Griselda Blanco සහ ඇමෙරිකාවේ කොකේන් ව්‍යසනය


 

Griselda රූපවාහිනී කතාමාලාවට පාදක වන්නේ කොළොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන Greselda Blanco ගේ කුප්‍රකට බිහිසුණු ජීවිතයයි. ඇය 70 දශකයේ දී කොළොම්බියාව සහ මයාමී, නිව්යෝර්ක් වැනි උතුරු ඇමරිකානු නගර අතර කොකේන් වෙළදාම ආරම්භ කිරීමට මුල පුරා ඇති අතර 80 දශකයේ මයාමී නගරය කේන්ද්‍ර කොටගෙන මත්ද්‍රව්‍ය වෙළදාම හසුරුවා ඇත. වාර්තා වී ඇති අන්දමට ඇය වසරකට කොකේන් ටොන් 3කට අධික ප්‍රමාණයක් එක්සත් ජනපදයට නීති විරෝධීව රැගෙන ගොස් ඇති අතර මසකට ඩොලර් මිලියන 80ක පමණ ආදායමක් ලබා ඇත. කතාමාලාව නිසා ඇතිවූ උනන්දුව මත එක්සත් ජනපදයේ කොකේන් භාවිතය ගැන සොයා බැලීමේදී කොකේන් සම්බන්ධ වැරදි සඳහා පනවා ඇති විශේෂ නීතියක් ගැන දැන ගැනීමට ලැබුණි. 


80 දශකයේ මැද භාගය වනවිට එක්සත් ජනපදය තුල කොකේන් සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණි. මේ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පවුඩර් කොකේන් ලෙස හඳුන්වන ඉස්තරම් කොකේන් සමඟ ඇමෝනියා, බේකින් සෝඩා වැනි වෙනත් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කොට ක්‍රැක් (crack) කොකේන් නම් මිලෙන් අඩු ප්‍රභේදයක් නිපදවා ඇත. අඩු මිල හා කාර්‍යක්ෂම බෙදාහැරීම නිසා සමාජයේ සෑම ස්ථරයකටම කොකේන් භාවිතය පැතිරෙන්නට විය. මේ නිසා පෙර සෙලිබ්‍රිටි ගැටළුවක්ව පැවති කොකේන්, එක්සත් ජනපදයේ විශාලතම මත්ද්‍රව්‍ය ගැටළුවක් බවට පත්විය. විශේෂයෙන්ම ළදරුවන් මවගේ කුස තුල සිටියදීම මත්ද්‍රව්‍ය වල බලපෑමට ලක්වීමෙන් එම ළදරුවන් අතර (crack babies) ද සෞඛ්‍ය ගැටළු වැඩි වන්නට විය.



තවද ක්‍රැක් කොකේන් භාවිතයට පැමිණීමෙන් පසු එක්සත් ජනපද සමාජය තුල, කොකේන් ප්‍රභේද පදනම් ව යම් ආකාරයක පංතිමය බෙදීමක් ද ඇතිවී ඇත. කොකේන් ප්‍රභේදයට අනුව භාවිතය, ලඟ තබාගැනීම, හා බෙදාහැරීම වැනි වැරදි වලට නියම කර ඇති දඬුවම් ද වෙනස් වන අතර ක්‍රැක් කොකේන් සම්බන්ධ වැරදි සඳහා නියම වෙන දඬුවම්, පවුඩර් කොකේන් සම්බන්ධ දඬුවම් වලට වඩා විශාල වශයෙන් වැඩිය. උදාහරණයකින් පැහැදිලි කලහොත්, යම් පුද්ගලයෙකුට ක්‍රැක් කොකේන් ග්‍රෑම් 5ක් ලඟ තබාගැනීමේ වරද සඳහා ලැබෙන අවම සිර දඬුවම වසර 5ක් වනවිට, ඊට සමාන සිර දඬුවම් කාලයක් (වසර 5ක්) නියම වීමට එම පුද්ගලයා පවුඩර් කොකේන් ග්‍රෑම් 500ක් සමඟ අසුවිය යුතුය. තවත් විදිහකට කියනවානම් පවුඩර් කොකේන් සඳහා වසර 5ක සිර දඬුවමක් නියමවීමට ක්‍රැක් කොකේන් වලට වඩා 100 ගුණයක පවුඩර් කොකේන් ප්‍රමාණයක් අසුවිය යුතුය. මෙම වෙනසට හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍යයක් වශයෙන් ක්‍රැක් කොකේන් අනෙකට වඩා භයානක නිසා යැයි ඇතැමුන් උපකල්පනය කරන නමුත් ක්‍රැක් කොකේන් හෝ පවුඩර් කොකේන් ඇබ්බැහියේ සැලකිය යුතු වෙනසක් නැති බව පැවසේ. එසේනම් මෙම වෙනසට හේතුව කුමක් ද? එම වෙනස කොකේන් ප්‍රභේදයේ රසායනික සංයුතියේ වෙනස්කම්  නිසා ඇති වූවක් නොව කොකේන් භාවිතා කරන්නන්, එනම් භාවිතා කරන ජන වර්ගය මත ඇතිවූ වෙනසක් බව සොයාගෙන ඇත.



මේ තත්වය පැහැදිලි කරගැනීමට සමීක්ෂණ වාර්තාවක් යොදාගත හැක. 2009 වසරේ ක්‍රැක් කොකේන් සඳහා දඬුවම් ලැ⁣බූ පුද්ගලයන් 5669ක් අතරෙන් 79% කළු ජාතිකයන් ද 10% සුදු ජාතිකයන් ද තවත් 10% හිස්පැනික් ජන වර්ගයට ද අයත්වී තිබේ. 6020ක් වූ පවුඩර් කොකේන් සම්බන්ධ දඬුවම් වලට යටත් වූවන්ගේ ප්‍රතිශත වන්නේ  28% කළු, 17% සුදු හා 53% හිස්පැනික් වශයෙන්ය. එමනිසා කොකේන් සඳහා දඬුවම් නියම කිරීමට යොදාගෙන ඇත්තේ විද්‍යාත්මක පදනමක් වෙනුවට බහුතර ක්‍රැක් කොකේන් භාවිතා කරන්නන් (කළු ජාතිකයන්) දෙස ඇමරිකානු නීති පද්ධතිය, මාධ්‍යය සහ සාමාන්‍ය ජනතාව බලන ආකාරයය. නීති පද්ධතියේ ඇති මෙම අසමානතාවය නිසා කොකේන් සඳහා සිර දඬුවම් විඳින කළු ජාතිකයන්ගේ ප්‍රමාණය සුදු ජාතිකයන්ට වඩා හය ගුණයකින් වැඩිය. බැරක් ඔබාමාගේ පාලන කාලයේදී මෙම අසමානතාවය අඩු කිරීම සඳහා නව පනතක් (The Fair Sentencing Act of 2010) හඳුන්වා දී ඇති අතර එයින් කොකේන් සම්බන්ධ අවම වසර පහක සිර දඬුවම සඳහා තිබී අසුවිය යුතු ක්‍රැක් කොකේන් ප්‍රමාණය ග්‍රෑම් 5 සිට ග්‍රෑම් 28 දක්වා ඉහළ දමා ඇත.

Griselda Blanco සහ ඇමෙරිකාවේ කොකේන් ව්‍යසනය Griselda Blanco සහ ඇමෙරිකාවේ කොකේන් ව්‍යසනය Reviewed by Fox Talks on 7:31 AM Rating: 5

No comments :

Powered by Blogger.