නිරාගමිකයන්ට ආගමක්

 


ලංකාවේ සිටින නිරාගමිකයන් යැයි තමන්ව හඳුන්වා ගන්නා පිරිසෙන් කොටසක් විටෙක ත්‍රිපිටක ධර්මය ප්‍රධාන ස්ථවිරවාදී ඉගැන්වීම් හාස්‍යයට ලක් කිරීමට හා ප්‍රතික්ෂේප කිරීමට බටහිර විද්‍යාත්මක දැනුම හෝ දාර්ශනික ඉගැන්වීම් යොදාගන්නා අතර තවත් විටෙක තමාට ගැටළුව ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු ජනප්‍රිය බුද්ධාගම සමඟ බව පෙන්වා සැබෑ බුදු දහම පිළිපැදීමක් ගැන උපදේශනය කරයි. මේ දෝලනයන් පෙන්නුම් කරන්නේ නිරාගමික යැයි හඳුන්වා ගත්තත් ඔවුන්ට ආගම සම්පූර්ණයෙන්ම අතහැරීමට ද නොහැකි වී ඇති බවය. මෙයින් අදහස් කරන්නේ නිරාගමික වූ නිසාම ශාසන විරෝධී චර්යාවෙන් යුතු භික්ෂූන්ගේ සිදුවීම් අභිරුචියෙන් තළු මැරීම හෝ ගෝලීය උෂ්ණත්වය වෙනුවෙන් චෛත්‍ය කර්මාන්තයට එරෙහි වීම අතහැර දැමිය යුතු යැයි කියා නොව ත්‍රිපිටකය ශුද්ධ කිරීමට ඇති අවශ්‍යතාවය ගැනය. මේ දිනවල කැකිරාවේ සුදස්සන හිමියන් පන්සිල් බුද්ධ භාෂිතයක් ද, බුද්ධ භාෂිත හා නොවන සූත්‍ර වෙන් කිරීම ආදි ලෙස සිදුකරමින් පවතින දෙය කුමන අරමුණකින් සිදුකරත් එය බෞද්ධාගමිකයන්ගේ අභ්‍යන්තර දෙයකි.


මේ කැළඹිලිසහගත තත්වය යටතේ උන්වහන්සේගේ දායක සභාව බවට අභිනවයෙන් පත්වී සිටින, නිරාගමිකයන් වශයෙන් පෙනී සිටි පිරිස් දකින විට පැහැදිලි වන තව දෙයක් නම්, ආගම් ප්‍රතික්ෂේප කරන බව පැවසුවත් ඔවුන්ගේ ලෞකික, උච්ඡේදවාදී දෘෂ්ටීන් සන්තර්පණයට සුදුසු ආගමක හෝ ඒවාට අනුමැතිය ලැබෙන ඉහළ අදෘශ්‍යමාන බලාධිකාරියක අවශ්‍යතාවයක් ද තිබී ඇති බවය. උදාහරණයකින් පැහැදිලි කලහොත්, සාමාන්‍ය බෞද්ධයෙකු විස්කි පානය කිරීමෙන් තමන් පන්සිල් පදයක් කඩන බව පිළිගන්නා අතර එය තමන් කවදා හෝ සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන නිවන දුරස්ථ කරන බව ද දනියි. සුදස්සන හිමියන්ගේ නව දායක සභාවේ පිරිස් වලට අවශ්‍ය වන්නේ විස්කි පානය කරන ගමන් එය බුදු දහමට පටහැනි නොවන දෙයක් ලෙස ද ඒත්තු ගන්වා ගැනීමටය. එහි ආධ්‍යාත්මික ඉලක්ක නොතිබුණත් යම් ආකාරයක අනුමැතියක අවශ්‍යතාවයක් ඇති බව පෙනේ. මේ ආකාරයේ අදහස් හරහා මීට පෙර නිරාගමිකයන්ට සිරා පොරක් බවට පත්වී සිටියේ සමන්තබද්‍ර හිමියන් ය. එම ආකර්ෂණය තුල තිබුණේ ද ආගමික අවශ්‍යතාවයකි. ඕනෑම ආකාරයක ලිංගික හැසිරීමක් වෙනුවෙන් පෙනී සිටින චින්තන ධර්මදාස වැනි පුද්ගලයෙකුට අවශ්‍ය තම කාමසුඛල්ලිකානු යෝගයට අනුමැතිය ලැබෙන බෞද්ධ සම්ප්‍රදායකි. සුදස්සන හිමියන්ගේ දේශනා එක් පසකින් මේ පිරිස්වල අධිපතිවාදී සම්ප්‍රදායට එරෙහි බෞද්ධ විරෝධී හැඟීම් කළඹවන විට අනෙක් පසින් අවිඥානිකව තිබූ ආගමක අවශ්‍යතාවයක් ගැන ද සවිඥානික වීමට මග පෙන්වයි. මේ දිනවල ඔවුන් සුදස්සන හිමියන් යටතේ නිර්මාණය කරගැනීමට උත්සහ දරන්නේ එම ආගමයි.  

නිරාගමිකයන්ට ආගමක් නිරාගමිකයන්ට ආගමක් Reviewed by Fox Talks on 7:28 AM Rating: 5

No comments :

Powered by Blogger.