ආශ්වාදය - විෂාදය - surplus enjoyment

 

What if public libraries were open late every night and we could engage in public life there instead of having to choose between drinking at the bar and domestic isolation.

මෙම අදහසේ නූතන ජීවිතයේ සමාජ සම්බන්ධතා ගැන විවරණයක් ගැබ්ව ඇත. විධිමත් අධ්‍යාපනයක් ලබා, ඉන්පසු ජීවත්වීම සඳහා මුදල් ඉපයීමට කාර්යබහුල රැකියාවක නිරතවීම ආදී ලෙස නාගරික ජීවිතයකට හුරුවී සිටින පුද්ගලයෙකුට (බටහිර සමාජ සැකැස්මට අනුව) විවේකය තමන්ට කැමති ආකාරයෙන් ගතකිරීමේ නිදහසක් ඇත. එය හිතමිත්‍රයන් සමඟ ⁣රෙස්ටුරන්ට්, නයිට් ක්ලබ්, කොෆිෂොප්, පබ්, ෆිල්ම් හෝල් වැනි ස්ථාන වල සමාජ සම්බන්ධතා පැවැත්වීම හෝ නිවසට වී රසවත් කෑම වේලක් ඇනවුම් කර ඩිජිටල් තිරයකට මුහුණ යොමාගෙන නෙට්ෆ්ලික්ස්, යූටියුබ්, පෝර්න්හබ් නැරඹීම හෝ වීඩියෝ ක්‍රීඩා කිරීම විය හැකිය. මෙහි ඇත්තේ ඕනෑම දෙයක් කිරීමට නිදහස ඇති සමාජයක (permissive society) ලක්ෂණය. එම තෝරාගැනීම් වලට අමතරව රාත්‍රී කාලයේ පුස්තකාලයක ගත කිරීම යනු නිදහස සීමා කොට ඇති අවකාශයකට යෑමය. ඕනෑම දෙයක් කිරීමට නිදහස ඇති තත්වයක සිට නිදහස සීමා කරන අත්දැකීමක් අවශ්‍ය වී ඇත්තේ ඇයි?

අතෘප්තිය හා විෂාදය >>

මෙය පැහැදිලි කරගැනීමට ස්ලාවෝජ් ජිජෙක්ගේ අදහස් කිහිපයක් යොදා ගනිමු. (Surplus-Enjoyment: A Guide For The Non-Perplexed)

ජිජෙක්ට අනුව ධනවාදී සමාජයක සුපිරි ඊගෝව නියෝග කරන්නේ හැකිතාක් විනෝද වන ලෙස හා ජීවිතය උපරිමයෙන් විඳින ලෙසය. මිනිසාගේ ආශ්වාදය (enjoyment) සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මෙතරම් බහුලව තිබෙන හා පහසුවෙන් ලබාගත හැකි කාලයක් මීට පෙර තිබී නැත. ඔබට අවශ්‍ය සංගීතය නම්, කැමති ඕනෑම ගීතයක් විනාඩියකටත් අඩු කාලයක් තුලදී සොයාගෙන ඇසිය හැක. ඔබට අවශ්‍ය ලිංගික ආශ්වාදය නම් සහකාරියක් සොයාගැනීමට මොබයිල් ඇප්ස් ඕනෑ තරම් තිබෙන විට, ඔබගේ ඕනෑම ලිංගික ෆැන්ටසියකට ගැලපෙන අශ්ශීල රූපරාමු කිසිදු වාරණයකින් තොරව ඩිජිටල් තිරයකට ගත හැක. රස නහර පිනා යන ඕනෑම ක්ෂණික ආහාරයක් තරු පන්තියේ අවන්හලකින් ඇනවුම් කොට විනාඩි කිහිපයක් ඇතුලත නිවසටම ගෙන්වා ගත හැක. නමුත්, ⁣අපව තෘප්තිමත් කරගැනීමට අවශ්‍ය සියලු දෑ ඉතා පහසුවෙන් සපයා ගැනීමට හැකියාවක් තිබිය දීත්, සමාජය පිරී පවතින්නේ අතෘප්තිමත් හා විෂාදයෙන් (depression) පෙලෙන හෝ ඉක්මනින් ඒවාට ගොදුරු වන මිනිසුන්ගෙන්ය. මිනිසුන්ගේ ආත්ම තුල කිසිදා පිරවිය නොහැකි හිඩැසක් ඇති වී තිබේ. මෙයට පිළියමක් ලෙස ජිජෙක් පැහැදිලි කරන්නේ, permissive සමාජයේ ඇති විසංවාදය බිඳ දැමිය හැකි සාංදෘෂ්ටික ස්ථාවරයකි. ඔහු එය හඳුන්වන්නේ subjective destitution ලෙසය.

