ලාංකික ස්ත්‍රියගේ අර්බුදය

 




" ජොයින්ට් එකක් ගහල ෆුඩ්සිටි ගිහින් ඉද්දි, ඒකෙ මං ආසම චොකලට් මූස් එක තිබ්බෙ නැති උනාම මම ආපහු ගෙදර එන විදිහ."

අප මෙම වාක්‍ය ඛණ්ඩය කොටස් කිහිපයකින් විසංයෝජනය කරගැනීමට උත්සහ කරමු. එහි මුල් කොටස නූතන ස්ත්‍රීවාදයේ එක් ලක්ෂණයක් මැනවින් ප්‍රකට කරන බව පෙනෙයි. වඩාත් පැහැදිලිව කිවහැක්කේ ස්ත්‍රී / පුරුෂ සමානාත්මතාවයට (gender equality) අදාළ ලක්ෂණ එයින් පිළිඹිබු වන බවය. පසුගාමී, ගතානුගතික ලාංකික සමාජයේ කංසා පානය පිළිබඳ පිරිමියෙකුගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් පවා යම්කිසි රැඩිකල් අස්ථානයක් සළකුණු කරයි. කාන්තාවක් ලෙස කංසා පානය සම්බන්ධ ඇයගේ ප්‍රසිද්ධ ප්‍රකාශය උග්‍ර රැඩිකල් වුවත් එය ස්ත්‍රී / පුරුෂ සමානාත්මතාවය පෙන්වන ස්ත්‍රීවාදී නිදර්ශකයකි.

නමුත්, වාක්‍ය ඛණ්ඩයේ දෙවැනි අර්ධයට යනවිට අපට හමුවන්නේ සාම්ප්‍රදායික, බොළඳ ස්ත්‍රී ආශාවක ලක්ෂණය. මුලින් ඇය තම පරිභෝජනවාදී පුරුදු තුලින් අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට පරිශ්‍රමයක් දරයි. ෆුඩ්සිටි ගොස් චොක්ලට් මූස් කෑම, පොල් රොටි හා ප්ලෙන්ටී සමඟ ජීවිතය විඳීම මෙන් නොව ඊට ඉහළ සමාජ ස්ථරයකට ඇයව රැගෙන යයි. මෙවැනි චර්යාවන් ඉන්ස්ටාග්‍රැම් අවකාශයේ සිටින " අයි ලයික් එනිතින් විත් චොකලට්" වර්ගයේ පෝස්ට් දමන නාසිස්ටික් ස්ත්‍රීන්ගේ බහුලව දක්නට ලැබේ. දෙවනුව, පින්තූරය සමඟ සම්බන්ධිත කොටසේ දක්නට ලැබෙන්නේ ලාබාල සුදාම්මියෙක් සිහිපත් කරවන කඳුළු මිශ්‍රිත ගතානුගතික නෝක්කාඩුවකි.

මේ සියල්ල සම්පිණ්ඩනය කලවිට ලාංකික ස්ත්‍රියගේ යම් අර්බුදයක් අපට හඳුනාගැනීමට හැකිය. එක් පසකින් ඇය නූතන රැඩිකල් ස්ත්‍රියකගේ ගති ලක්ෂණ විදහා දක්වන විට අනෙක් පසින් ඇය වෙලාගෙන සිටින්නේ ගතානුගතිකත්වයයි. ඒ අතරමැද තිබෙන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පරිභෝජනවාදී ස්ත්‍රියකගේ භූමිකාවයි. මෙම සංකීර්ණ මනෝභාවයන් නිසා ඇයට තම ආශාව කුමක් ද කියා නිශ්චය කරගැනීමට නොහැකිව වික්ෂිප්තභාවයට පත්වෙයි. මෙම තත්වය නිසා සිදුවන තවත් දෙයක් නම්, ඇයගේ දායක සභාවේ සිටින පිරිමින් ඇයගේ ආශාව ගැන විපරීත අනුමාන ගොඩ නඟා ගෙන ඉන්⁣බොක්ස් අභ්‍යන්තරයේ පජාත වී ස්ක්‍රීන්ෂොට් සමඟින් හෙළිදරව් වීමයි.


ලාංකික ස්ත්‍රියගේ අර්බුදය ලාංකික ස්ත්‍රියගේ අර්බුදය Reviewed by Fox Talks on 6:01 AM Rating: 5

No comments :

Powered by Blogger.