ආහාර සම්බන්ධ මධ්‍යම ප්‍රතිපදාව

 


නූතන පරිභෝජන සමාජයේ මිනිසුන් මුහුණ දෙන තරඟකාරීත්වය, කාර්යබහුලත්වය, දුර්වල සමාජ සම්බන්ධතා වැනි සංකීර්ණතා විසින් ජීවිතය අභියෝගාත්මක හා පීඩාකාරී දෙයක් බවට පත් කරයි. මෙය සමනය කරගැනීමේ එක් මාර්ගයක් වන්නේ සාමාන්‍ය සීමාවෙන් ඔබ්බට යන පරිභෝජන පුරුදු දෙසට යොමුවීමය. Consumer Therapy, Emotional Eating වැනි සංකල්ප වලින් විස්තර කෙරෙන්නේ එවැනි ස්භාවයන්ය. කාර්යබහුල ජීවිතය සාමාන්‍ය ආහාර රටාවේ පැහැදිලි වෙනසක් සිදුකරයි. රැකියාවන්හි නියුතුවන්නන්ට නිවසේ ආහාර පිසීමට වඩා පිටතින් ආහාර ගැනීම පහසුවකි. එමෙන්ම කාර්යබහුල ජීවන රටාව නිසා ගොඩනැඟෙන ආතතිය මඟ හරවා ගැනීමට රෙස්ටුරන්ට්, ක්ෂණික ආහාර, සතිඅන්ත නිවාඩු, රාත්‍රි සාද, පබ් ලයිෆ් ආදියට යොමුවීම වැඩි වැඩියෙන් සිදුවේ. මෙවැනි අවස්ථාවලදී සෞඛ්‍යයට හිතකර යැයි සම්මත ආහාර ගැනීමෙන් අවශ්‍ය වින්දනය හෝ සහනය නොලැබෙන බැවින් එය ලබාදෙන අධික තෙල්, සීනි, පිෂ්ටය සහිත ආහාර ගැනීමට සිදුවේ. තවත් දෙයක් නම් තරඟකාරී ජීවිතයේදී ලබාගන්නා කුඩා ප්‍රමාණයේ සාර්ථකත්වයන් සැමරීමට පවා ක්ෂණික ආහාර අවන්හලකට ගොස් චීස් කේක්, බර්ගර් හෝ පීසා වැනි ආහාරයක් සමඟින් එය සැමරීමට ඇතැමෙක් පුරුදු වී සිටියි.


මෙම චර්යාවන්ගේ යම් කාලයක් යෙදීම නිසා ශරීරයට තවදුරටත් ඔරොත්තු දීමට නොහැකිව යම්කිසි පාලනයකට යටත් කිරීමට සිදුවේ. නමුත්, ඉහත සංකීර්ණතා සහිත නූතන සමාජ සැකැස්මේ වෙනසක් සිදු නොවන නිසා නොනවත්වා ඇතිවන ආතතිය සමනය කරගැනීමට පහත පෝස්ට් එකේ දැක්වෙන ආකාරයේ උපක්‍රමයක් භාවිතා කිරීමට සිදුවේ. මෙහිදී තමන් පීඩාවට පත්කරන ක්‍රමයේ වෙනසක් සිදුනොවන බැවින් සිදුවන්නේ කෙසේහෝ එම ක්‍රමය තුලම පැවැත්ම තහවුරු කරගැනීමය. මෙය විශම චක්‍රයක් බවට පත්වී ඇති අතර එයින් මිදීම අපහසු හෝ කල නොහැකි දෙයක් බවට පත්වී තිබේ. පවතින ක්‍රමය විසින් ආතතියක් ජනනය කරන අතර එයින් සහනයක් ලබාගැනීමේ මාර්ගයක් ලෙසට පරිභෝජනයට යොමු වේ. නැවත එම පරිභෝජනවාදී පුරුදු විසින් ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන සපයයි.


