කැන්ඩි නයිට් මාකට්

 


මහනුවර සලකන්නේ රාත්‍රි ජීවිතයක් හෙවත් නයිට් ලයිෆ් එකක් නොමැති නගරයක් ලෙසටය. සවස හය පමණ වනවිට බොහෝ කඩ සාප්පු වැසී යන අතර රාත්‍රි හත, අට වනවිට වීදි ජනශුන්‍ය බවට පත්වේ. අතරින් පතර ඇති හෝටල්, කැෆේ, රෙස්ටුරන්ට් ආදියේ පමණක් සුළු පිරිසක් එකතු වී සිටියි. රාත්‍රි අට, නවය පමණ වනවිට ජනයා සහ වාහන ගැවසෙන කාර්යබහුල ස්ථාන බවට පත්වන්නේ චැනල් සෙන්ටර්, කීල්ස්, ආර්පිකෝ වැනි ස්ථාන පමණි. මෙම තත්වයේ වෙනසක් ඇති කිරීමට මෑතක සිට නයිට් මාකට් සංකල්පය සෙනසුරාදා දිනයන්හි ක්‍රියාත්මක වෙයි.


නයිට් මාකට් සැණකෙළිය පැවැත්වෙන්නේ දළදා වීදියේ සහ කොටුගොඩැල්ල වීදියේ කොටසකය. එක් පසකින් විවිධ භාණ්ඩ අලෙවියට තබා ඇති වෙළඳ කුටිය. මහනුවර අවට ඕනෑම වෙළද ප්‍රදර්ශනයක් අවස්ථාවේ දක්නට ලැබෙන අත්කම් භාණ්ඩ, හකුරු නිෂ්පාදන, පන් මලු, තෙල් බෙහෙත්, පාපිසි, ජෑම් බෝතල් ආදිය විකුණන වෙළද කුටි එක පසකින් ද හොට් ඩෝග්, ෆෘට් ජූස්, කූරු වල ගැසූ කෑම වර්ග, බිත්තර රොටි, රයිස්, නූඩ්ල්ස් විකුණන කුටි අනෙක් පසින් ද තිබේ. රාත්‍රි මත, අට වනවිට නයිට් මාකට්ටුව පැවැත්වෙන ප්‍රදේශය අතුරු සිදුරු නැතිව පිරී ගොසින්ය. මාකට් භූමියට අවතීර්ණ වන ජනයා කිසිදු අරමුණක් නොමැතිව විදී දිගේ ඉහළ පහළ ගමන් කිරීමට පටන් ගනිති.


ඉන්පසු ඔවුන් යොමු වන්නේ පොදි කමින් හොට් ඩොග්, මඤ්ඤොක්කා පෙති ආදිය මිලදී ගැනීමටය. මෙහි ඇත්තේ දන්සලක ස්භාවය වුවත් වෙනසකට ඇත්තේ මුදල් ගෙවීමට සිදුවීමය. එය දන්සැල් ආකෘතිය යැයි කිවහැක්කේ විනෝදය ඇත්තේ ආහාර පරිභෝජනයේ නොව ආහාර ලබාගැනීමට ගන්නා උත්සහය තුල නිසාය. ගෙදරින් බඩ පිරෙන්ඩ බත් කා නිදා ගැනීමට හැකියාවක් ති⁣බියදීත් වෙසක්, පොසොන් කාලවලදී ජනයා පැය ගණන් ගමේ බත් දන්සල් පෝලිමට වී දූන්තෙල් බත් කෑමට බලා සිටිති. නයිට් මාකට්ටුව අසල තත්වය ද තරමක් ඒ ආකාරය. එම මුදලටම සමාන ආහාර පාන පහසුවෙන් ලබාගත හැකි හෝටල්, කැෆේ, රෙස්ටුරන්ට් මීටර් කිහිපයක දුරකින් තිබියදී පොර බඳිමින්, තෙරපෙමින්, රිංගා ගෙන කඩදාසි පිඟානකට රැගෙන එන බිත්තර රොටියක හෝටලයකින් ඇනවුම් කරන බිත්තර රොටියකට වඩා විනෝදයක් අඩංගුය. එම අතිරික්ත විනෝදය ඇත්තේ ආහාරයේ හෝ එහි රස ගුණ තුල නොව ආහාර මිලදී ගැනීමට දරන උත්සහය තුලය. සාමාන්‍ය හෝටලයක මේසයට ගෙනවිත් තබන බිත්තර රොටියකින් සන්තෘප්ත වන්නේ බඩගින්න පමණකි. නමුත්, නයිට් මාකට්ටුව අතිරික්ත විනෝදයක් පොරොන්දු වෙයි. තදබදය මඟ හැරීමට මාකට්ටුව තවත් විදී කිහිපයකට ව්‍යාප්ත කිරීම සුදුසු වුවත් එයින් එම විනෝදය අහිමි වීමට ඉඩ ඇත.




කැන්ඩි නයිට් මාකට් කැන්ඩි නයිට් මාකට් Reviewed by Fox Talks on 8:11 AM Rating: 5

No comments :

Powered by Blogger.