ඊනියා බෞද්ධ-ක්‍රිස්තියානි හාමොනිය
මෙවැනි සිදුවීම් දැන් විරල නොවේ. පසුගිය වෙසක්, පොසොන් දිනයන්හි මහනුවර ප්‍රදේශයේ මිනිසුන් ද වැල නොකැඩී මාර්ග දිගේ ගමන් ගන්නවා දක්නට ලැබුණි. ඒ නැරඹීමට තරම් තොරණ්, වෙසක් කූඩු ප්‍රමාණයක් නොමැති තත්වයක් තුලය. නමුත්, කාර්, වෑන්, වීල්, ලොරි වල නැගී විශාල මාර්ග තදබද ඇති කරමින් මිනිසුන් නගර සංචාරයේ යෙදෙයි. මෙම සංසිද්ධිය දෙස බැලීමේදී පෙනෙන දෙයක් නම් විනෝදය ඇත්තේ කොහෝ හෝ තිබෙනවා යැයි කියන වෙසක් තොරණක් හෝ කූඩුවක් බැලීමට වඩා එය බැලීමට යන ගමනේ බවයි. පැය ගණන් මාර්ග තදබදයේ හිර වෙමින්, වාහන හප්පා ගනිමින්, බැන වදිමින් යන වේදනාත්මක ගමනේ ගීත ගායනා කරමින්, උසුළු විසුළු, විවිධ ශබ්ද නගමින් වින්දනයක් ද ලබාගනිති. එනම්, එහි ඇත්තේ වේදනාත්මක වින්දනයකි.
මෙවැනි සංස්කෘතික හා ආගමික උත්සව අවස්ථා දැන් පත්ව තිබෙන්නේ එම උත්සවයට සම්බන්ධ යම්කිසි සැමරීමකට වඩා වාසස්ථාන වලින් එළියට පැමිණ ඒකාකාරී ජීවිතයට යම්කිසි වෙනසක් ලබාගැනීමට හැකි මාර්ගයක් බවටය. බටහිර රටවල වසන්ත මාසයන්හි එළිමහනේ පැවැත්වෙන ප්‍රයිඩ් පැරඩ් සඳහා සහභාගී වන්නේ එම කොමියුනියට අයත් පිරිස් පමණක් නොවේ. මාර්ග දිගේ ඇවිදිමින් විනෝද වීමට ඇති හැකියාව නිසා සම්බන්ධ වන එම කොමියුනියට අයත් නොවන පිරිසක් ද එහි සිටිති.
සමස්තයක් වශයෙන් මේ ආකාරයට වාසස්ථානයෙන් පිටතට ගොස් විනෝදවීමේ ප්‍රවණතාවයන් වැඩිවී ඇත. කලකට පෙර පාසල් නිවාඩු, දීර්ඝ සතිඅන්ත වලට පමණක් සීමා වූ චාරිකා දැන් අවස්ථාවක් ලැබෙන ඕනෑම මොහොතක යයි. මෙම විපර්යාසයට හේතුව තේරුම් ගත හැකිය. තරඟකාරී, සංකීර්ණ, පරිභෝජනවාදී ජීවන රටාව විසින් නිපදවන ආතතිකාරී පවුල් සම්බන්ධතා, කාර්යබහුල රැකියාවන් ඇති කරන පීඩනය පිටකිරීමේ මාර්ග අවශ්‍ය වේ. මෙවැනි උත්සව සමයන්හි තමන්ගේ වේදනාකාරී ජීවිතයට වෙනසක්, සහනයක් ලබාදිය හැකි යමක් පිටත ලෝකයේ සිදුවන බැවින්, යමෙකු එම අවස්ථාවන් හා සම්බන්ධ විය යුතුය යන අදහසින් පිටතට පැමිණෙයි. එය බොහෝදෙනෙකුගේ ද සිතුවිල්ලක් නිසා මෙවැනි අසාමාන්‍ය ජන ඒකරාශි ඇතිවේ. ඩිජිටල් හා සමාජ මාධ්‍ය ප්‍රවණතා නිසා ඉහළ ගොස් තිබෙන නාසිස්ම අවශ්‍යතා සපුරාගැනීමට, විශේෂයෙන් තරුණ පරම්පරාව ද මෙවැනි අවස්ථා වලට සහභාගි වේ. සෙල්ෆි, රීල්, ලයිව් ස්ට්‍රීම් ක්ෂණිකව සමාජ මාධ්‍ය වෙතට උඩුගත කරමින් තමන්ගේ විනෝදය අනෙකාට දැනගැනීමට සලස්වයි.
ගෝල්ෆේස් අවට නත්තල් නැරඹීමට ගොස් තිබෙන මෙම විශාල ජනකායෙන් සංකේතවත් වන්නේ ඊනියා බෞද්ධ-ක්‍රිස්තියානි හාමොනියක් නොව නූතනත්ව ජීවන රටාව තුල ඉහළ ගොස් ඇති නාසිස්ම ලක්ෂණ, ආතතිය, විෂාදය, පරිභෝජනවාදී පුරුදු, ආදිය නිසා ඇතිවී ඇති විපරීත තත්වයකි. පසුගිය කාලයේ මෙම ජන ඒකරාශි යොදාගත්තේ රටේ සෞභාග්‍යයට අදාළ සතුටු දර්ශක ලෙසයි.
Reviewed by
Fox Talks
on
8:30 AM
Rating:

No comments :