හින්දු දේව සංකල්පය


 Kaal Bhairav | Siva | ParamaSiva | Energy | Manifestation | Adi Shakti | Shaktism | Mantra Japa | Deity | Sankya Philosophy | Ishwara | Karma | Hinduism


මේ ඡායාරූපයේ දැක්වෙන්නේ නේපාලයේ කත්මණ්ඩු නුවර ඩුර්බාර් චතුරස්‍රයේ ඇති කාල බහිරව (Kaal Bhairav) මූර්තියකි. කාල බහිරව සැලකෙන්නේ ශිව දෙවියන්ගේ රෞද්‍ර විද්‍යාමාන (manifestation) වීමක් ලෙසටය. ඔහු ශෛව ආගමට සහ තන්ත්‍ර සම්ප්‍රදායට අයත් වැදගත් දෙවියෙක් ලෙස සැලකේ.


කාල බහිරවගේ පහළවීම සම්බන්ධයෙන් ශිව පුරාණයේ දැක්වෙන කතා ප්‍රවෘත්තිය මේ ආකාරය. හින්දු දහමේ ත්‍රිමූර්තිය ලෙස සැලකෙන්නේ බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන දෙවිවරුන්ය. එක්තරා අවස්ථාවක බ්‍රහ්මයාට තමන් මේ තිදෙනාගෙන් වඩාත්ම උසස් තැනැත්තාය යන හැඟීමක් ඇතිවිය. එම හැඟීම මත බ්‍රහ්මයා හා විෂ්ණු දෙවියන් සමඟ ඇතිවූ වාදයකදී ඔහු උඩඟු ලෙස ශිව දෙවියන්ට අපහාස කොට ඇත. මෙයින් කෝපයට පත් ශිව දෙවි බ්‍රහ්මයාට දඬුවම් කර ඔහුගේ උඩඟු බව නැතිකිරීමට තමන්ගේ රෞද්‍ර ස්වරූපය විද්‍යාමාන වන අයුරින් කාල බහිරව බිහි කරන ලදී. එනම් කාල බහිරව විද්‍යාමාන වන්නේ ශිව දෙවියන්ගේ කෝපයේ ස්වරූපයක් ලෙසටය. ඉදිරියට පැමිණි කාල බහිරව බ්‍රහ්මයාගේ හිස් පහෙන් එකක් ⁣වෙන්වී යන සේ කඩු පහරක් එල්ල කොට ඇත.


මේ කතා ප්‍රවෘත්තියේ වැදගත්කමක් වන්නේ එයින් හින්දු දේව පුරාණයේ සිටින ප්‍රධාන දෙවිවරුන්ගේ විවිධ ස්වරූපයන්ගේ පහළවීම ගැන අදහසක් මතුවන බැවින්ය. එයට අනුව ශිව දෙවියන්ගේ රෞද්‍ර, විනාශකාරී ස්වරූපය විද්‍යාමාන වන්නේ කාල බහිරවගෙන්ය. එනම් ශිව සහ කාල බහිරව යනු දෙදෙනෙකු නොව එක් අයෙකු වන අතර බහිරව හරහා ශිව දෙවියන්ගේ යම් ගුණයක් හෝ කෘත්‍යයක් නිරූපණය වේ. එම විද්‍යාමාන වීම් එකිනෙකට වෙනස් ස්වරූපයන්ගෙන් පවතින අතර එකිනෙකා අතර සම්බන්ධතා ද පවත්වා ගනියි. නමුත් ශිව සහ කාල බහිරව යන දෙදෙනාටම ඇත්තේ එකම මූලික විඥානයකි. මෙහිදී බ්‍රහ්මයා කෙරෙහි කෝපයට පත්වන ස්වරූපයත් ශිවගේ තවත් එක් විද්‍යාමාන වීමක් (manifestation) වන අතර එය හා කාල බහිරව යන ස්වරූප දෙකේම මූලය වන්නේ 'පරමශිව' නමින් හැඳින්වෙන තත්වයකි. මෙය හැඩයක් නොමැති (formless), ශක්තියේ හා විඥානයේ එකතුවකි.


හින්දු ධර්මයේ එන ශක්ත සම්ප්‍රදායට (Shaktism) අනුව දෙවියන්, බහිරවයන්, අසුරයන්ට වඩා ඉහළින්ම පවතින දෙය වන්නේ යම්කිසි බලවත් ශක්තියකි (primordial cosmic energy). එය 'ආදී ශක්ති' (Adi Shakti) ලෙස හඳුන්වන අතර එය දිව්‍යමය ස්ත්‍රී ශක්තියක් ලෙස සලකයි. දුර්ගා, කාලි, ලක්ෂ්මී, ත්‍රීපූර සුන්දරී වැනි දේවතාවියන් මෙන්ම ත්‍රිමූර්තිය ලෙස සලකන බ්‍රහ්ම, විෂ්ණු හා ශිව ද මෙම ශක්තියේ විද්‍යාමන (manifestation) වීමකි. ලෝකය මැවීම, ආරක්ෂා කිරීම, විනාශ කිරීම ආදියට සම්බන්ධ වීමේදී ඔවුන් හරහා ක්‍රියාත්මක වන්නේ ආදී ශක්තියයි. මෙයින් ශිව දෙවි වෙන්කර ගතහොත්, ඔහුගේ විවිධ ගුණ හා කෘත්‍යයන් නිරූපණය වන ස්වරූප දක්නට ලැබේ. කාල බහිරව, රුද්‍ර, නටරාජ, සෝමස්කන්ධ, මහාකාල එවැනි ස්වරූප කිහිපයකි. මෙයින් සෝමස්කන්ධ යනු ශිව දෙවි, පාර්වති හා ස්කන්ධ සමඟ පවුලක් වශයෙන් නිරූපණය වීමයි.


