හිපි ව්‍යාපාරය, LSD, ඉන්දීය යෝගීන් සහ ලිංගික අපචාර චෝදනා

 


60 සහ 70 දශක වල එක්සත් ජනපදය කේන්ද්‍ර කොටගෙන පැන නැඟුන ප්‍රති-සංස්කෘතියක් වන හිපි ව්‍යාපාරයේ අරමුණු වී ඇත්තේ අධිපතිවාදී සංස්කෘතියෙන් වෙන් වූ විකල්ප ජීවන රටාවකට ගමන් කිරීමය. එහිදී ප්‍රධාන සංස්කෘතික ධාරාවේ පුරුෂාර්ථ ප්‍රතික්ෂේප කර දැමීමක් සිදුවේ. යම් හේතුවකට මෙම ප්‍රති-සංස්කෘතික ව්‍යාපාරයට පෙරදිග ආගම් සමඟ යම් ග්‍රස්ථික බැදීමක් තිබුණු බව දක්නට ලැබේ. ඇතැම් විට හිපි ව්‍යාපාරය ආභාෂය ලැබූ Beats සහ Transcendentalism වැනි ව්‍යාපාර වලට පෙරදිග ආගම් වල බලපෑමක් තිබුණු නිසා එවැනි බැඳීමක් ඇති වන්නට ඇත. හිපි ප්‍රජාවේ කොටසක් පෙරදිග ආගම් සමඟ ආධ්‍යාත්මික බැඳීමක් ගොඩනඟා ගෙන තිබුණත්, වැඩි දෙනෙකුට එය සයිකඩෙලික උත්තේජනයක් වැනි දෙයක් පමණක් විය. ඔවුන් නිර්මාංශී වීම, ඉන්දියා⁣නු විලාසිතාවේ ඇඳුම් ඇදීම, ඇට මාල පැලදීම, ඉන්දියා⁣නු සංගීතයට සවන් දීම, නිවසේ බුදු පිළිම තබාගැනීම, සුවඳ කූරු දැල්වීම වැනි බාහිර පුරුදු ඇති කරගත්හ. මෙම වෙනස ජිමී හෙන්ඩ්‍රික්ස් ට පෙරදිග ආගම් තවත් එක් ඇසිඩ් චාරිකාවක් වනවිට බීට්ල්ස් සාමාජිකයන් රිෂිකේෂ් හි ආශ්‍රම වල නැවතෙමින් හින්දු භාවනා හැදෑරීමට යොමුවීමෙන් පෙනේ.



හිපි ව්‍යාපාරය හා LSD අතර සමීප සම්බන්ධතාවයක් පැවතී ඇත. ඔවුන් විශ්වාස කොට ඇත්තේ LSD භාවිතයෙන් සවිඥානිකත්වය (consciousness) වර්ධනය කිරීම හා මනසට ඇතුල් වී තිබෙන සමාජ ස්ථාපිත අදහස්, සංකල්ප හා විශ්වාසයන් ඉවත් කිරීමේ හැකියාවක් ඇති බවය. එවැනි අදහස් හරහා හිපි ව්‍යාපාරය LSD මත්ද්‍රව්‍ය ආධ්‍යාත්මික ගවේෂණයන්ට යොදාගත් බැවින් භාවනාව, යෝග වැනි අංග ඇති පෙරදිග ආගම් සමඟ සම්බන්ධයක් ඇති විය. රාම් දාස් නමින් පසු කාලයේ ප්‍රසිද්ධියට පත්වූ  Richard Alpert, හාවඩ් විශ්ව විද්‍යාලයේ සිදුකල LSD සම්බන්ධ පර්යේෂණ වලින් පසුව නිගමනය කර ඇත්තේ LSD භාවිතය නිර්වාණයට කෙටි මාර්ගයක් ලෙසටය. එය උත්කර්ෂයට නඟා ඇත්තේ ඉන්දියාවේ භාවනාව සමඟින් අවුරුදු 12ක් පමණ ගත වන දෙයක් LSD තුලින් ඉතාමත් කෙටි කාලයකින් ලබාගත හැකි බවයි. 
හිපි ව්‍යාපාරය හා පෙරදිග ආගම් අතර සම්බන්ධය කොතරම් ශක්තිමත් වූවාද කිවහොත් 1969 පැවැත්වූ සුප්‍රසිද්ධ Woodstock සංගීත සැණකෙළියේ ආරම්භක දේශනය සඳහා කැඳවා තිබුණේ ඉන්දීය යෝගියෙකු වූ  ශ්‍රී ස්වාමි සචිදානන්ද ය. මිලියන භාගයක් පමණ වූ පිරිසක් ඉදිරියේ පද්මාසනයෙන් වාඩිවී ඔහු තම දේශනය සිදුකර ඇත.



