1948 නිදහස නොලැබුනානම් ...

 


1948 දී ලංකාවට නිදහස නොලැබී බ්‍රිතාන්‍යයන්ගේ පාලන ව්‍යුහය ම දිගටම ක්‍රියාත්මක වූයේ නම්, සිංහල හා දෙමළ නායක පාර්ශවයන් දිගටම සමන්විත වීමට තිබුණේ යටත් විජිත පාලකයන්ට දණ්ඩ නමස්කාර කරන ප්‍රභූ පැළැන්තියකින් හා තම දේශපාලන අරමුණු සඳහා කුලවාදය යොදාගන්නා දේශපාලකයන් සමූහයකින්ය. දේශපාලන බලය හා ඉහළ පරිපාලන තනතුරු ද ජනගහනයෙන් 5% පමණ වූ ඉංග්‍රීසි කතා කරන ඉහළ පැළැන්තිය අතරම හුවමාරු වනු ඇත. 1948 නිදහස ලැබීමෙන් පසු ස්වදේශික ජන සමාජයේ ආරම්භ වූ ආකාරයේ පරිවර්තනයන් සිදුවීමට තවත් අවුරුදු ගණනාවක් ගත වනු ඇත. බ්‍රිතාන්‍ය පාස්පෝට් ලැබීමට ඉඩ තිබුණේ ද සුළුතරයක් වූ ඉහළ පැළැන්තියට පමණි.

ලංකාව, ඉන්දියාව වැනි රටවලට තම සංස්කෘතික අනන්‍යතාවය දිය නොකර ගෙන යටත්විජිතවාදයේ සම්පූර්ණ ගොදුරක් බවට පත් නොවී සිටීමට හැකියාවක් ලැබුණේ අවුරුදු දහස් ගණනක් පුරාවට ස්ථාපිත වී පැවති ස්වදේශික සංස්කෘතීන්ගේ ලැබුණු යම් ශක්තියක් නිසාය. යටත්විජිත ප්‍රතිරෝධයට හා නිදහස් සටන් වලට ශක්තිය සැපයූවේ එම සංස්කෘතික පදනමයි. එවැනි ශක්තිමත් සංස්කෘතික පදනමක් නොමැතිව තිබූ ඔස්ට්‍රේලියා, නවසීලන්ත, ඇමරිකා වැනි යටත්විජිත වල සිටි ස්ව⁣දේශික ජනයා ආක්‍රමණිකයාගේ අණසකට යටත් විය. එහෙත් ඔවුන්ට ආක්‍රමණිකයාගේ සංස්කෘතියට අවශෝෂණය වීමටත් නොහැකිව අභාග්‍යසම්පන්න ඉරණමක් අත්විය. ආක්‍රමණිකයන් විසින් දියත් කල මානව හා සංස්කෘතික සංහාරය ඔවුන්ගේ පදනම් විනාශ කල අතර එහි බලපෑම පරම්පරාගත ක්ෂතියක් (generational trauma) ලෙස තවමත් පවතී. එම ස්වදේශික ජනයාගේ ජීවන තත්වය ගැන යහපත් වාර්තා තවමත් දක්නට නොලැබේ.

අප රටවල් සම්පූර්ණයෙන් ම සංස්කෘතික පදනම අහිමි නොකරගත් නිසා ස්වදේශික සංස්කෘතියට ඉහළින් ආක්‍රමණික සංස්කෘතියත් සමාජ ව්‍යුහයට ඇතුල්ව එම සංස්කෘතීන් නැවත ධ්‍රැවීකරණය වී සංස්කෘතික පරාසයක් (spectrum) වැනි දෙයක් නිර්මාණය වී ඇත. එක් කෙලවරක ආක්‍රමණිකයාගේ සංස්කෘතිය අගය/අනුකරණය කරන පිරිසත් අනෙක් කෙලවරේ ස්වදේශික සංස්කෘතියේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පිරිසත් වශයෙන් මෙම පරාසය විහිදී ඇත. මෙම පරාසයේ දෙකෙලවර අතර කලාපයේ සංස්කෘතීන් දෙකේ අංග, විවිධ මාත්‍රාවෙන් මිශ්‍ර වූ පුද්ගලයන් දැකගත හැක.


1948 නිදහස නොලැබුනානම් ... 1948 නිදහස නොලැබුනානම් ... Reviewed by Fox Talks on 6:09 AM Rating: 5

No comments :

Powered by Blogger.