ඩොල්කි වාදකයා

 




වසර ගණනකට පෙර මහනුවර දුම්රිය ස්ථාන අන්තයේ සිට දැන් කොළඹ නගරාන්තර බස් නැවතුම අතර පදික වේදිකාවේ උක්කුටිකයෙන් බිම වාඩි වී ඩොල්කියක් වාදනය කරන කෙසඟ සිරුරක් ඇති අන්ධ මිනිසෙක් දක්නට ලැබුණි. දුර්වර්ණ වී ගිය ඇඳුම් කඩමාලු සහ පදික වේදිකාවේ දුවිලි, මඩ අතර එතරම් වෙනසක් නොවීය. මේ මිනිසා අව්ව හෝ වැස්ස ගැන තැකීමක් නොමැතිව එකම ඉරියව්වෙන්, මුහුණ තුලට ගිලී ගිය අඳ දෑස් අහසට යොමාගෙන, එකම රිද්මයකට ඩොල්කිය වාදනය කරයි. ඔහු කොපමණ වේලාවක් ඩොල්කිය වාදනය කරනවා දැයි කියා මා දැන සිටියේ නැත. ඔහු ඩොල්කි වාදනය අතරතුර ගීතයක් ගායනා කරනවා ඇසුනත් බොල් හඬකින් යුතු ඩොල්කි නාදය ගී හඬ පරයා ඇසෙයි. ඩොල්කි හඬේ මෙන්ම ගීතයේ ද වින්දනය කලහැකි යමක් තිබුණේ ද කිය මතක නැත. මදක් නැවතී සවන් යොමු කලානම් මතකයේ රැදෙන රිද්මයක් පාදා ගැනීමට හැකියාවක් තිබෙන්නට ඇත. නමුත්, ඔහු පසුකර යන අයට ද මා හට මෙන්ම එයට සවන්දීමට තරම් කාලයක් වෙන් කිරීමට අවශ්‍යතාවයක් නොවීය. ඩොල්කිය නොමැතිව ඒ මිනිසා කිසි දිනෙක මා දැක නැත. පදික වේදිකාව දිගේ ඇවිද යන විට එහි ඇති ස්ථීර කණු, බැමි, වැටවල් වැනි අචේතනික වස්තු තරමට ම මෙම ඩොල්කි වාදකයා ද එම පදික වේදිකාවට බැදී තිබෙනවා මෙන් හැඟෙයි.

මේ ඩොල්කි වාදකයා ගැන මතකය මතුවීමට පැබ්ලෝ පිකාසෝගේ The Old Guitarist නම් සිතුවම ඇස ගැටීම හේතු විය. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවර වීදියක ගිටාරයක් වාදනය කරන, වැරහැලි ඇදගත් වියපත් අන්ධ මිනිසෙක් එයින් නිරූපණය වෙයි. නිවැරදිව කිවහොත් මෙම සිතුවමේ සිටින වියපත් මිනිසාගේ ගිලී ගිය අඳ දෑස් තුලින් ඩොල්කි වාදකයාගේ දෑස් මතු වී ඉහත අතීත ස්මරණය ඇති විය. මෙම සිතුවම නිර්මාණය කරන සමයේ දී පිකාසෝගේ සමීපතම මිතුරා ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීම නිසා සිත් තැවුලට පත්ව සියදිවි හානි කරගෙන සිටි අතර ඔහු ද දුප්පත්කමින් මිරිකෙමින් සිට ඇත. එම අවධිය පිකාසෝගේ Blue Period (1901-1904) ලෙස හඳුන්වන අතර නිල්, අළු, කළු වැනි වර්ණ බහුලව නිර්මාණ සඳහා යොදාගෙන තිබේ. මිතුරාගේ මරණය නිසා හුදෙකලාවෙන් සහ විෂාදයෙන් ඔහු පෙලෙන්නට වූ අතර එයින් පසු නිල් පැහැය ඔහුගේ සිතුවම් වල ප්‍රමුඛ වර්ණය බවට පත්වී ඇත. ඒ අවධියේ පිකාසෝ අත්විඳිමින් සිටි දරිද්‍රතාවය, වියපත් ගිටාර් වාදකයා වැනි දුගී, මෙලන්කෝලික චරිත තෝරා ගැනීමට හේතු වී ඇති අතර මිතුරාගේ මරණයෙන් පසුව ඇති වූ මනෝභාවයන් නිල් පැහැය හා සම්බන්ධිතය. පසුව විෂාදය උග්‍ර අතට පත්වීමත් සමඟ නිල් පැහැය ඔහුගේ සිතුවම් වල ආධිපත්‍යය පතුරවා ඇත


ඩොල්කි වාදකයා ඩොල්කි වාදකයා Reviewed by Fox Talks on 5:51 AM Rating: 5

No comments :

Powered by Blogger.