බටහිර තරුණ තරුණියන් ඉන්දීය යෝගීන්ගේ ඇසුර සොයා යෑම හිපි ව්‍යාපාරය සමඟ වර්ධනය වූ අතර බටහිර සංස්කෘතියේ දක්නට නොලැබුණු ආකාරයකින් මෙම යෝගීන් සමඟ ගුරු - ශිෂ්‍ය සම්බන්ධතා ඇති විය. සාම්ප්‍රදායික ඉන්දීය ගුරු - ශිෂ්‍ය සම්බන්ධය තුලදී තම ආධ්‍යාත්මික ගුරුවරයාගේ අධිකාරීත්වය ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගනු ලැබීය. එයින් බලාපොරොත්තු වන්නේ ගුරුවරයාට අවනත වීම තුලින් ශිෂ්‍යයාගේ හෝ බැතිමතාගේ මමත්වය ක්ෂය කරදැමීමයි. ඇතැම් අවස්ථාවල මෙම ගුරු - ශිෂ්‍ය සම්බන්ධය ආන්දෝලනාත්මක ලිංගික අපචාර සිදුවීම් ලෙස ප්‍රසිද්ධියට පත් වෙයි. ඉන්දීය යෝගීන් කාන්තාවන් සමඟ පවත්වන මෙම ලිංගික සම්බන්ධතා සලකන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මික භාවිතාවේම කොටසක් ලෙසටය. ඇතැම්විට කාන්තාවන් ගුරුවරයා සමීපයේ සිටීමට ආශා කරන අතර ශාරීරික සම්බන්ධතා යම් පූජනීය දෙයක් ලෙසද සලකයි. බාහිර සදාචාර පද්ධතියක් තුලින් බැලීමේදී මෙම සම්බන්ධතා ලිංගික අපචාර ලෙස සැලකීමට හැකි වුවත්, මෙම ඉන්දීය යෝගීන් සමඟ ඇති සම්බන්ධතාවයන්ගේ සංකීර්ණ හා ව්‍යාකූල ස්භාවයන් නිසා එවැනි නිගමන වලට පැමිණීමට ද අපහසුය.



මේ ආකාරයේ ලිංගික අපචාර චෝදනා ලැබූ ප්‍රසිද්ධ ඉන්දීය යෝගියෙකු වන්නේ නීම් කරෝලි බාබාය. ස්ටීව් ජොබ්ස් තම ආධ්‍යාත්මික ගවේෂණය සඳහා යොමුවූ මුල් යුගයේදී කරෝලි බාබා සොයා ඉන්දියාවට ගොස් ඇත. ඔහු හා ලිංගික සම්බන්ධතා පැවැත්වූ කාන්තාවක් ප්‍රකාශ කර තිබුණේ එම සම්බන්ධතා හරහා කරෝලි බාබා තමාගේ අනන්‍යතාවය පරිවර්තනයකට ලක් කෙරූ බවත්, ඇයට තමන් මවක් ලෙස දැනෙන බව හා තම ගුරුවරයා තමාගේ දරුවෙකු බවට පත්වෙන බවත්ය. සංකීර්ණත්වය යනු ගුරුවරයා සමඟ පවත්වන සම්බන්ධය එක්වර ලිංගික හා මාතෘත්වය යන මාන දෙකටම අයත් වීමය. නීම් කරෝලි බාබා මෙන්ම හිපි ව්‍යාපාරය සමඟ සම්බන්ධතා පැවැත්වූ ඉන්දීය යෝගීන් බොහෝදෙනෙකුට මෙම ලිංගික අපචාර චෝදනා එල්ල වී තිබේ.


හිපි ව්‍යාපාරය, LSD, ඉන්දීය යෝගීන් සහ ලිංගික අපචාර චෝදනා හිපි ව්‍යාපාරය, LSD, ඉන්දීය යෝගීන් සහ ලිංගික අපචාර චෝදනා Reviewed by Fox Talks on 10:52 AM Rating: 5

No comments :

Powered by Blogger.