පරිසර සංරක්ෂණය හා බෞද්ධාගමික ඉදිකිරීම්
මෙය දින කිහිපයකට පෙර දක්නට ලැබුණු අදහසකි. මෙවැනි අදහස් පල කරන්නේ දේශගුණික විපර්යාසය, ගෝලීය උණුසුම, පිරිසිදු වාතය වැනි පාරිසරික අර්බුද ගැන සංවේදී මිනිසුන්ය. ඔවුන්ගේ චෝදනාව පන්සල් සෑදීමට ගස් කැපීම නිසා පරිසරයේ උෂ්ණත්වය වැඩි වී ඇති බවයි. පන්සල් ඉදිකිරීමට ගස් කැපීම නිසා පමණක් උණුසුම වැඩි වනවා නම් එය අවුරුදු 2500 සිට මෙරටට පමණක් ආවේනික ගැටළුවක් ලෙස පැවතිය යුතු වුවත් ඔවුන්ගේ චෝදනාව සැබෑවක් ලෙස සලකමු.
පරිසර විනාශය වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ඕනෑම කෙනෙකුට ඇත. නමුත්, එම විනාශයට තමන්ගේ ඇති සම්මාදම ගැනත් යම් තක්සේරුවක් තිබිය යුතුය. නූතනත්වය සමඟ වර්ධනය වන වර්තමාන ජීවන රටාවම පරිසරයේ සිදුවන වෙනස්වීම් වලට හේතුවක් බව මඟ හැර යා නොහැකි සත්‍යකි. එසේ වුවත්, අපට අනුගමනය කිරීමට ලැබී ඇති මෙම ජීවන රටාවෙන් ඉවත් වීමට ද කිසිසේත්ම හැකියාවක් නැත. එම නිසා අපට දැකගත හැක්කේ පරිභෝජන භාණ්ඩ ආනයනය ඇන හිටින විට අසහනයට පත්වී ආණ්ඩු පෙරලීමට අරගල කරන පරිසර ප්‍රේමීන් ය. මේ මොහොතෙත් තමන්ගේ පරිභෝජනය සඳහා ලෝකයේ කොහේහෝ තැනක ගස් කපමින්, පොළව හාරා ඛනිජ ගොඩදමන බවත්, විෂ වායු පිටකරන කර්මාන්තශාලා පණ ගන්වා ඇති බවටත්, සත්ව ගොවිපළ වලින් හරිතාගාර වායූ නොනවත්වා පිටවන බවත්, ෆොසිල ඉන්ධන දහනය, නාගරීකරණය ආදී සියලු ක්‍රියාකාරකම් වල එකතුවෙන් පරිසරය වෙනස්වන බවත් මොවුන් නොසලකා හැර ඇත. ඇතැම් ඒවා තමන්ගේ දෘශ්‍ය සීමාවෙන් එහා පවතින නිසා වද නොවෙනවා වන්නට ද පුළුවන. නමුත්, මොවුන්ට පරිසරය කෙරෙහි ප්‍රේමයක් නැතැයි කියා මා කියන්නේ නැත.
බෞද්ධාගමික ඉදිකිරීම් සමඟ පැමිණෙන පරිසර ප්‍රේමය එක්වරම මතුවී නැතිවී යන යම් ව්‍යාධියක ලක්ෂණ පෙන්නුම් කරයි. එම උනන්දුව දිගු කාලයක් රදා නොපවතින්නේ එය පරිසර ප්‍රේමයටම අදාළ දෙයක් ලෙස පමණක් මතු නොවන නිසාය. කඳු ආශ්‍රිතව පන්සල් ඉදිකිරීම මෙම පරිසර ප්‍රේමීන් සම්බන්ධ නොවන, පරිසරයේ වටිනාකම පිළිබඳ විද්‍යාත්මක කිසිවක් නොදන්නා මෝඩ ආගමිකයන්ගේ පැත්තේ තිබෙන දෙයකි. එමනිසා, පරිසර විනාශයට හේතු වන තමන්ගේ පරිභෝජන පුරුදු නොවෙනස්ව තබා ගෙන පරිසර සංරක්ෂණය වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දීමට මෙම කඳු උඩ පන්සල් සෑදීමේ ව්‍යාපෘති යොදාගත හැකිය. හිටි හැටියේ ආන්දෝලනාත්මක වන එවැනි සිදුවීමකට හැඟීම්බරව විරුද්ධ වීම තුලින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටින යහපත් පුරවැසියෙක් බවට පත්විය හැක. කඳු මුදුනක ඇති හෝටලයක සිට වටපිටාවට මීදුම බාන ආකාරය, කෝපි කෝප්පයක් සමඟින් ඉන්ස්ටාග්‍රැම් අප්ලෝඩ් කිරීමෙන් පසුව කන්දක් උඩ චෛත්‍යයක් සැදීමට සම්මාදම් එකතු කරනවා දකින විට යකා නැඟීම පරිසර සංරක්ෂණවාදී හැඟීමකි.
මා පරිසර සංරක්ෂණය වැනි යහපත් අරමුණු වෙනුවෙන් පෙනී සිටින අයෙක් නොවේ. ඒ සඳහා ඕනෑ තරම් පරිසර සංවේදී විද්‍යාත්මක විසඳුම් සහිත මිනිසුන් සිටිති. එමනිසා, මෙවැනි හෑලි ලිවීමෙන් මා බලාපොරොත්තු වන්නේ පරිභෝජනය සීමා කලයුතු යැයි හෝ කඳු උඩ පන්සල් සාදන විට කට වහගෙන සිටියයුතු යැයි කියා හෝ නොවේ. දීර්ඝ කාලයක සිට හුරුවී සිටින මෙම නූතනත්ව ජීවන රටාව තුලදී පරිභෝජනය කප්පාදු කලහොත් සිදුවන්නේ උමතුභාවයට පත්වීමටය. එය පරිසර විනාශයටත් වඩා ප්‍රබල සමාජ ගැටළු ඇති කිරීමට ඉඩ ඇත. බෞද්ධ විරෝධීන් ආගමික ඉගැන්වීම් හා ආගමේ ආභාෂයෙන් ඇතිවී ඇති සංස්කෘතික කටයුතු නිසා නිරන්තර මානසික පීඩාවෙන් සිටින පිරිසකි. නමුත්, ආගම අධිපතිවාදී සමාජ කතිකාවතක් නිසා එයට සෑම විටම එරෙහි වීමට ද නොහැක. මෙවැනි අවස්ථා ඔවුන්ට ප්‍රයෝජනවත් වන්නේ කාලයක් තිස්සේ ඒකරාශි වී ඇති පීඩනය පිටකල හැකි, සමාජ අනුමැතිය ද ලැබෙන (බෞද්ධ පරිසර ප්‍රේමීන් ද සහභාගී වන) අවස්ථාවක් නිසාය. එම නිසා මා උත්සහ කරන්නේ, මේ යුගයේ පාරිසරික අර්බුද වලට තමන්ගේ ඇති දායකත්වය අමතක කර නිර්දෝෂී වීමට හැකියාවක් මෙම පන්සල් ව්‍යාපෘති වලින් ද ලැබෙන බව පෙන්වා දීමටයි.
No comments :