙන්නේ එකම ආකාරයට ද? ඔහුට පෙනෙන නිල් පැහැය මට පෙනෙන නිල් පැහැයම ද? එහි උස පිළිබඳ දෘශ්‍ය දැනීම අප දෙදෙනාගේම සමාන ද? මට ඇත්තේ ඔහුටත් එම කුළුණ පෙනෙන්නේ මගේ ආකාරයටම යැයි අනුමානයක් පමණි. හැඟීම් සම්බන්ධයෙන් ද එය සත්‍යකි. ඒ අනුමානය හැර මට ඔහුගේ ලෝකය ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් නැත. මට ඔබව තේරෙනවා, මා ඔබව තේරුම් ගත්තා යැයි පැවසීම කොතරම් අසම්පූර්ණ ප්‍රකාශ ද? මෙවැනි ආකාරයේ සිතීම් මගේ ලෝකය නිසා මගේ ලෝකයට ඇතුල් වූ දේවල්ය. මනස මනසේම නිර්මාණයක් වන්නේ කෙසේදැයි සිතීම තවමත් මගේ සිතුවිලි පඹ ගාලක පැටලීමට සමත් අදහසකි. සීමිත විද්‍යා දැනුම හා ඉක්මනින් කියවීමට හා කරුණු තේරුම් ගැනීමට අපොහොසත් මාහට මගේ ලෝකය සමඟ සැලකිය යුතු කාලයක් පොර බැඳීමට සිදුවිය. නමුත්, තවමත් එහි බොහෝ අසම්පූර්ණතා ඇති බව දනිමි.
මේ කාලයේදී ම බුදු දහමේ ගැඹුරු ඉගැන්වීම් කෙරෙහි ද මාගේ උනන්දුවක් ඇති විය. ඒ අනුව පූජ්‍ය කටුකුරුන්දේ ඤානානන්ද සහ පූජ්‍ය දන්කන්දේ ධම්මරතන වැනි හිමිවරුන්ගේ දේශනා ඇසීමට සහ කියවීමට යොමුවිය. වාස්ථවික යථාර්ථයක් නොමැතිවීම, මනස මනසේම නිර්මාණයක් වැනි නලින් ද සිල්වාගේ ප්‍රධාන අදහස් සම්බන්ධව අවබෝධයක් ලබාගැනීමට ඒ හිමිවරුන්ගේ දේශනා උපකාරී විය. මා සිතන්නේ මා ඔහුගේ දාර්ශනික අදහස් වලට ඇති ආකර්ෂණය වැඩි වූයේ සහ ඒවා මා පිළිගන්නා අදහස් බවට පත්වූයේ බුදු දහම සමඟ යම් ආකාරයකින් සමපාත කරගැනීමට හැකිවූ නිසා විය යුතුය. එසේ නොවන්නට හුදු කුතුහලය නිසා දාර්ශනික මතවාද ගැන සොයා බලන සීමාවෙන් නවතා දැමීමට ද ඉඩ තිබුණි. කෙසේ නමුත්, එම අදහස් බටහිර දාර්ශනික හෝ විද්‍යාත්මක අච්චු වලට දමා නිවැරදි දැයි දැනගැනීමේ අවශ්‍යතාවයක් මාහට නොවීය.
නලින් සර්ගේ ජාතිකත්වය පිළිබඳ අදහස් වලට නිරාවරණය වීමට පෙර කිසිදු ස්ථිර දේශපාලන මතවාදයක් මාහට නොවීය. නමුත්, ජාතිකත්වය කෙරෙහි යම් අවිඥානික ආකර්ෂණයක් උසස් පෙළින් පසු අවධියේ සිට හෝ තිබුණු බව දැන් හැඟෙයි. එම අවධියේ මුලින් ජාතික හෙළ උරුමයට ආකර්ෂණය වී සිටි අතර ඉතා ඉක්මනින්ම ඒ ආකර්ෂණය ජනතා විමුක්ති පෙරමුණට යොමුවිය. නමුත්, මේවා කිසිදු බැරෑරුම් හේතුවක් මත සිදුකල තෝරාගැනීම් නොව පවතින රැළි වලට අසු වී ගසාගෙන යාම් පමණක් විය. යම්කිසි මතවාදයක් පදනම් ව, සීමිත අභිලාෂ කිහිපයක් වෙනුවෙන් දේශපාලන පක්ෂයකට සහය දැක්වීම ගැන මා ඉගෙන ගත්තේ නලින් සර්ගේ දේශපාලන භාවිතාව හරහාය. නමුත්, එසේ සීමිත දේශපාලන අභිලාෂ මත පක්ෂයකට සහය දැක්වීම නිසා ගෙවිය යුතු වන්දියක් ද ඇත. එවකට පැවති දේශපාලන වටපිටාව අනුව මාහට රාජපක්ෂ කඳවුරේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට සිදුවිය. මේ නිසා පොදුවේ රාජපක්ෂවාදීයෙකු මුහුණ දෙන කර්කශ විවේචන වලට මුහුණ දීමට සිදුවිය. එය නොවැළැක්විය හැකි දෙයකි. මා මෙයින් කීමට උත්සහ කලේ නලින් සර්ගේ ආභාෂය නොවන්නට බොහෝවිට මා හරි දෙයට හරියි කියන, වැරදි දෙයට වැරදියි කියන, පක්ෂ පාට නැති, උගත්, බුද්ධිමතෙක් වීමට ඉඩ තිබුණු බවයි.