මෙම දෙවිවරුන්ගේ මූලික ආකාරය ශක්තියක් නිසා හින්දු යෝගීන්ට කුණ්ඩලිනී භාවනා, යන්ත්‍ර, මන්ත්‍ර ජප කිරීම වැනි ක්‍රම වලින් මෙම දෙවියන් (=ශක්තිය) සමඟ සම්බන්ධ වීමට මෙන්ම එම දෙවියන්ගේ ස්වරූපය ආරෝපණය කරගැනීමට පවා හැකියාවක් ලැබේ. විශේෂයෙන් තන්ත්‍ර සම්ප්‍රදායේදී දෙවියන් හා සම්බන්ධ වීමේ මාර්ගයක් ලෙස මන්ත්‍ර ජප කිරීම යොදාගනියි. මුලින් සඳහන් කල පරිදි දෙවියන් යනු ශක්තියේ විද්‍යාමාන වීමක් නිසා ඔවුන්ට හැඩයක් (image-form) මෙන්ම ශබ්ද/කම්පන (sound-form) ආකාරයක් ද පවතී. එක් එක් දෙවියන් වෙනුවෙන් ඇති මන්ත්‍ර ජප කිරීමේ දී සිදුවන්නේ මතුපිටින් පෙනෙන ලෙස එම දෙවියන් වෙනුවෙන් යාතිකා කිරීමක් පමණක් නොව නොනවත්වා ජප කිරීම නිසා දෙවියන්ගේ ශබ්ද ස්වරූපයේ සංඛ්‍යාතයට සමාන වීමය. පුරාණයේ සෘෂිවරු එක් එක් දෙවිවරු සඳහා මන්ත්‍ර නිර්මාණය කර තිබෙන්නේ එම කරුණු සලකා බලාය.


එකම මන්ත්‍රය නැවත නැවත ජප කිරීම නිසා අවධානය එක් තැනකට යොමුවී, සිත එක් අරමුණකට පත්වීම ද සිදුවේ. උදාහරණයකට "ඔම් නමහ්ඃ ශිවාය" වැනි මන්ත්‍රයක් ජප කිරීමේදී මුලින්ම සිත එකඟ වීම සිදුවන අතර ජප කිරීම එක්තරා රිද්මයකට අනුව දිගටම කරගෙන යාමේදී තමන්ගේ ශරීරයත් එම මන්ත්‍රයේ සංඛ්‍යාතය හා සමාන වීමක් සිදුවේ. මෙය දෙවියන්ගේ ශබ්ද සංඛ්‍යාත සමඟ සමාන වීමක් ලෙස සැලකේ. තවත් ඉදිරියට යෑමේදී බාහිර ලෝකය ගැන අවධානය ඉවත්වන අතර එය දෙවියන් කෙරෙහි පමණක් යොමුවේ. මන්ත්‍ර ජප කිරීම ද ස්වයංක්‍රියව මෙන් ගලායයි. අවසානයේ දෙවියන් හා යෝගියා (=මම) යන ද්වතාවය බිඳ වැටී දෙවියන් සමඟ සංයුක්ත වීමක් සිදුවේ. එනම් එම මොහොතේ දෙවියන් හා යෝගියා අතර වෙනසක් නැත. මෙම ස්භාවය නිසා තන්ත්‍ර, ශක්ත, කාෂ්මීර ශෛව වැනි සම්ප්‍රදායන් මන්ත්‍ර සලකන්නේ දෙවියන් නිරූපණය වන සංකේතයක් ලෙස නොව මන්ත්‍ර යනු දෙවියන්ම ලෙසයි. එනම් මන්ත්‍ර හා දෙවියන් යනු දෙකක් නොව එකම ශක්තියේ ස්වරූප දෙකක් බවයි. සුසාන භූමි ආශ්‍රිතව වෙසෙන අගෝරි සම්ප්‍රදායට අයත් සාධුවරුන් අනෙක් හින්දු සම්ප්‍රදායන් අසම්මත හෝ පාපයන් යැයි සලකන ක්‍රියාකාරකම් (පංචමකර) වල යෙදෙයි. මෙම ක්‍රියාකාරකම් තුල ඇති පාපකාරී ස්භාවය ඉවත් කර එය දෙවියන් සඳහා වූ පූජාවක් බවට පත්කිරීමට ඔවුන් යොදාගන්නේ මන්ත්‍ර ජප කිරීමය. අවසානයේ දෙවියන්ගේ ශක්තිය සමඟ සම්බන්ධය ගොඩනඟා ගැනීම දක්වා මන්ත්‍ර ජප කිරීම යොදාගනියි.