Surplus Enjoyment >>

Permissive සමාජයක අපට ප්‍රීතියෙන් සිටීමට නොහැකි හා විෂාදයට පත්වන්නේ ඇයි? එයට හේතුව වන්නේ අප ප්‍රීතිය හෝ ආශ්වාදය ක්‍රියාත්මක වන ආකාරය නොදැනීමයි. එය තේරුම් ගැනීමට surplus enjoyment නම් සංකල්පය අවශ්‍ය වේ. Surplus enjoyment යනු ආශ්වාදය කරා යන ගමනේදී එයින් අපගමනය වීම නිසා ලැබෙන අමතර ආශ්වාදයකි. තවත් ආකාරයකින් කියනවා නම් අපට ආශ්වාදය ගෙන දෙන්නේ එම ආශ්වාදය ගෙන දෙන වස්තුව නොව, එම වස්තුව ලබා ගැනීමට බාධක මැඬ පවත්වමින් කරන අසීරු උත්සහය ය. නමුත්, surplus enjoyment යනු ඔබ යමක් ආශ්වාද කරනවිට, තවත් යමක් ලැබීම නිසා ලැබෙන අමතර ආශ්වාදයක් ද නොවේ. ලැකාන්ට අනුව ආශ්වාදය වන්නේම මෙම surplus enjoyment ය. ආශ්වාදයේ ගැටළුව වන්නේ අපට එය සෘජුවම අත්විඳීමට නොහැකි වීමය. එමනිසා එය අත්විඳීමට සිදුවන්නේම අතිරික්තයක් ලෙසටය. අනෙක් අතට කිවහැක්කේ ඔබ සෘජුවම ආශ්වාදය අත්විඳීමට උත්සහ කරන්නේ නම් එය අත්විඳීම මඟ හැරෙන බවයි. Permissive සමාජය ගැන ජිජෙක්ගේ අදහස සමඟ ගලපා කිවහැක්කේ, permissive සමාජය අපට ආශ්වාදය සෘජුවම අත්විඳීමට ඉඩ සලසා දෙයි. නමුත්, මෙම සෘජු ඉඩ සලසා දීම හා ආශ්වාදය ලබාගැනීමට ඇති බාධා ඉවත් කිරීම නිසා අපට තවදුරටත් ආශ්වාදය ලබාගත නොහැකි දෙයක් බවට පත්වී ඇත. එමනිසා නැවතත් විරුද්ධාභාෂයක් ලෙස කිවහැක්කේ ආශ්වාදය දක්වා වැටී ඇති මාර්ගයේ බාධක ඉවත් කිරීම නිසා ආශ්වාදය ලබාගැනීම පහසු වනවා වෙනුවට සිදුවී ඇත්තේ විෂාදයට හෝ පරාරෝපණයට ලක්වීමටය. එමනිසා සැබෑ ආශ්වාදය වන්නේම surplus enjoyment ය.

ආශ්වාදය දිගටම පවත්වා ගැනීම >>

මෙහිදි තවත් මනෝවිශ්ලේෂණ සිද්ධාන්තයක් සලකා බලමු.

ප්‍රමෝදය අත්හැරීම මඟ පෙන්වන්නේ අත්හැරීමේ ප්‍රමෝදය දෙසටය - The renunciation of pleasure leads to pleasure in renunciation.

මෙය හිස්ටීරියාවේ සිද්ධාන්තයක් ලෙස ද යොදාගත හැකිය. විධිමත් ආකාරයට දැක්වුවහොත් කිවහැක්කේ, ආශාව මර්දනය කිරීම මඟ පෙන්වන්නේ මර්දනයට ඇති ආශාව දෙසට බවය. (Repression of desire leads to desire for repression) ඒ සඳහා හිස්ටෙරිකයෙකු අනෙකාගෙන් ඉල්ලා සිටින දෙය ඉෂ්ට නොවී පැවතිය යුතුයි. ඒ අනුව දැන් පැවැත්වෙන බොහෝ විරෝධතා ව්‍යාපාර හිස්ටෙරික ලෙස සැලකිය හැකිය. විරෝධතාකරුවන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේම එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි යන බලාපොරොත්තුව ඇතුවය. විරෝධතාකරුවන් ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයේ යුද්ධය නවත්වන්න කියා ඉල්ලා සිටින විටම එය ප්‍රතික්ෂේප කරන බවට අපේක්ෂාව ද ඇත. එමනිසා ඉහත ආශාවේ සිද්ධාන්තයට අනුව විරෝධතාවය මර්දනය කිරීමම ආශාව බවට පත් වෙයි.