2010/2011 කාලයේ සිට මතවාදීව නලින් සර් හා සමීපව සිටියත් ඔහුව ඇසුරු කිරීමට ලැබුණේ 2016 සිට පමණය. ඒ මුහුණුපොත හරහා හඳුනාගෙන සිටි ජාතික චින්තක කණ්ඩායම සමඟ මුහුණුපොතෙන් බැහැරව ගණුදෙනු කිරීමට පටන් ගැනීමෙන් පසුවය. සාමූහික ක්‍රියාකාරකමක් ලෙස මා මුලින්ම සම්බන්ධ වූයේ මගේ ලෝකය කෘතියට තිස් වසරක් පිරීම නිම්ත්තෙන් කොළඹ නව නගර ශාලාවේ පැවති උත්සවයේ සංවිධාන කටයුතු වලටය. ඊට පසු 2016 - 2019 කාලයේ රැස්වීම් කිහිපයක සංවිධාන කටයුතු වලදී ද ඔහුගේ නිවසට ගොස් හමුවී කතාබහ ද කර ඇත. මෙහිදී ඔහු සමඟ සමීපව ඇසුරු කිරීමට ලැබුණු අවස්ථාවක් මාගේ මතකයේ රැඳේ. වරක් ශිරන්ත චාමරගේ සම්බන්ධයකට අනුව ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ දුර බැහැර විහාරස්ථානයක නලින් සර්ගේ මූලිකත්වයෙන් රැස්වීමක් සංවිධානය කෙරිණි. මහනුවර සිටි නිසා සංවිධාන කටයුතු වල වැඩි බරක් මාහට පැවරිණි. රැස්වීමට පෙර වරක් මහියංගණයට ගොස් සංවිධායකයන් හමුවී පැමිණි අතර, සියල්ල සැලසුම් කරගත් අයුරින් කිරීමට රැස්වීම දිනයේ වේලාසනින්ම ගිරාඳුරුකෝට්ටේ බලා පිටත්විය. විහාරස්ථානයට පැමිණි පසු දැනගන්නට ලැබුණේ සංවිධායකයන්ගේ අතපසු වීමක් නිසා රැස්වීමේ ප්‍රචාරක කටයුතු කිරීමට නොහැකිවී ඇති බවය. එම නිසා වැඩි පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කල නොහැකිබව දැන්වීය. නලින් සර්ගේ ප්‍රතිචාරය ගැන දෙගිඩියාවෙන් පසුවුවත්, සවස් වන විට සර්, මැඩම්, හේරත් අයියා, සහ ශිරන්ත කොළඹ සිට පැමිණි අතර සිදුවී ඇති දෙය පැහැදිලි කිරීමෙන් පසුව පැමිණෙන කිහිප දෙනාට දේශනයක් පැවැත්වීමට සර් එකඟ විය. පැමිණ සිටියේ ගම් වැසියන් කිහිප දෙනෙක් බැවින් ඔවුන්ටත් ගැලපෙන ආකාරයෙන් කෙටි සංවාදයක් පැවැත්වීය. මා දැනගන්නා විටත් ශාස්ත්‍රීය ලෝකයේ දැවැන්ත පෞරුෂයක් බවට පත්වී සිටි නලින් සර්, ඔහුගේ ශාස්ත්‍රීය අදහස් වලින් බොහෝසේ දුරස්ථ කිහිප දෙනෙකුට හැකි ආකාරයෙන් යමක් පහදා දීමට උත්සහ කරනවා මා යම් විමතියකින් යුතුව බලාගෙන සිටියෙමි. එදින රාත්‍රීයේ මහියංගණය හෝටලයක අප සියලු දෙනාම නවාතැන් ගත් අතර නලින් සර් සමඟ රාත්‍රී ආහාරය ගනිමින් විවේකීව කතාබහ කිරීමට හැකිවිය. නමුත්, සර් සමඟ සම්බන්ධය යම් පරතරයක් සහිතව පැවතුනු දෙයක් විය. ඒ සර්ට පැවති ගෞරවය, මාගේ අදහස් නිසා කේන්ති යා දැයි තිබු බිය, ඇතැම් මාතෘකා ගැන කතා කිරීමට ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම ආදී හේතුන් නිසාය.
