කෝපි සංස්කෘතියේ කතාවක්


 

අද වැස්සක් එන්නද? එහෙමත් නැත්තම් වෙනදට කලින් හැන්දෑව ඇවිල්ල ද? ඉක්මනින් කොෆිෂොප් එකට යා ගන්න ඕන. වැඩ ඉවර වෙලා ඉක්මනට කොෆිෂොප් එකට දුවන එක පුරුද්දට කරන දෙයක් මිස, වැස්ස හින්දාවත්, මම එනකම් කවුරුවත් බලාගෙන ඉන්න හින්දාවත් කරන දෙයක් නෙමෙයි.


අද කොෆිෂොප් එකත් ටිකක් පාලුයි වගේ. හැමදාම එන වයසක මැල්කම් මහත්තයත් පේන්න නෑ.


" ගුඩ් ඊවිනින් ක්ලෙයාර් "


කොහොමත් ගිය සැප්තැම්බරේ ඉදන් මේ කොෆිෂොප් එක මට මහ පාලු තැනක්. මම එහෙම කොෆිෂොප් ඇතුලේ පැය ගණන් කෝපි බීපු මිනිහෙක් නෙමෙයි. මම පුරුදු වෙලා හිටියේ ස්ටේෂන් එක කිට්ටුව තියෙන පාක් එකේ බංකුවක ටිකක් වෙලා නිදහසේ වාඩිවෙලා ඉදලා යන්න.


එයා තමයි මාව ඉස්සරලම මෙතනට එක්කගෙන ආවේ. ඒ වැස්ස දවසක. අපි හම්බ වෙන්න හිටියේ පාක් එකේ. ඒත් වැස්ස නිසා එයා යෝජනා කරා කෝපි එකක් බොන්න යමු කියලා. මේ එයාගේ කැමතිම කොෆිෂොප් එක. පස්සේ මගෙත් කැමතිම තැන වුනා.


වැහි බිංදු එක දෙක වැටෙනවා. තව ටිකකින් වැස්ස සැර වෙයි. ඉස්සර වැස්සයි, කෝපියි එකතු වෙලා මවන ⁣රොමැන්ටික් වටපිටාව වෙනුවට දැන් මගේ ඉස්සරහ තියෙන්නේ විශාල හිස් කමක්. ඒක දරා ගන්න තාමත් මට ටිකක් අමාරුයි. ඒත් මේ කොෆිෂොප් එකට තියෙන කැමැත්ත එහෙම්මයි. ඇන්තනි ට්‍රොලොප් කියලා ලේඛකයෙක් කියනවා, සැපපහසු සෝෆා එකක හොඳ පොතක් කියවන ගමන් කෝපි කෝප්පයක් බොන එකට වැඩිය ලක්ෂරියක් තියෙන්න පුළුවන් ද කියලා. ට්‍රොලොප්ට වැස්ස අමතක වෙලා.


" වැස්සක් එන්න වගේ. ඒත් ඔයා නොවරදවාම එයි කියලා අපි දැනගෙන හිටියා. "


අපි තැනකට කැමතියි කියද්දි, ඉන්ටීරියර් ඩිසයින් එකෙන් සබ්කොන්ෂස් එකට වෙන බලපෑම ගැන එයාගේ අදහසට අදටත් මම එකඟයි. අපි හැමදාම හැන්දෑවට කෝපි බිබී ගොඩක් දේවල් ගැන කතා කරා. අන්තිමට අපිට කෝපි නොබී කතා කරන එක අමාරු දෙයක් වුණා. ඒත් අපි අනාගතය සැලසුම් කරේ නෑ. එකපාරක් අපි ට්‍රී හවුස් එකක් හදන හැටි කතා වුණා. ඒක බැරෑරුම් අනාගත සැලසුමක් විදිහට නෙමෙයි කරේ. අපිට ඕන වෙලා තිබුණේ මේ කාර්යබහුලත්වයෙන් ටිකකට මිදෙන්න. එයා වැඩිපුර කතා කරේ ඉන්⁣ටීරියර් කරන විදිහ ගැන. ඒවා මම ආසාවෙන් අහන් හිටියා. කොහොමත් එයාගේ ඩිසයින් වලට විරුද්ධ වෙන්න තරම් හේතුවක් මට තිබුණේ නෑ.