ශක්ත දර්ශනයේ ගැඹුරට යන විට දෙවියන්ගේ මූලික ස්භාවය ශක්තියක් ලෙස විග්‍රහ වනවිට හින්දු දහමේ දැක්වෙන ෂඩ් දර්ශන වලින් ඇතැම් දර්ශන සර්වබලධාරි, නිර්මාපක දෙවියන් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරයි. වේද ග්‍රන්ථ පදනම් කරගෙන පසුකාලීනව සෘෂිවරු විසින් දර්ශනවාද හයක් බිහිකොට ඇත. ඒවා නම් වශයෙන් න්‍යාය, වෛශේෂික, සංඛ්‍යා, යෝග, මිමංසා සහ වේදාන්ත ලෙස දැක්විය හැක. මෙයින් සංඛ්‍යා හා මිමංසා යන දර්ශනවාද සැලකෙන්නේ නිර්මාපක දෙවියෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන ඉගැන්වීම් ලෙසයි. සංඛ්‍යා දර්ශනයේදී, නිර්මාපක ඊශ්වර හෝ ආදිශක්ති වෙනුවට ආදේශ වන්නේ පුරුෂ හෙවත් සවිඥානිකත්වය (pure consciousness) සහ ප්‍රකෘති හෙවත් ස්භාව ධර්මයයි (nature/ unconscious material). මෙම කොටස් දෙකේ එකතුවෙන් ස්භාවිකව ලෝකය නිර්මාණය වන අතර එයට දිව්‍යමය මැදිහත් වීමක් අවශ්‍ය නොවේ. සංඛ්‍යා දර්ශනය ලෝක නිර්මාපක ඊශ්වර සංකල්පයට එරෙහිව තර්ක කිහිපයක් ගෙන එයි.


• ඊශ්වරයෙකුගේ පැවැත්ම ප්‍රත්‍යක්ෂයෙන්, තර්කයෙන් සනාථ කල නොහැක.


• ඊශ්වරට ඇත්තේ සදාකාලික හා නොවෙනස්වන පැවැත්මක් නම් ඔහු ලෝකය නිර්මාණය කරන්නේ කෙසේද? නොවෙනස්වන ස්භාවයක් තිබෙන අයෙකුට ලෝකය නිර්මාණය කල නොහැක. ඒ නිර්මාණය තුලට යොමුවීම තුලම වෙනස්වීම තිබෙන බැවින්ය.


• ඊශ්වර ලෝකය නිර්මාණය කරන්නේ ආශාව/කැමැත්ත මත නම් එයින් පෙන්නුම් කරන්නේ ඔහු අසම්පූර්ණ බවයි. පරිපූර්ණ තත්වයේ සිටින්නෙකුට තවදුරටත් ආශාවක් ඇතිවිය නොහැක. ඊශ්වර ලෝකය නිර්මාණය කරේ ආශාවකින් තොරවනම් ඔහුට ලෝකය නිර්මාණය කිරීමට හේතුවක්/පෙළඹවීමක් නැත.


• ලෝකයේ පවතින දුක් සහිත ස්භාවය, අසාධාරණය සහ අපරිපූර්ණතාවය ලෝකය නිර්මාණය කල සර්වබලධාරි, කාරුණික ඊශ්වරයෙකුගේ අදහසට පටහැනි වේ. ඊශ්වරයෙකු සිටීනම් ලෝකය දුක් සහිත තැනක් වීමට හේතුවක් නැත. දුක පවතිනවානම් ඊශ්වර සර්වබලධාරි නොවේ හෝ ඊශ්වර පවතින්නේ නැත.


සංඛ්‍යා දර්ශනය අදේවවාදී වන්නේ නූතන ද්‍රව්‍යවාදී පදනමෙන් නොවේ. එය දෙවියන්ගේ පැවැත්ම හා කර්ම-ඵල සංකල්පය පිළිගන්නා අතර සර්වබලධාරි, නිර්මාපක ඊශ්වරයෙකු පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරයි. කර්මය ක්‍රියාත්මක වන්නේ ස්භාවික නියම වලට අනුව මිස ඊශ්වරගේ කැමැත්ත අනුව නොවේ.


කර්ම න්‍යාය පිළිගන්නවානන් ඊශ්වරයෙකුගේ භූමිකාව අවශ්‍ය නොවේ. ඊශ්වරයෙකු විසින් ක්‍රියාවක ප්‍රතිඵලය බලාත්මක කරනවානම් කර්ම න්‍යායක් අවශ්‍ය නොවේ.


හින්දු දේව සංකල්පය හින්දු දේව සංකල්පය Reviewed by Fox Talks on 7:53 AM Rating: 5

No comments :

Powered by Blogger.