නලින් සර්ට හිතවාදීන් මෙන්ම ප්‍රතිවාදීන් ද බොහෝ ගණනක් සිටින බව ඔහුගේ මරණයෙන් පසුවත් දක්නට ලැබෙයි. බොහෝදෙනෙක් විසංවාදයක් ලෙස දකින්නේ, දේශීය දැනුම, ජාතිකත්වය, බටහිර විද්‍යාව පට්ටපල් බොරු වැනි අදහස් දරමින්, තාක්ෂණය භාවිතා කිරීම, බයිපාස් සැත්කම් කිරීම, එක්සත් ජනපදයේ ජීවත් වීම ආදි ලෙස එයින් වෙනස් ජීවිතයක් ගත කිරීමය. මේ විවේචන වලට ඔහු ජීවත්ව සිටින තාක්කල් මුහුණ දීමට සිදුවූ අතර මරණයෙන් පසුවත් යම් කාලයක් යනතුරු පවතිනු ඇත. මෙම විවේචකයන් සිතන්නේ නලින් ද සිල්වාට මෙම විසංවාදය නොපෙනෙන බවත්, කුණු හරුප දෙකක් කියා ඔහුට එය තේරුම් කර දියයුතු බවත්ය. ඔහු ඇතැම් අදහස් පල කරන්නේ යම් දාර්ශනික අස්ථානයක සිටය, එවිට දර්ශනික හා දාර්ශනික නොවන තලවලදී යම් පරතරයක් පිහිටීමට හැකිය. දාර්ශනික තලයේදී යම් ප්‍රතිවාදියෙක් හා ගැටීමේදී ප්‍රතිවාදියා එම සන්දර්භය අවබෝධ කරගෙන ප්‍රති-තර්ක ගොඩ නඟන අතර එම දාර්ශනික අදහසම සන්දර්භයට පිටින් සාමාන්‍ය ව්‍යවහාරයට පැමිණෙන විට විශාල විසංවාදයක් ලෙස පෙනීමට පටන් ගනියි. මේවා සෑම දෙනෙකුට තේරුම් කරදීමට හැකියාවක් ඇතැයි ද සිතිය නොහැක. එමනිසා එකම ආකාරයේ විවේචන සෑම කල්හිම පවතී. අලුතින් බිහිවෙන ප්‍රතිවාදීන් ද දශක ගණනක් පැරණි විවේචන අලුත් දෙයක් සේ සලකා නැවත නැවත ඉදිරිපත් කරති. එක්තරා ආකාරයකින් මෙම විවේචන ඔහුගේ මතවාදයට යම් ජනප්‍රියත්වයක් ද ලබාදුන්නේය.
නලින් සර්ගේ න්‍යෂ්ටියේ අදහස් මා පිළිගත්ත ද ඔහුගේ සෑම අදහසක්ම පිළිගත්තා යැයි කීමට නොපුළුවන. නමුත්, ඒවා සමඟ දැඩිව ගැටීමට අවශ්‍යතාවයක් නොවූ අතර ලිපි කියවීමේද හමුවෙන එවැනි අදහස් මා නොපිළිගන්නා දෑ ලෙස සළකුණු කොට අමතක කරන ලදී. විශේෂයෙන්ම බුදු දහම සහ ඉතිහාසය සම්බන්ධ කරුණු දැක්විය හැකිය. ඒ විෂයන් දෙක සම්බන්ධව වෙනස් කියවීම් තුලින් නලින් සර් යම් රැඩිකල් බවක් පෙන්නුම් කලේ නම් මා සැලකිය හැක්කේ සාම්ප්‍රදායවාදියෙක් ලෙසය. බුදු දහම සම්බන්ධයෙන් මා නලින් සර්ට වඩා ඉහළින් ගුරු තනතුරේ තබාගත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සිටි අතර ඉතිහාසය සම්බන්ධයෙන් මහාවංශයෙන් ඔබ්බට ගිය වෙනස් කියවීමක් අවශ්‍ය නැතැයි යන උදාසීන හැඟීමෙන් පසුවිය. නලින් සර්ගේ අදහස් වලට එකඟ නොවීම් පිළිබඳ මීට වඩා පැවසීමට අවශ්‍ය නොවන්නේ ඒවා විස්තරාත්මකව මතකයට නොනැඟෙන නිසා හා තවදුරටත් ඒවායේ වැදගත් කමක් නොමැති නිසාය.
නලින් සර් දැන් අපව හැර ගොසින්ය. නමුත් ඔහුගේ අදහස් වලට මුලින්ම නිරාවරණය වන අයෙකුට ඔහු ජීවත්ව සිටිනවා මෙන් ඔහුගේ අදහස් සමඟ පොර බැඳීමට සිදුවනු ඇත. එම පොරබැදීම නලින් ද සිල්වා නම් චින්තකයාගේ හිතවාදියෙක් හෝ ප්‍රතිවාදියෙක් හෝ බවට පත්වී අවසන් වනු ඇත. එය කුමක් වුවත් එම චින්තකයා විසින් අදහස් ලෝකයේ සිදුකල විපර්යාසය ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම රැඳෙනු ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් ව දැනුම සංස්කරණය කලයුතු යැයි නලින් සර්ගේ යෝජනාව මාගේ බුද්ධිමය ධාරිතාවෙන් එහා පවතින්නකි. එමනිසා ඔහු සංස්කරණය කල දැනුම තුලින් ජීවිතයට අර්ථයක් සපයා ගැනීමට වෙහෙසෙමි.
No comments :