එයාට ඕන වුනේ ෆෝන් සිග්නල් වත් නැති පැත්තක ට්‍රී හවුස් එක හදන්න.


" අපි ට්‍රී හවුස් එකක් හදන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ටික කාලෙකට හරි, මේ කාර්යබහුල නගරය, රැකියාව, මිනිස්සු එක්ක ගැට ගැහිලා තියෙන අපේ වේදනාකාරී යථාර්ථයෙන් පලා යන එක. එහෙම තැනකට ටෙක්නොලොජි අරන් ගිහින් අපි පැනලා ආපු යථාර්ථයටම ආපහු සම්බන්ධ වෙන්නේ ඇයි? "


" ඔයාගේ තර්කය මට නොතේරෙනවා නෙමෙයි. එහෙම බැලුවොත් කෝපි කියන්නෙත් නගරයට, ශිෂ්ඨාචාරයට සම්බන්ධ දෙයක්. අපි කෝපි සංස්කෘතියක් කියලා එකක් හදාගෙන, කොෆිෂොප් වලට එකතු වෙලා දේශපාලනය, දර්ශනය, ආදරය, කලාව, චිත්‍රපටි ගැන කතා කරන්නේ නාගරික සමාජ සම්බන්ධතා වල කොටසක් විදිහට. ට්‍රී හවුස් එකේ කෝපි බොන්නත් බෑ එතකොට "


" එච්චර එක්ස්ට්‍රීම් යන්න ඕන නෑ "


එයා හිනා වෙවි කිව්වා. එයා කොහොමත් කැමති ක්‍රීම් ගොඩක් එක්ක එයාගේ කෝපි එක බොන්න. මම කැමති කළු කෝපි වලට. බටර් ක්‍රොසන්ට් වලටනන් අපි දෙන්නම කැමතියි.


" ක්ලෙයාර්, මට කෝපි කෝප්පයක් දෙන්න ක්‍රීම් නැතුව "


මම කොහොමත් කෝපි බොන්නේ ක්‍රීම් නැතුව කියලා ක්ලෙයාර් දන්නවා. ඇයි අද එහෙම දෙයක් කියවුණේ? සැප්තැම්බර් මාසෙන් පස්සේ මම මේ කොෆිෂොප් එකේ ක්‍රීම් තියෙනවද නැද්ද කියලවත් දන්නේ නෑ.


චැහ්! ඊයේ ගත්ත පොතත් ඔෆිස් එකේ ලාච්චුවේ අමතක වුනානේ. ටැබ් එක හරි, ෆෝන් එක හරි බල බල කෝපි බොන එකේ ලොකු නොගැලපීමක්, සම්ප්‍රදායට පටහැනි බවක් දැනෙනවා. ඒත් ෆෘට් ජූස් එකකට එහෙම දැනෙන්නේ නෑ. මම එච්චරකටම කෝපි සංස්කෘතියේ ගිලුණු මිනිහෙක් වුනේ කොහොමද?


කමක් නෑ, මේ වගේ දවසක පාර දිහා බලාගෙන ඉන්න එකත් කොච්චර සුන්දර අත්දැකීමක් ද? වැස්සට කලින් කඩිමුඩියේ ගෙදර දුවන මිනිස්සු. අර ගෑණු ළමයට කුඩේ අමතක වෙලා වගේ.


අද කෝපි එක පරක්කුයි....


" සමාවෙන්න. අද අපේ ක්‍රීම් ඉවර වෙලා. ඒ වෙනුවට ඔයාට කෝපි එක ගේන්නද කිරි නැතුව? " 

කෝපි සංස්කෘතියේ කතාවක් කෝපි සංස්කෘතියේ කතාවක් Reviewed by Fox Talks on 10:38 AM Rating: 5

No comments :

Powered by Blogger.