පහත පෝස්ට් එකේ ඇත්තේ ඉහත විශම චක්‍රයට හසුවීමෙන් පසු උදාවන තත්වයකි.


මෙහි අදහස ගතහොත් ඇත්තේ, රාත්‍රී සාදයකට ගොස් විනෝද වීමට අවශ්‍ය නිසා ඊට පෙර උදෑසන සිට ව්‍යායාම සහ දැඩි ආහාර පාලනයකින් යුතුව එයට සූදානම් වීම, සාදයේදී ඇති පදම් විනෝද වීම සහ සාදයෙන් පසුව නැවතත් ආහාර පාලනයකට යොමුවීමය. එනම්, අතරමැදි අවස්ථාව මඟහැර එක්වරම ඉන්ද්‍රිය තැවීමේ අන්තයක සිට ඉන්ද්‍රිය දැඩිව පිනවීමේ අන්තයකට ගමන් කිරීමය. තවත් ආකාරයකින් කිවහොත් අත්තකිලමථානු යෝගයේ සිට කාමසුඛල්ලිකානු යෝගයට ගොස් නැවතත් අත්තකිලමථානු යෝගයටම පැමිණීමය. මේ ආකාරයට අන්ත දෙකක් අතර දෝලනය වීමට සිදුවී ඇත්තේ ඇයි? පැහැදිලි ලෙසම අප ආහාර සම්බන්ධ මධ්‍යම ප්‍රතිපදාව අතහැර දමා තිබුණු බැවින්ය. අපට එම ප්‍රතිපදාව අනුගමනය කල නොහැක්කේ නූතන පරිභෝජනවාදී ජීවන රටාව නෛසර්ගිකව එවැනි ප්‍රතිපදාවකට අනුබලයක් ලබා නොදෙන නිසාය. එමනිසා එවැනි ප්‍රතිපදාවකට යෑමට දැඩි උත්සාහයක් දැරීමට සිදුවන අතර එය පවතින සාමාන්‍ය රටාවෙන් වෙන්වුණු විකල්ප ජීවන රටාවක් බවට පත්වේ. දැන් පවතින ක්‍රමය විසින් අපව අනිවාර්ය ලෙස කාමසුඛල්ලිකානු යෝගයට තල්ලු කරමින් තිබේ. දීර්ඝ කාලයක් එම යෝගයේ පමණක්ම යෙදීමෙන් සිදුවන්නේ තවදුරටත් කාමසුඛල්ලිකානු යෝගයේ යෙදීමට නොහැකිවීම සහ එසේ යෙදීමට අවශ්‍යනම් අත්තකිලමථානු යෝගයේ සිටම නැවත පැමිණීමට සිදුවීමයි.


තවත් ආකාරයකින් කිවහොත්, මේ ආකාරයේ ආහාර පාලනයකින් බලාපොරොත්තු වන්නේ ශරීර සෞඛ්‍යයට (අවසානයේ සමස්ත පරිසරයටම) අහිතකර පරිභෝජනවාදී පුරුදු අතහැර සරළ ජීවන රටාවකට යොමුවීම නොව, පෙර පරිභෝජනවාදී පුරුදු නිසා ඉහළ ගොස් ඇති වෛද්‍ය පරීක්ෂණවල ඉලක්කම් පහළ බස්සාගෙන වඩාත් හොඳින් නැවත පරිභෝජන ක්‍රියාවලියට එකතු වීමය.


ප.ලි: මෙය මෙම පෝස්ට් එක දැමූ පුද්ගලයාට පමණක් නොව අඩුවැඩි වශයෙන් අප බොහෝදෙනෙකුට අදාළ තත්වයකි.

ආහාර සම්බන්ධ මධ්‍යම ප්‍රතිපදාව ආහාර සම්බන්ධ මධ්‍යම ප්‍රතිපදාව Reviewed by Fox Talks on 8:03 AM Rating: 5

No comments :

Powered by Blogger.