ගෝල්ෆේස් අරගල සමයේදී ඉදිරිපෙල අරගල ක්‍රියාකාරිකයෙකු වී සිටියේ ජෙහාන් අප්පුහාමිය. නිරුවත් උඩුකය, විවිධ ආභරණ, කුරුසය කර තබාගෙන යාම, ආදිය ඔහු යම්කිසි අරගල අයිකනයක් බවට පත්කර, සමාජ අනන්‍යතාවයක් ද ලබාදී තිබුණි. ගෝඨා ගෙදර යෑමෙන් පසුව අරගලයේ ජීව ගුණය සිඳී ගිය අතර ජෙහාන් අප්පුහාමිගේ ජන අරගලකරුවෙකු වශයෙන් වූ සමාජ අනන්‍යතාවය ද ක්ෂය වීමට පටන් ගැණුනි. මේ නිසා අපට දැකගැනීමට ලැබුණේ ඔහුට සෘජුව සම්බන්ධයක් නොතිබුණු අන්තරේ උද්ඝෝෂණ වලට පවා ඉදිරියෙන්ම උඩුකය නිරුවත්ව ගොස් ජල ප්‍රහාර වලට මුහුණ දෙන ආකාරයය. එයින් ප්‍රකාශමාන වන්නේ මර්දනය කෙරෙහි ඇති බලාපොරොත්තුවය. අනෙක් අය ජල ප්‍රහාර වලින් බේරීමට උත්සහ කරන විට ඔහු බිම වැතිරී ජල ප්‍රහාර දරාගෙන සිටියි. ඒ වනවිට අප්පුහාමිගේ ආශාව බවට පත්වී ඇත්තේ උද්ඝෝෂණය මර්දනය කිරීමය.

ප්‍රමෝදයේ ස්භාවයක් නම්, සෘජුවම එය අත්විඳීමට හැකිවීමෙන් ප්‍රමෝදය අතුරුදහන්ව යයි. ඔබ කැමැත්තෙන් සිටි කාන්තාවක් සමඟ ඉතාමත් පහසුවෙන් ඇසුරක් ඇති කරගැනීමට ඉඩ ලැබුනොත් එහි ඇති ලිංගික මානයන් අතුරුදහන් වී, ප්‍රමෝදය නැති වී යාමට ඉඩ ඇත. ලිංගික මානයන් රඳා පැවතීමට රොමැන්තික හඹායෑම් තිබිය යුතුය. අප ආශ්වාද කරන්නේ අසීරු කොටස මිස එයින් ලැබීමට බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොවන අතර අප⁣ට අවශ්‍ය යැයි සිතන දේ ට ලඟා වීමෙන් පසු එය තවදුරටත් වැදගත් නොවන දෙයක් බවට පත්වේ. එය අතෘප්තියට හෝ විෂාදයට හේතු වේ. එමනිසා අපට අවශ්‍ය දේ ලබා ගැනීම දුෂ්කර හෝ කල්ගත වන තරමට එයින් ලැබෙන ආශ්වාදය රඳවා තබාගැනීමට හැකිවේ. ඇම්ස්ටර්ඩෑම් නගරයේ අවන්හලක කෝපි කොප්පයක් සමඟ ගංජා පානය කිරීම, ගංජා සම්බන්ධව දැඩි නීතිරීති පවතින රටක සිට දිගු දුරක් ගෙවා පැමිණෙන කෙනෙකුට ආශ්වාදජනක දෙයක් වුවත්, ඇම්ස්ටර්ඩෑම් නගර වැසියෙකුට එහි දැඩි ආශ්වාදයක් නොතිබිය හැකිය.

ලිබරල්වාදියෙකු ලෙස පෙනී සිටින චින්තන ධර්මදාස තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් පොර බදනවා පෙනෙන්නේ ගංජා වැනි මත්ද්‍රව්‍ය සහ ලිංගිකත්වයට සම්බන්ධ ලිබරල් ඉල්ලීම් සමඟින්ය. නමුත්, අධිපතිවාදී සංස්කෘතික බලපෑම නිසා ඒවා ඉෂ්ට කරගැනීම අපහසු වන අතර ඔහු එම ඉල්ලීම් වෙනුවෙන් සංස්කෘතික බලාධිකාරියට එරෙහිව මහත් අභිරුචියෙන් අදහස් දක්වයි. (ඔහුගේ ලිබරල් ආශාවන් ඉටු කරදෙන ඉෂ්ට දේවතාවා වී සිටින්නේ රනිල් වික්‍රමසිංහ නිසා මේ දිනවල ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කාලය වෙන්කර ඇත). යම් හෙයකින් කොළඹ බැරිස්ටා ⁣අවන්හලක ගංජා පානයට අවසර ලැබුණහොත් හෝ ඔහු අපේක්ෂා කරන ලිංගික නිදහස ඇතිවුවහොත් ටික කලකින් චින්තන ධර්මදාසට සිදුවන්නේ කුමක් ද? බොහෝවිට ඔහුගේ ජීවිතය අතෘප්තියෙන් පිරී යාමට හෝ විෂාදයට ලක්වීමට හෝ ඉඩ තිබේ. ආශ්වාදය දිගටම පවත්වා ගැනීමට නම් ඔහු කලයුතු වන්නේ ගංජා නීති ගත කිරීම හෝ ලිංගික නිදහස සඳහා වූ නීති සම්පාදනය කරගැනීම දුෂ්කර දෙයක් බවට පත් කර ගැනීම සහ හැකිතාක් එය කල් දමා ගැනීමය. 
ආශ්වාදය - විෂාදය - surplus enjoyment ආශ්වාදය - විෂාදය - surplus enjoyment Reviewed by Fox Talks on 10:59 AM Rating: 5

No comments :

Powered by Blogger.