ස්වභාව ධර්මය හා මිනිසා අතර ඇති සම්බන්ධය

 


ස්වභාව ධර්මය හා මිනිසා අතර ඇති සම්බන්ධයේ ආකාර දෙකක් පහත රූපයේ දැක්වේ. දෙවනි අවස්ථාවෙන් - Nature - දැක්වෙන්නේ අවම වශයෙන් පූර්ව-නූතන යුගයේදී මිනිසා හා ස්වභාව ධර්මය අතර සම්බන්ධය පැවතුනු ආකාරයයි. 15 සියවසේ යුරෝපයේ ඇතිවූ චින්තන විප්ලවයෙන් පසුව මිනිසා හා ස්වභාව ධර්මය අතර පැවති එම සම්බන්ධය වෙනස් වීමට පටන් ගැණුනි. එයින් මිනිසා ස්වභාව ධර්මයේ ඵෙන්ද්‍රීය කොටසක්ය යන අදහස ඉවත් වී මිනිසා එයින් වෙන් වන්නට විය. එම චින්තන විප්ලවයෙන් පසු ඇති වූ මිනිසා හා ස්වභාව ධර්මය අතර සම්බන්ධය නිවැරදිව නිරූපණය වන්නේ පළමු අවස්ථාවෙන් - Ego - යැයි සැලකිය හැක. මෙයින් පසුව සිදුවූ ස්වභාව ධර්මය සම්බන්ධ ක්‍රියාකාරකම්, ස්වභාවික සම්පත් පරිභෝජනය මෙන්ම පරිසර සංරක්ෂණය ද මානව කේන්ද්‍රීය වැඩපිළිවෙළවල් බවට පත්විය.


ස්වභාව ධර්මය හා ඒකාත්මික වීමට ආරාධනා කරන පහත ආකාරයේ අදහසක් සලකා බලමු.


"Escaping the hustle, diving into nature's embrace. Join me on an adventure hike where each step is a step closer to serenity. Let's pause amidst the towering trees and rustling leaves, leaving behind the chaos to find our own rhythm. It's not just a hike, it's a journey to reconnect with the soul of the earth. #Nature Therapy #AdventureAwaits #FindYourPeace"


මෙහි ඇත්තේ නාගරික, කාර්යබහුල ජීවන රටාවෙන් මඳකට මිදී ස්වභාව ධර්මය සමඟ ආධ්‍යාත්මික ව සම්බන්ධ වීමට කෙරෙන ආරාධනයකි. නමුත්, ස්වභාවික පරිසර පද්ධතියකට ඇතුළු වූ පමණින් ඉහත - Nature - අවස්ථාවේ දැක්වෙන ආකාරයේ සම්බන්ධයක් ඇති නොවන අතර එය සැලකිය හැක්කේ - Ego - අවස්ථාවේම තවත් ආකාරයක් ලෙසටය. එනම්, මෙයින් ස්වභාව ධර්මය හා නූතන මිනිසා අතර ගොඩනැඟී ඇති පරතරය බිඳ වැටීමක් සිදු නොවේ. මෙවැනි ආරාධනා තහවුරු කරන්නේ ස්වභාව ධර්මය ආගන්තුක හා වෙනම පවතින දෙයක් බවය. නකල්ස් කඳු වැටියේ කැලෑබඳ අඩි පාරවල් මැදින් ට්‍රැකින් ගියර්, ට්‍රැකින් බූට්ස්, හෝ වෝටර් පෘෆ් ජැකට් පැළඳ යන නේචර් ලවින්ග් මිනිසුන් දකින විට ස්වභාව ධර්මය සමඟ ඇති පරතරය බිඳ වැටී ඇතැයි සිතෙන්නේ නැත.


නූතන පරිසර සංරක්ෂණ කතිකාවේ ආරම්භය සිදුවන්නේ ස්වභාව ධර්මයේ වෙනස්වීම් මිනිසාගේ පැවැත්මට තර්ජනයක් වීමට පටන් ගැනීමෙන් පසුවය. එමනිසා වර්තමාන ලෝකයේ පරිසර සංරක්ෂණය සිදුවන්නේ ද - Ego - ආකෘතිය මත පිහිටාය. තමන්ගෙන් වෙන්ව පවතින පරිසරය රැක ගැනීමට සෑම දෙනාම වෙහෙසෙති. වනාන්තර එළිපෙහෙලි කිරීමට එරෙහි විරෝධතා, දේශගුණික සමුළු, දේශගුණික විපර්යාසයේ වගකීම ආණ්ඩු වලට පැටවීමට නඩු දැමීම වැනි ප්‍රගතියක් නොදකින ක්‍රියාමාර්ග මේ ආකෘතිය යටතේ නිතර දැකගැනීමට හැකිය. විද්‍යාවේ බලමහිමය කෙරෙහි විශ්වාසය තබාගෙන සිටින පිරිස අර්බුදයට විද්‍යාත්මක විසඳුමක් ඉක්මනින් සොයා ගන්නා තුරු නොඉවසිල්ලෙන් පසුවෙයි. දේශගුණික හිස්ටීරියාවෙන් (climate hysteria) පෙලෙන වාමාංශික හා ලිබරල් පරිසරවේදීන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් කොතරම් ඇප කැප වී සිටියත් ඔවුන්ට පිළිතුරු සෙවීමට සිදුවන්නේ ද මෙම - Ego - ආකෘතිය තුල සිටය. ඔවුන් එක් පසකින් මානවවාදයේ කරවටක් ගිලී සිටින අතර අනෙක් පසින් අධිපතිවාදී - Ego - දැනුම් පද්ධතිය මත සිට පරිසර අර්බුදයට විසඳුම් යෝජනා කරයි. එහිදී යම් යම් කෙටිකාලීන විසඳුම් හා පරිසර සටන් වලින් ලබන කුඩා පරිමාණයේ ජයග්‍රහණ දැකගත හැකිය. අවශ්‍ය නම් ඒවායින් සෑහිමකට පත්විය හැක.


පාරිසරික අර්බුද වලට දැනෙන විසඳුමක් අවශ්‍යනම් - Nature - ආකෘතිය තුලට යෑමට සිදුවේ. නමුත්, එයට දැනට ආධිපත්‍යය දරන - Ego - දැනුම වෙනස් කල හැකි තරමේ චින්තන විප්ලවයක් සිදුවිය යුතුය. එයට දැනට ගොඩනැඟී ඇති ජීවන රටාවේ සුවපහසුත්වය කනපිට හැරවීමට තරම් සුසමාර්ශ වෙනසක් සිදුවිය යුතු නිසා එවැනි දෙයක් කිසිදා සිදුනොවේ.

ස්වභාව ධර්මය හා මිනිසා අතර ඇති සම්බන්ධය ස්වභාව ධර්මය හා මිනිසා අතර ඇති සම්බන්ධය Reviewed by Fox Talks on 10:32 AM Rating: 5

No comments :

Powered by Blogger.