රට දියුණු නොවීම

 




දියුණු බටහිර රටවලට සංක්‍රමණය වූ සිංහලයන් ඒ රටවලදී තමන්ට අත්විඳීමට ලැබෙන ජීවිතය විවිධ ආකාරයෙන් ගෙන හැර දක්වයි. භාණ්ඩ වල මිල ගණන්, පාසල් පද්ධතියේ විශිෂ්ඨත්වය, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, භාෂණයේ නිදහස, නිරාගමිකත්වය, ලිංගිකත්වය සඳහා වූ ලිබරල් ප්‍රවේශය, මිනිස්සුන්ගේ විනය ගරුකත්වය, ඇඳුමේ දිග පළල, ලිංගික අධ්‍යාපනය, LGBTQ+ කතිකාව, ආදී වශයෙන් බොහෝ දේ වෙයි. එම ඉදිරිපත් කිරීම් මඟින් දියුණු රටවල ශිෂ්ඨාචාරගත ජීවිතය අපට පෙන්වා දෙයි. මෙවැනි දෙයක් දෙමළ හා මුස්ලිම් සමාජයේ පවතිනවා ද කියා දන්නේ නැත. නමුත් මෙහි පැහැදිලි කරගත යුතු යමක් ඇත. මෙම තත්වයන් දියුණු රටවල ලක්ෂණ වලට වඩා එම රටවල් ආර්ථික වශයෙන් දියුණු වීමෙන් පසුව ඇති වූ තත්වයන් ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතේ.


කුඩා පිරිසක් මත්ද්‍රව්‍ය නීතිගත කිරීම, භාෂණයේ නිදහස, නිරාගමිකත්වය, ලිංගික නිදහස ආදිය දියුණු රටක ලක්ෂණ ලෙස දැක්වුවත්, බොහෝදෙනෙකු දියුණුව මනින්නේ ආර්ථික සංරචකයට අනුවය. ආර්ථික සමෘද්ධිය නොමැතිව මත්ද්‍රව්‍ය බහුලවීම, ලිංගික නිදහස, ඇඳුම් ඇදීමට සංස්කෘතික තහංචි නැතැයි කියා ලතින් ඇමරිකානු හෝ කැරිබියන් රටවල් උත්කර්ෂයට නඟන්නේ හෝ සංක්‍රමණය වීමට උත්සහ කරන්නේ නැත. එනම්, ඉහත ලිබරල් නිදහසට අදාළ කරුණු ද අවසාන වශයෙන් රදා පවතින්නේ ආර්ථික සාධකය මතය. 



අප රටවල නොදියුණු බව පෙන්වීමට ඉහත නිර්නායක ගෙන හැර දක්වන පිරිස් නිතර මතුකරන කාරණා වන්නේ දැඩි ආගමික විශ්වාස, සංස්කෘතික තහංචි, ලිංගික අසහනය, ජාතිවාදය ආදිය අප රට දියුණු නොවීමට හේතු වන බවයි. මෙවැනි අදහස් ඕනෑ තරම් සමාජ මාධ්‍යයේ පෝස්ට් හා කොමෙන්ට් ලෙස දැකගත හැකි අතර එම අදහස් වලට ඉහළ පිළිගැනීමක් ද ලැබේ. දියුණු රටවල් එම දියුණු යැයි සම්මත මට්ටමට ලඟා වෙමින් සිටිනවිට, එනම් සංවර්ධනය වෙමින් පවතින විට, ආගමික විශ්වාස, සංස්කෘතික තහංචි, මානව හිමිකම් කඩකිරීම්, ජාතිවාදය, ආගම්වාදය, ලිංගිකත්වය සඳහා වූ සීමා, ආදිය දැන් අප රටේ පවතින තත්වයටත් වඩා දරුණු ආකාරයෙන් පැවතුනු බව සොයා දැනගත හැකිය. මෙම කරුණු පමණක් සංවර්ධනයට බාධාවන් නොවන බව වර්තමානයේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක්  අත්පත් කරගනිමින් සිටින, චීනය, ඉන්දියාව වැනි රටවල් නිරීක්ෂණයෙන් ද තේරුම් ගත හැක. ජාතිවාදය, ආගම්වාදය, මානව හිමිකම් ආදී  සංසන්දනයන්ට සංවර්ධනයේ, ආර්ථික ශක්තියේ හා ලිබරල් නිදහසේ පරමාදර්ශය ලෙස පැවති එක්සත් ජනපදය දැන් යොදා ගන්නවා දක්නට ලැබෙන්නේත් කලාතුරකිනි.


රටක් ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට පත් වී, පහසුවෙන් ඉන්ද්‍රියන් පිනවීමට හැකිවීමෙන් පසු ඇතිවන සැනසිලිදායක තත්වය මත ලිබරල් නිදහසට අදාළ කරුණු ගැන අවදානය යොමු කිරීමට හැකියාවක් ලැබේ. දියුණු රටවල ලක්ෂණ යැයි මෙරට උගතුන් හූවා දක්වන කාරණා ක්‍රමක්‍රමයෙන් ගොඩනැඟීමට පටන් ගන්නේ එම සැනසිලිදායක පරිසරය යටතේය. සෞදි අරාබිය, ඩුබායි වැනි රටවල ද එවැනි වර්ධනයන් මේ කාලයේ දැකගත හැකිය.


අපට සිදුවී ඇති ඛේදවාචකය වන්නේ දියුණු යැයි සම්මත රටවල ඇති තත්වයන් දැකීමට හා අත්විඳීමට ලැබීමෙන් පසුව, එම රටවල් දීර්ඝ කාලයක් ක්‍රමානුකූලව එම තත්වයන්ට පත් වීමෙන් පසු ඇති කරගත් සමාජ, සංස්කෘතික හා ආගම් සම්බන්ධ ලිබරල් ප්‍රවේශයන් ඒ ආකාරයෙන් අප රටේ නොමැතිවීම, අප රට දියුණු නොවීමේ හේතුව ලෙස අවංකවම විශ්වාස කරන පිරිසක් බිහිවීමය. සැබෑ හේතූන් නම්, අපට එවැනි ආර්ථික දියුණුවක් ලබාගැනීමට අවශ්‍ය චින්තනය, දැක්ම, උනන්දුව, දේශපාලන නායකත්වය, ස්භාවික සම්පත්, ආදී කිසිවක් නොමැති වීමය. ඇතැම් විට ජාතියක් වශයෙන් අපට විශාල කැප කිරීමක් කර දියුණු තත්වයකට පත් වීමේ දැඩි උවමනාවක් නැති වන්නට ද හැකිය. 

රට දියුණු නොවීම රට දියුණු නොවීම Reviewed by Fox Talks on 6:54 AM Rating: 5

No comments :

Powered by Blogger.