ලංකාවේ මුදලි පේරුව

Image: Mudliar and Lascorin by Van Dort See less

ලංකාවේ පළමුවැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වන ෆෙඩ්රික් නෝත් තම මිත්‍රයෙක් වන වේල්ස්ලිට 1798.10.21 දින ලියූ ලිපියක මෙසේ සඳහන් වෙයි.

" මහ මුදලි සැම විටම පදිංචි වී සිටින්නේ ආණ්ඩුකාරයා සමීපයේය. ඔහු මා සමඟ සිටින විට කිසි විටෙක හිද ගත්තේ නැත. පා වැසුම් පැළැන්දේ නැත. එහෙත් ඇත්ත වශයෙන්ම ඔහු ලංකාවේ මහා අමාත්‍යවරයා ය. ඔහු මා දෙන සෑම නියෝගයක්ම වහාම ක්‍රියාත්මක කරන අතර රටේ සිදුවන දෑ වහාම මට දන්වා සිටියි. ඔහු හා ඔහුට පහත් මුදලිවරු ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන එකම ගෙවීම වන්නේ සුළු ඇකමඩේසන් ඉඩම් දීමනාවක් පමණි. ඔවුන්ගේ එකම පරමාර්ථය වන්නේ කඩු, රන්මාල, මෙඩල් ආදී තෑගි ලබා ගැනීමයි. ඒවාට ඔවුන් විශාල කෑදරකමක් දක්වන අතර ඒවා මඟින් ඔවුන්ගේ අවනතභාවය දිනා ගන්නා ආකාරය ලන්දේසීහු හොඳින්ම දැන සිටියහ."

මහ මුදලි ඇතුළු අනෙක් මුදලිවරු යනු ලන්දේසී යුගයේ සිට පහතරට වර්ධනය වූ මුදලි පේරුව ලෙස ප්‍රසිද්ධ වූ වරප්‍රසාදලත් පැළැන්තියයි. මොවුන්ට උඩරට කේන්ද්‍රීයව පැතිරී තිබුණු රදළ පරම්පරාවට සම්බන්ධයක් නොවීය. ඔවුන් ලන්දේසීන්ට භාෂා පරිවර්තනය, ඔත්තු සැපයීම, ගෘහ සේවය වැනි සේවාවන් සපයා තානාන්තර, ධනය හා ඉඩකඩම් උපයා ගත්හ. මොවුන් යටත්විජිත ස්වාමිවරුන්ගේ ආධිපත්‍යය පිළිගත් අතර ආගම, භාෂාව, ඇඳුම් පැළදුම්, නම්, ආහාරපාන, ඇතුළු සංස්කෘතියට අදාළ අංගත් වැළඳ ගෙන ඇත. එනම්, ඔවුන් ස්ථානගත කල හැක්කේ සිංහලේ රජු, රාජ්‍යය, බුදු දහම හා සිංහල සංස්කෘතිය ආදියට එරෙහි අන්තයකය. ලන්දේසී බලය අවසන් වූවාට පසුව ඉංග්‍රීසින්ට ද තම සේවය යටහත් පහත්ව සැලසීමට ප්‍රතිඥා දෙමින් ඔවුන් තම පැවැත්ම තහවුරු කරගත්හ. ෆෙඩ්රික් නෝත් තම ලිපියේ සඳහන් කර ඇත්තේ ශත වර්ෂයකට වැඩි කාලයක් යටත්විජිත ස්වාමීවරු යටතේ මුදලි පැළැන්තිය ප්‍රකට කල ගති ලක්ෂණ ගැනය. ඔහු මෙම මුදලිවරුන්ගේ හැසිරීම ගැන සඳහන් කරන්නේ යම්කිසි විමතියකින් බව පෙනේ.

ඇතැමුන් වර්තමාන සිංහලයන්ගේ ඇතැම් චර්යාවන් පැහැදිලි කරන්නේ සිංහල රාජාණ්ඩු සමයේ රජු හා රදළයන් ඉදිරියේ දනින් වැටුණු පුරුදු වල ශේෂයන් ලෙසටය. නමුත්, තම යටත්විජිත ස්වාමීන් ඉදිරියේ ශත වර්ෂ ගණනාවක් වැද වැටුණු මුදලි පේරුව හා මෙම මුදලිවරුන් පසුපස ගිය අනෙක් වැසියන්ගේ සමාන චර්යාවන් සමඟ එවැනි පැහැදිලි කිරීම් සිදු නොකරයි. දැන් යටත්විජිත යුගයේදී මෙන් පුද්ගලයන් ඉදිරියේ වැද වැටීමක් දක්නට නොමැති වුවත් බටහිර දැනුම, සංස්කෘතිය සම්බන්ධයෙන් ඉතාමත් යටහත් පහත් වන මිනිසුන් සිටිති. එම දැනුම විවේචනයේදී ඔවුන් කෝපාවිෂ්ඨ වන අතර සංස්කෘතියට ද බය පක්ෂපාතීත්වයක් දක්වයි.

(තොරතුරු ලබාගත්තේ කාරිගේ චැනල් එක යුටියුබ් නාලිකාවෙන්ය)


 

ලංකාවේ මුදලි පේරුව ලංකාවේ මුදලි පේරුව Reviewed by Fox Talks on 5:44 AM Rating: 5

No comments :

Powered by Blogger.